රවි සිංහයට කුජ කන්‍යාවට ඔබේ ලග්නයට කෙසේද?

4871

2023 අගෝස්තු මස 17 වන දින රවි සිංහ රාශිගත වෙන අතර 18 වෙනි දින කුජ ග්‍රහයා කන්‍යා රාශිගත වෙයි. මේ කාලය තුළදී මේෂ ලග්න සිට මීන ලග්නය දක්වා ලග්න හිමියන්ට මෙම ග්‍රහමාරුව කෙසේ බලපායි දැයි විමසමු.

2023 අගෝස්තු මස 17 වන දින රවි සිංහ රාශිගත වෙයි. එමෙන්ම 18 වනදින කුජද කන්‍යා රාශිගත වීමක් සිදුවීමට නියමිතයි. මේ කාලයේ මේෂ ලග්නයේ සිට මීන ලග්නයට පලාඵල විමසීමක් කරමු. බලන්න ඔබේ ලග්නයට මෙම ග්‍රහ මාරුවීම කෙසේ බලපාවීද කියා.

මේෂ

මේෂ ලග්න හිමියන්ගේ 5 වැන්නා වූ සිංහ රාශියටයි රවිගේ පැමිණීම සිදුවන්නෙ. කුජ 6 වැන්න වූ කන්‍යාවට පැමිණේ. අධ්‍යාපනය ලබන දරුවන් සිටින දෙමදාපියනි පෙරට වඩා වැඩි කැපවීමක්, උනන්දුවක් ඔබ තම දරුවා වෙනුවෙන් වෙන්කරන්නට උත්සාහ ගන්න. තරමක් හිතුවක්කාරී බවක් ගෙන දෙන කාලයකි. අධ්‍යාපන කටයුතුවලද පොඩි පසුබෑමක් පෙන්නුම් කරයි. නමුත් සාර්ථක කරගත හැක. බඩේ අසනීප ගෙන දෙන කාලයක් බැවින් උෂ්ණ ගතිය වැඩි නිසා දරුවන් අපේක්‍ෂාවෙන් සිටින අයත් මේ කාලයේ පරිස්සම් විය යුතුයි. එමෙන්ම හිසේ මෙන්ම ශරීරයේද උෂ්ණ ගතියෙන් හට ගන්නා රෝග පීඩා ගෙන දීමෙන් ඔබව යම්කිසි මට්ටමකට පීඩාවට ලක් කරයි. රැකියාවේ නිරත වූ අයට උසස් අයගෙන් යම් යම් සිත් පීඩා ගෙනදෙයි. රැකියාව මෙන්ම ඔබේ මුදල් හදල් පවා පරිස්සම් කරගෙන ඉදිරියට යා යුතු කාලයකි. හදිසි අනතුරු කරදරවලින් පරිස්සම්වන්න. තම තනි මතයට ක්‍රියා නොකළ යුතු කාලයකි. සැප පහසුවටද යම් යම් දේ ලැබෙන කාලයකි. විදේශ ගමන් බිමන් බලාපොරොත්තුවෙන් සිටින අයට ඔබේ සිහිනය සැබෑ කර ගැනීමට කටයුතු සිදුවෙයි. විවාහ අපේක්‍ෂාවෙන් සිටින අයට මංගල සීනු හැඬවෙන කාලයකි. එමෙන්ම මෙතෙක් ප්‍රමාද වූ විවාහ කටයුතු සිදු වීමට වැඩිහිටියන්ගේ කැමැත්ත ලැබෙයි. කෙසේ හෝ හිතුවක්කාරී නොවී තනි තීරණයට කටයුතු නොකර තමාගේ බුද්ධියෙන් ඉදිරි කාලය ගත කළහොත් කරදරයක් නැතිව සියල්ලම හොඳින් කරගත හැකි බව වටහා ගන්න. මේ කාලයේ 22 දෙර්කාණාධිපතිගේ දශාවත්, අතුරු දශාවත් ගත කරන අයට ඉහත කී කරුණු අඩුවැඩි වීමක් සිදුවිය හැක. විවාහ අඹුසැමියන්ගේ සතුට සැනසීම ගෙනදෙන කාලයකි. එබැවින් ඔබ දෙපළ එකතුවී තම ගෘහය සුරවිමනක් කරන්නට උත්සාහ ගන්න.

ඔබේ ලග්නයේ 5 වැන්නේ රවිත්, 6 වැන්න වූ කන්‍යාවේ කුජයටත් පැමිණීම සිදුවිය.

