නූලකින් ගෙල තදකොට ඝාතනය කළ කාන්තා මළ සිරුරක් පුස්සැල්ලාව ලඳු කැලෑවකින් සොයාගැනේ

417

ගෙල ප්‍රදේශය තාලි නූලකින් තදකොට ගැට ගසා ඝාතනය කර ඇතැයි සැක කරන වයස අවුරුදු 25ක කාන්තාවකගේ මළ සිරුරක් පුස්සැල්ලාව සොගමා වත්ත උඩකොටසේ ලඳු කැලෑවක තිබී සොයාගත් බව ගම්පොල පුස්සැල්ලාව පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ හෙල්බොඩ වත්ත කටුකිතුල ජනඋදාන ගම්මානයේ පදිංචි එස්. නිරංජලා දේවි නමැති විවාහක කාන්තාවක් බව හඳුනාගෙන ඇත.

පළමු විවාහයෙන් පසු මීට මාස හයකට පෙර ඇය දෙවන විවාහයක් කරගෙන ඇති බව පොලිසිය පවසයි.

ඇගේ දෙවන සැමියා කොළඹ ප්‍රදේශයේ සේවය කරන බවත් මෙම දෙදෙනා කොළඹ ප්‍රදේශය කුලී නිවසක (බෝඩිමක) සිට ඇති බවත් අනාවරණය වී තිබේ.

මෙම දෙදෙනාම කොළඹ සිට කටුකිතුල ප්‍රදේශයේ බිරිඳගේ මහ ගෙදරට යෑමට පුස්සැල්ලාව නගරයට පැමිණ ඇති බව හෙළිවී ඇති නමුත් එම නිවසට ගොස් නොමැති අතර (4) දින සොගමා වත්තේ තිබී මෙම කාන්තාවගේ මළ සිරුර මෙසේ සොයාගෙන තිබුණි. එම වත්තේ තේ දලු නෙළීමට පැමිණි කාන්තාවන් දෙදෙනකු මෙම සිරුර දැක ඇති බව පොලිසිය පවසයි.

මෙම කාන්තාව වෙනත් ස්ථානයක ඝාතනය කොට සිරුර මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මියගිය කාන්තාවගේ සැමියා මෙම සිද්ධියෙන් පසු අතුරුදන්ව ඇතැයි පුස්සැල්ලාව පොලිසිය පවසයි.

ගම්පොල වැඩබලන මහෙස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය එම ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර මහනුවර මහ රෝහල වෙත යවන ලෙස නියෝග කරන ලදී.

ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත පුස්සැල්ලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමකුමාර, පොලිස් සැරයන් (29373) මාවලගේ (65950) චන්දන ස්ථානීය පරීක්ෂණ අංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික විමලරත්න, පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර, උප පොලිස් පරීක්ෂක මැන්දිස්, කාන්තා පොලිස් සැරයන් (2972) ඉනෝකා යන නිලධාරීහු සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment