උසාවි සිර මැදිරියෙන් පැන්න සැකකරු නීතිඥවරියකගේ ගෙල මිරිකයි

1020

නීතිඥවරිය ගැන ආසාවක් ඇතිවී එහෙම කළා – සැකකරු කියයි

ගලගෙදර දිසා අධිකරණයේ දී 16 දා නඩුවක් විභාගය වෙමින් පවතින මොහොතක සැකකරුවකු සිර මැදිරියෙන් පැනවිත් නීතිඥවරියකගේ ගෙල සිර කළ පුවතක් වාර්තා වේ.

මෙලෙස නීතිඥවරියගේ ගෙල සිරකොට ඇත්තේ ගංජා ළඟ තබාගැනීම හා පාවිච්චි කිරීමේ චෝදනාව මත 16 දා පස්වරුවේ ගලගෙදර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන 17 දා ගලගෙදර අධිකරණයට රැගෙන ගොස් සිටි සැකකරුවෙකි.

සැකකරු සිය නඩු විභාගය හමාර කොට ඉන් ලද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමුකිරීමේ තීන්දුව මත අධිකරණ රැඳවුම්භාරයේ තබා සිටිය දී වෙනත් නඩු විභාගයක් සඳහා සැකකරුවකු එම රැඳවුමෙන් පිටතට ගනු ලබන අවස්ථාවේ යකඩ දොර තල්ලු කර දමා විත් නීතිඥවරියගේ ඇඟට පැන තිබේ.

ආරක්ෂක අංශ නිලධාරීන් පොලිස් නිලධාරීන් හා නීතිඥවරුන් එක්ව සැකකරුගේ ග්‍රහණයෙන් නීතිඥවරිය මුදා ගැනීම සඳහා දැඩි වෙහෙසක් ගෙන තිබේ.

තුවාල ලත් නීතිඥවරිය ගලගෙදර රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කොට තිබේ.

අනතුරුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළව සැකකරුගෙන් කරුණු විමසා එම කරුණු මත එදිනම එම චෝදනාව යටතේ ලබන 25 වැනිදා තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර කරනු ලැබ තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සඳහා කරුණු විමසන අවස්ථාවේ සැකකරු ප්‍රකාශ කොට සිටියේ තමන් අධිකරණයට පැමිණෙන සෑම දිනකම නීතිඥවරිය දැක ඇති බවත් ඇය පිළිබඳ උපන් ආශාව මත ඇයගේ ගෙල සිරකොට අල්ලා ගත් බවත්ය.

ගලගෙදර කළුවානේ පදිංචි ලලිත් සඳරුවන් නමැති මෙම සැකකරු ප්‍රදේශයේ තරුණියන් බොහොමයකට හිංසා පීඩා ඇති කරන බවත් දුටු සැනින් කාන්තාවන් සිය ග්‍රහණයට ලක් කර ගන්නා බවටත් තොරතුරු අනාවරණය වී ඇති බව ගලගෙදර පොලිසිය පවසයි.

ගලගෙදර දිසා මහෙස්ත්‍රාත් හර්ෂණ රත්නායක මහතා විසින් සැකකරු ලබන විසි පස් වෙනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
සමන්ති වීරසේකර, නෝමන් පලිහවඩන, හතරලියද්ද සමරතුංග

advertistmentadvertistment
advertistmentadvertistment