වෘෂභ

වෘෂභ ලග්න හිමියන්ගේ 4 වැන්න වූ සිංහ රාශියට රවිගේ පැමිණීම සිදුවූ අතර මේ කාලයේ නොයෙක් ආකාරයෙන් ඔබේ සිත් වේදනාවන් වැඩි කරයි. සිතින් දුක් විඳින කාලයකි. ඔබ මොනතරම් පිරිසිදු සිතින් උදව් උපකාර කළත් මේ සියලු දේ ගඟට ඉනි කැපුවා මෙන්ය. අවනම්බු විඳින්නට සිදුවන කාලයක් බැවින් හැම පැත්තෙන්ම පරිස්සම් වන්න. බොහෝ බලාපොරොත්තු තියාගෙන කරන සියලුම කටයුතුවලට බාධා ගෙන දෙන කාලයක් බැවින් පුළුවන් තරම් අනාගතයේදී ලාභ බලාපොරොත්තුවෙන් පටන් ගන්නා වැඩ ටික කාලයකට කල් දමන්න. ගෙදර දොර ද යම් යම් අවාසනාවන්තකම් මතුවෙයි. මිල මුදල් අතින් අමාරුකම් ඇතිවෙයි. ආදායම් මාර්ග විවිධ අයුරින් අඩුවී යයි. ශරීර සනීපය දුර්වල කරයි. පපුව සම්බන්ධ ලෙඩ රෝගවලින් පෙළෙන අය පරිස්සම් විය යුතු කාලයකි. හදිසි අනතුරුවලින්ද ප්‍රවේශම් විය යුතු කාලයකි. පෙර පිනක් නිසා ඇතිවන හදිසි අනතුරකින් කරදරයකින් බේරෙන්නට තරම් පිනක්ද ඔබේ මේ කාලයේ පවතින නිසා පුළුවන් තරම් තමන් අදහන ආගමික කටයුත්තක නිරත වෙන්නට උත්සාහ ගන්න. නොතේරුම් කමින් මෝඩකමින් ඇති කර ගන්නා කරදර සියල්ලම ඔබ විසින් ඇති කරගන්නා ඒවාය. අධ්‍යාපනය ලබන දරුවනි ඔබේ උත්සාහය උනන්දුව මොනම හේතුවකටවත්, කවුරුන් නිසාවත් බිඳ නොගන්න. ආදරය, ආලය නිසා ඔබ දුක් විඳියි. එය අධ්‍යාපන කටයුතුවලට කිසිසේත්ම බාධාවක් කර නොගන්න. ගෙදර පරිසරය තරමක් අමිහිරි බවක් ගෙන දුන්නත්, සිතට කරදර, කේන්ති ආවත් ඔබ කල්පනාවෙන් ඉවසීමෙන් සිටින්නට උත්සාහ ගන්න. ඉහත කී කරුණු ඔබ ගෙවනා දශාව, අපල අනුව වෙනස් විය හැකි බවත් 22 දෙර්කණාධිපති රවි වූ අයත් කුජ වූ අයත් පරිස්සම් විය යුතු කාලයකි. මේ කාලයේ නීතියේ පිහිට පැතීමේදී කල්පනාකාරී විය යුතුයි. නුවමනා දෙයකට විශාල වශයෙන් මුදල් වියදම් කරන්නට කරුණු සෑදෙයි. එබැවින් කරන කියන දේ පිළිබඳවත් කල්පනාකාරී වන්න. දේපළ පිළිබඳව, ඉඩකඩම් ගෙවල් දොරවල් පිළිබඳව ගැටලු ඇතිවෙයි. වැඩිහිටි දෙමාපියන්ටද මේ කාලය අපලදායකයි. තවද හෘද රෝග, අධික රුධිර පීඩනයෙන් පෙළෙන අය පරිස්සම් විය යුතු කාලයකි. ඔබට දෙවිපිහිට ලැබේවා.

වෘෂභ ලග්න හිමියන්ගේ රවි 4 වැන්නෙත් කුජ 5 වැන්නටත් පැමිණේ.

මිථුන

මිථුන ලග්න හිමියන්ගේ රවි 3 වැන්න වූ සිංහ රාශියට පැමිණි අතර ඇත්තෙන්ම ඔබට ඔබේ සිතට සැනසිලිදායක බවක් ගෙන දෙන කාලයකි. එමෙන්ම ඔබ මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි දෙයක්, ලැබෙන කාලයකි. ඔබට ඔබේ අරමුණ කරා යෑමට අවස්ථාව උදාවෙයි. බොහෝවිට රැකියාවේ ඔබට හිමිතැන ලැබෙන කාලයකි. උසස් අයගෙන් උදව් උපකාරද සැලකිලිද ලැබෙන කාලයක් බැවින් ඔබේ දියුණුවට ගන්නා වූ සියලුම උත්සාහයන් මේ කාලයේ ගන්න. අලුතින් වෙළෙඳ ව්‍යාපාර පටන්

ගන්නා අයට මේ කාලය ශුභයි. අධ්‍යාපන කටයුතුවල නිරත වූ අයටත්, අධ්‍යාපනය සඳහා විදේශ ගත වෙන්නට බලාපොරොත්තු වන අයටත් මේ කාලය ශුභදායකයි. එමෙන්ම ඔබේ දියුණුවට යම් උත්සාහයක් ගන්නේ නම් සියල්ලම ශුභදායක ලෙස අවසන් කරන්නට කදිම කාලයකි අවස්ථාවකි. රජයට සම්බන්ධ රැකියාවලට අයදුම් කරන අයට මේ කාලය විශේෂයෙන්ම ශුභදායකයි. ගරු නම්බු ලැබේ. සුදුස්සාට සුදුසු තැන ලැබෙන කාලයකි.

හැබැයි මේ කාලයේ මැද භාගය වන විට උදරාබාධයක් හෝ ඊට වඩා වෙනස් ආකාරයේ රෝගී තත්ත්වයක් නිසා ඔබ පීඩා විඳියි. පපුව සම්බන්ධ අසනීපාදියද ඇති වීමට පුළුවනි. සමහරවිට හෘද සැත්කම් පවා සිදුකරන්නට පුළුවනි. බිරිඳ, ස්වාමියා, අතර සමගිය පැවතිය යුතු කාලයකි. නොතේරුම් කමින් නොදැනුවත් කමින් සිදුවන කතා බහ දුරදිග යන්නට පුළුවනි. එබැවින් හැම විටම තම පවුලට මුල්තැන දෙන්න. පවුල වෙනුවෙන් ඇප කැප වෙන්නට උත්සාහ ගත යුතු කාලයකි. මේ කාලයේ මිථුන ලග්න හිමියන්ගේ පෙර පිණක් පල දෙන කාලයක් බැවින් පුළුවන් තරම් තම ආගමික කටයුතුවල නිරත වන්න. උත්සාහයෙන් ජීවිතය ජය ගැනීමට එයත් මහත් රුකුලක් වෙයි. ඒ නිසා පිං කරන්න. පුළුවන් ආකාරයට තවද ඔබට සියලු දේ ලැබෙන අතර එයටද බාධාවීම් ඇති විය හැක. ඒ පෙර අකුසල් නිසයි. තවද 22 වන දෙර්කාණාධිපති රවි හෝ කුජ වුවහොත් ඉහත කී සමහර දේ ඔබට අහිමිවී යා හැක. ඔබට හිමි දේ ලබා ගැනීමට ඔබේ අරමුණ කරා යාමට අදිටන් කර ගන්න.

මිථුන ලග්න හිමියන්ගේ 3 වැන්න වූ සිංහයට රවිත් 4 වැන්න වූ කන්‍යාව කුජත් පැමිණේ.

කටක

කටක ලග්න හිමියන්ගේ රවි 2 වැන්න වූ සිංහ රාශියට පැමිණියේ මෙම කාලය තුළදී කටක ලග්න හිමියන්ට 2 වැන්න කීර්ති ප්‍රශංසා හිමි වේ යැයි හීනමානයක් ඔබ තුළ තිබේ. එමෙන්ම ඕනෑම තැනක ලොකුවට, උජාරුවට සිටින්නට උත්සාහයක් ගනියි. නමුත් මේ කාලයේ විශාල වශයෙන් මුදල් ලාභ නොලැබේ. මුදල් ලැබෙන මාර්ග තිබුණත් එයින් ඔබේ අතට ලැබෙන මුදල් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් උදාවෙයි. එමෙන්ම මේ කාලයේ විශාල වශයෙන් ධන හානි සිදුවෙයි. නමුත් මේ කාලයේ බිරිඳගේ මාර්ගයෙන් හෝ අලුත් මිත්‍රයන් මාර්ගයෙන් හෝ මිල මුදල් උපයා ගැනීමට මාර්ග පෑදේ. වෙළඳ ව්‍යාපාර කරන අයටත් තරමක අපලදායක වුවත් තරමක් දුර ගමනක් යෑමට හැකියාව පවතියි. අමුතු බලාපොරොත්තු ඇති කර ගැනීමට හොඳම කාලයකි. මේ කාලයේ උෂ්ණාධික රෝගවලින් පීඩා විඳින්නට සිදුවෙයි. මුහුණ තරමක් කැත හෝ වේලී යාමක් සිදුවෙයි. එමෙන්ම ඇස් සම්බන්ධ රෝගවලින්ද පීඩා විඳින්නට සිදුවෙයි. අලුත විවාහ වූ අයගේ බිරිඳ හෝ ස්වාමියාට තරමක් ශුභදායක බවක් ගෙනදෙයි. මේ කාලයේ වංචාවකට අසුවීමට පුළුවනි. අධ්‍යාපනය ලබන දරුවනි කටක ලග්න හිමි ඔබට මේ ගෙවෙන්නේ අෂ්ඨම අපල කාලයකි. එබැවින් පරිස්සමින් ඔබේ ගමන යා හැකි අයුරින් ඔබේ ජීවිතය වෙනස් කරගන්න. විවාහ වීමට සිටින අයට මේ කාලය ශුභදායකයි. විවාහ වූ අයටද දරුවන් අපේක්‍ෂා කරන අයටද මේ කාලය ශුභදායකයි. විවාහ ජීවිතයේ යම් යම් අඩුපාඩු තිබුණත් සාර්ථකව තම ගමන යාමට අවශ්‍ය ශක්තිය ඔබේ ජීවිතයට ලැබේවි. තවද රැකියා මෙන්ම ව්‍යාපාරවලින් පාඩු සිදු වුවත් එය එතරම් දුරකට නොයා වාසනාව හිමිකර ගැනීමට හැකියාව පවතියි. විදේශ ගමන් බිමන් යෙදේ. එය රැකියාව සඳහා මෙන්ම අධ්‍යාපනය සඳහාද විය හැක. ලැබෙන මුදල් ක්‍රමානුකූලව වියදම් කිරීමටත් ඉතිරි කිරීමටත් ඔබට හැකියාවක් පැවතිය යුතුයි. එසේම ඔබ අදහන ආගමික කටයුත්තක නිරත වීමට උත්සාහ ගන්න. බොහෝ අපල කරදර එයින්ම නිම වෙයි. දෙවි පිහිටයි.

කටක ලග්න හිමියන්ගේ 2 වැන්න වූ සිංහයට රවිත් 3 වැන්න වූ කන්‍යාවට කුජත් පැමිණේ.

සිංහ

සිංහ ලග්න හිමියනගේ රවි ලග්න ගත වූ අතර මෙම ලග්න හිමියන්ගේ කුජ 2 වැන්න වූ කන්‍යා රාශී ගත විය. මෙය සිදුවන්නේ අගෝස්තු 17 සහ 18 යන දින දෙක තුළදීය. රවි ලග්න ගතව ගමන් කරන කාලය ඉතාම ශුභදායකයි. වඩාත් සතුටුදායක භාවයකින් යුක්තව තම තමන්ගේ කටයුතුවල නිරත වීමට හැකියාව පවතියි. ව්‍යාපාරවලින් ලාභ ලැබුණත් බොහෝ අවස්ථාවලදී වියදම ඉහළ යා හැකි කාලයකි. දැන දැනම හෝ නොදැන මුදල් වියදම් කරන්නට කරුණු යෙදේ. හැබැයි මේ කාලයේ පෙරට වඩා තමා තමා ගැන කල්පනාකාරීව සිටිය යුතුයි. එයට හේතුව තමාව යම්කිසි තැනකදී වරදකරුවෙක් කරන්නට උත්සාහ ගන්නා කොටසක් සිටින බැවිනි. ආඩම්බර නොවන්න. සිතට එකඟව ඉන්නට උත්සාහ ගන්න. පියාට තරමක් අපලදායකයි. නමුත් එය ලොකුවට සිතන්නට උත්සාහ නොගන්න. මේ කාලයේ ඇස්වල, දත්වල, බෙල්ල හෝ කටේ, මුහුණේ ආබාධ ඇති වීමට පුළුවනි. එබැවින් පරිස්සමින් විමසිල්ලෙන් සිටින්න. තමාගේ දෙයක් මේ කාලයේ නැති වීමට හෝ සොරා ගැනීමකට ලක්වන කාලයක් බැවින් ඒ ගැනත් සිතන්න. කේන්ති නොගත යුතු කාලයකි. අලුත් වාහන මිලදී ගැනීමේදී විමසිල්ලෙන් ඒ වැඩේට අතගසන්න. කැඩී බිඳී ගිය දේ කිසි විටකත් මිලදී නොගන්න. අධ්‍යාපනය ලබන දුවා දරුවනි අධ්‍යාපන කටයුතුවලට පොඩි පසුබෑමක් ඇතිවෙයි. ලකුණු මට්ටම පහළ බැසීමක් ඇතිවෙයි. නමුත් උත්සාහය ඊට වඩා ප්‍රබලයි. ඔබට පුළුවනි ජීවිතය ජය ගැනීමට ඒ නිසා පුළුවන් තරම් තම අධ්‍යාපන කටයුතුවල නිරත වෙන්න. තවද විදේශ ගමන් බිමන් බලාපොරොත්තුවෙන් සිටින අයට මුල් කාලය බාධාගෙන දුන්නත් පසු කාලයේ සියලුම දේ හොඳ විදිහට සිදුවන ලකුණු පවතියි. විවාහ වූ අයටත් විවාහ වෙන්න උත්සාහ ගන්නා අයටත් මේ කාලය ශුභදායකයි. වාසනාවන්ත ජීවිතයක් කරා යෑමට අවශ්‍ය ශක්තිය ඔබට අගෝස්තුවලින් පසුව ඇතිවෙන බව සිහි තබාගෙන ජීවිතයට මුහුණ දෙන්න.

ඔබේ කේන්දරයේ රවි ග්‍රහයා අගෝස්තු 17 සිංහයටත් අගෝස්තු 18 වෙනිදා කුජ කන්‍යාවටත් පැමිණෙයි.

කන්‍යා-

කන්‍යා ලග්න හිමියන්ගේ 12 වැන්න වූ සිංහයට රවිගේ පැමිණීම අගෝස්තු 17 සිදුවන අතර 18 වැනිදා කුජ කන්‍යා ලග්නයටත් පැමිණේ. මේ කාලයේ සුළු සුළු අසනීපාදී කරදරවලට ලක් වෙන්නට සිදුවෙයි. එමෙන්ම නුවමනා කරදරවල පැටලෙන්නටත්, සිතන්නේ නැති කමින් යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට ලක් වීමට පුළුවනි. උණ, පිත් රෝග, අධික රුධිර පීඩනය, උගුරේ ආබාධවලින් ප්‍රවේශම් වන්න. එදිනෙදා කරන්න තිබෙන වැඩ අත පසුකර නොගන්නා ලෙස අධ්‍යාපනය ලබන දරුවන්ට කියන්නේ අධ්‍යාපන කටයුතු කිසි විටකත් කල් නොදමන්න. දුර ගමන් බිමන් කීපයක් යෙදේ. එය විදේශ ගත වීම්වලට සහ ඒ සඳහා උත්සාහයක් ගන්නා අයට විශේෂයෙන් මේ කාලයේ උනන්දුවී තම කටයුතු සාර්ථක කර ගන්න. තවද මේ කාලයේ රජයේ රැකියාවල නිරත වී සිටින අයට තම ගෞරවය රැකෙන ලෙසත් තමාගේ යුතුකම් හරියාකාරව ඉටුකරන ලෙසත් දැන්විය යුතුයි. එසේ නොවුණොත් ඔබට ඔබ මෙතෙක් වින්ද නම්බුවට ගෞරවයට හානි සිදුවිය හැකි බැවිනි. මේ කාලයේ ආදායමේ වෙනසක් ඇති විය හැක. නමුත් එය ඔබව පහළට ඇද දැමීමට තරම් ප්‍රබල හේතුවක් නොවිය හැක. නමුත් රාජ්‍ය අංශයේ නිරත වූ අය පොදුවේ පරිස්සම් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. හදිසි අනතුරු උස්තැන්වලින් කකුල පෙරළීම් සහ සුළු වශයෙන්වත් සීරීම් වැනි දේ මේ කෙටි කාලය තුළදී ඇති විය හැකි බැවින් පුළුවන් තරම් තමාගේ ශරීර සෞඛ්‍යයත් ආරක්‍ෂා කරගෙන කටයුතු කරන්න. තම පවුල් ජීවිතයට තම දරුවන්ට, තම රැකියාවට මූලික තැන දෙන්න. එවිට ඔබ අවට ඇති සෙසු ප්‍රශ්නවලට විසඳුම් ඔබ තුළින්ම ලැබේවී. අලුත් වෙළෙඳ ව්‍යාපාර ආරම්භයට මේ කාලය ශුභ නැත. එමෙන්ම මතු ලාභ බලාපොරොත්තවෙන් මේ කාලයේ මුදල් වියදම් කිරීමටද නොයන්න. මේ කාලයේ ඇඟ බේරාගෙන තමාගේ පාඩුවේ ඉන්නට උත්සාහ ගන්න.

තුලා ලග්නය

තුලා ලග්න හිමියන්ගේ රවි 11 වැන්න වූ සිංහයටත් කුජ 12 වැන්න වූ කන්‍යාවටත් පැමිණේ. මේ කාලය තුළදී විශේෂයෙන්ම කිව යුතුයි තුලා ලග්න හිමියන්ගේ රවි 11 වැන්නට පැමිණීමෙන් කෝටියක් දෝෂභංග කරවන බවත් මෙයින් ඔබට මොන ප්‍රශ්න ආවත් විසඳුම් ලැබෙන බවත් කිව යුතුයි. මේ කාලයේ ගෞරව සැලකිලි ලැබෙන කාලයකි. තම නම්බුව ආරක්‍ෂා කරගෙන තම කටයුතු කර ගතහැකි කාලයකි. තම නම්බුව නැති කරන්නට උත්සාහ කරන පිරිසකුත් ඔබ පසුපස පැමිණෙයි. නමුත් එයට නිසි පිළිතුරු ලැබෙයි. අලුත් තැනකට අලුත් නව බලාපොරොත්තු ඇති කර ගන්නට අවස්ථාව උදාවෙයි. විදේශගතවීමට වාසනාව උදාවෙයි. සතුට සමාදානය තම නිවස තුළ රජ කරයි. උසස් වීමක් තම ආදායමේ වැඩිවීමක් පෙන්නුම් කරයි. ඔබට ලොතරැයි දිනුම් පවා ලැබෙන කාලයකි. ධන යෝග පවතින නිසා පුළුවන් තරම් තමා ගැන විශ්වාසයක් තබා කටයුතු කළ හැකි බව ලෝකයාට පෙන්වන්න. ව්‍යාපාර කරන අයට මෙන්ම දේශපාලනයේ යෙදී සිටින අයටත් මේ කාලය ශුභදායකයි. අධ්‍යාපනය ලබන දරුවන්ට මේ කාලය ඉතාම ශුභදායකයි. ඔබේ දක්‍ෂකම් වලට අගයක් දෙන්න හොඳම කාලයයි. පුළුවන් තරම් ඉදිරියට යන්න උත්සාහ ගන්න. මානසික මට්ටම බිංදුවට වැටෙයි. එහෙත් ඒ ක්‍ෂණයෙන් ඔබට නැගිටීමට තරම් ශක්තියක් ලැබෙන බැවින් ඉදිරියටම යන්න. අවට සිටින අය ඔබේ මනස අවුල් කරන්නට උත්සාහ ගනියි. තරහා යයි. එහෙත් නොසන්සුන්වෙන්න. මිත්‍රයන් සමඟ ආරවුල් ඇතිකර නොගන්න. නොසුදුසු අයගේ ඇසුරින් මිදෙන්න. නරක දේට ඇබ්බැයි නොවන්න. මේ කාලයේ සුළු වශයෙන් වත් තුවාලයක් සාදයි. සුළුවෙන් හෝ ලේ සෙලවීමක් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. නිකරුණේ රස්තියාදු ගැසීමෙන් වළකින්න. වෙහෙස ඇති දුරගමන් යාමටත්, ආදර සම්බන්ධතා නිසා දුක්වීමටත් කරුණු යෙදේ. එමෙන්ම ආදර සම්බන්ධතා කැඩී යාමටත් පුළුවනි. නමුත් ජීවිතය අලුතින් පටන්

ගැනීමට ශක්තිය ඔබට පවතියි. විවාහ අපේක්‍ෂාවෙන් සිටින අයට විවාහයට දින නියම වෙයි. සතුට සිනාව පිරී යන කාලයකි.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න හිමියන්ගේ රවි 10 වැන්න වූ සිංහ රාශියටත් කුජ 11 වැන්න වූ කන්‍යා රාශියටත් පැමිණේ. වෘශ්චික ලග්න හිමියන්ට වාසනාව උදාවන කාලයකි. ආරම්භ කරන කටයුතු මෙන්ම අමුතුවෙන් කරන්න සිතාගෙන සිටින අලුත් බලාපොරොත්තු ක්‍රියාත්මක වන කාලයකි. තම තත්ත්වය උසස් වෙයි. තමන් භාරගෙන කරන කටයුතු සාර්ථකව කර ගැනීමට පුළුවන් වෙයි. පියා සතු දේ උරුමයෙන් ලැබෙන දේත් මේ කාලයේ නිසියාකාරව ලැබේ. පියාගේ බොහෝ දේ ඔබ සඳහා වෙයි. ධනලාභ ලැබේ. මුදල් හදල් අතින් පාඩුවක් සිදු නොවේ. ගෙදර දොර ප්‍රීති උත්සව පවත්වන්නට ඉඩ ලැබේ. වැඩිවියට දරුවන් පත්වෙයි. මංගල උත්සවවලට සහභාගිවීමටත්, ඔබේ විවාහය ස්ථිර වීමටත් කරුණු කාරණා ඇතිවෙයි. ස්ථාන වෙනස්වීමක් පෙන්නුම් කරයි. එය සිදුවන්නෙ තමාට වාසිවන අයුරින්ය. රැකියා කටයුතු ස්ථිර වන කාලයකි. විදේශ රටක සිටින කෙනෙක් ඔබට කැඳවීමක් කරන්නට පුළුවනි. ප්‍රසිද්ධ තැන්වල යාමට අවස්ථාව උදාවෙයි. විනෝදයට ගමන් බිමන් යයි. ඒ හැම තැනකදීම ගෞරවය නම්බුව රැකෙයි. උසස්වීමක් බලාගෙන සිටින අයගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙයි. අධ්‍යාපනය ලබන දරුවන්ට මේ කාලය ඉතාම ශුභදායකයි. එමෙන්ම මොන යම් බාධාව පැමිණියත් හොඳින් තම බුද්ධියෙන් ජීවිතයට මුහුණදෙන්න අවශ්‍ය පසුබිම වෘශ්චික ලග්න හිමියන්ට ලැබී තිබේ. දේශපාලන කටයුතු වල නිරත වූ අයටත් මෙය ඉතාම ශුභදායක කාලයකි. අලුතින් ඉඩම් නිවාස මිලදී ගැනීමට හොඳම කාලයයි. අලංකාරවත් නිවසක් ගොඩනැගීමට හොඳම කාලයයි. පතල්කරුවන්ටත් මේ කාලය ශුභදායකයි. පසුගිය කාලයේ ඇතිවූ යම් යම් බාධාවන් මඟහැරී යන බවත්, ඉදිරිය හොඳ වන බවත් පැවසිය යුතුයි. යානවාහන මිලදී ගැනීමටත් විකිණීමටත් හොඳම කාලයකි. කෙසේ හෝ ඔබ මේ ගෙවන්නෙ ඔබේ ජීවිතයේ හොඳම කාලය බව සිතන්න. තමන් අදහන ආගමක නිරත වෙන්න. පුළුවන් තරම් පිං කරන්න.

ධනු ලග්නය

ධනු ලග්න හිමියන්ගේ 9 වැන්න වූ සිංහ රාශියට රවිගේ පැමිණීමත් 10 වැන්න වූ කන්‍යා රාශියට කුජගේ පැමිණීමත් සිදුවිය. මෙම කාලය තුළදී ධනු ලග්න හිමියන්ගේ ශරීර සෞඛ්‍යට විශේෂයෙන්ම පහරක් එල්ල වෙයි. පෙර මෙන් ප්‍රාණවත් ගතියක් නැතිවෙයි. සුළු සුළු අසනීපාදයට මුහුණ දෙන්නට සිදුවෙයි. මේ කාලයේ පුළුවන් තරම් තමන් ඇසුරු කරන අයගෙන් ප්‍රවේශම් විය යුතු කාලයකි. හැමවිටම ඔවුන්ගෙන් ඔබට සිත රිදවීම් ඇතිවෙයි. බොහෝ බලාපොරොත්තු තබාගෙන කරපු කියපු වැඩකටයුතු මඟ හැරී යයි. තරමක් අශුභ කාලයකි. ස්ථාන වෙනස්වීමක් පෙන්නුම් කරයි. බොහෝවිට ඔබ එය බලාපොරොත්තුවෙන් සිටියා විය හැක. නමුත් එය තමාගේ යහපතට හරවා ගෙන ඉදිරිය යහපත් කරගත හැකි බවද සිතන්න. වෙළෙඳ ව්‍යාපාර වලින් ලාභ ලැබෙන කාලයකි. නමුත් ණයට නොගන්නාක් කල් ඔබට යහපතක්ම සිදුවෙයි. මේ කාලයේ පොළොව සම්බන්ධ කටයුතු කරන අයට ශුභදායකයි. විශේෂයෙන් පතල්, මිණිරන් ආදියේ යෙදී සිටින අයටත්, ඉඩම්, නිවාස විකුණන අයටත් ශුභදායක කාලයකි. ඇත්තෙන්ම කිව්වොත් ආගමික භක්තිය අඩුවුවත් පින් පලදෙන කාලයක් බැවින් සුළු සුළු අතපසුවීම් තිබුණත් ඔබට ජීවිතය ජයගත හැකි බව සිතන්න. අලුත් බලාපොරොත්තු ඇති කරගන්නට හොඳම කාලයයි. අධ්‍යාපන කටයුතු වල යෙදී සිටින අයටත්, විදේශ ගමන් බිමන් බලාපොරොත්තුවෙන් සිටින අයටත්, තරඟ විභාග වලට මුහුණ දෙන්න සිටින අයටත් මේ කාලය ශුභයි. නමුත් යම් යම් බාධාවීම් ඇතිවෙයි. ඒවා එතරම්දුරට නොසිතා මුහුණ දෙන්න. අලුත් ඇඳුම් පැළඳුම් ලැබෙන කාලයකි. ප්‍රීති උත්සවවලට සහභාගිවන්නට අවස්ථාව උදාවෙන කාලයකි. දෙවිදියකින් ලාභ ප්‍රයෝජන ලැබෙන කාලයකි. මේ කාලයේ ඔබේ ඉෂ්ඨ දේවතාවුන්ගේ පිහිට පතන්න. ආගමික කටයුතු වල නිරත වන්න. වාසනාවන්ත කාලයකි. ප්‍රීතිමත් කාලයකි.

මකර ලග්නය

මකර ලග්න හිමියන්ගේ 8 වැන්න වූ සිංහ රාශියට රවිගේ පැමිණීම 9 වැන්න වූ කන්‍යා රාශියට කුජගේ පැමිණීමත් සිදුවිය. මෙම ලග්නයට රාජ්‍ය කටයුතුවල නිරත වූ අයට තරමක අපල කාලයකි. උසස් අයගෙන් දෝෂාරෝපණ ඇතිවිය හැක. මන්ද එය එසේ වන්නෙ ඔබ කළ යුතු වැඩ අතපසු කිරීම නිසයි. එබැවින් මේ කාලයේ ඔබට අදාළ කටයුතු අතපසු නොකර සිටීමටත් අධ්‍යාපනය ලබන දරුවන්ද එදිනෙදා කටයුතු කල්දැමීම නිසා ගැටලු සහගත තැන් ඇතිවිය හැකි බවත් පවුලේ අය සමඟ සමගිය නැති වීමත් දරුවන්ගේ අසනීප නිසා දෙමාපියන්ට මුදල් වියදම් කිරීමටත්, කැපවීමටත් කාලය වෙන් කිරීමට සිදුවෙයි. මේ කාලයේ ලේ දෝෂ ඇතිවීමටත් අර්ශස් රෝග වැඩිවීමටත්, රුධිර පීඩනය වැඩි වීමටත්, දණහිස් වල ලිංග ප්‍රදේශවල රෝග ඇතිවීමටත් පුළුවනි. මේ කාලයේ ලෙඩ වෙනුවෙන් මෙන්ම තමාගේ කටයුතු වෙනුවෙන් දුරබැහැර ගමන් බිමන් යාමට සිදුවෙයි. මෙම ගමන් බිමන් වලදී තමාට වාසියක් අත්වෙනවාට වඩා පාඩුවීමටත් හදිසි අනතුරු කරදර ඇතිවීමටත් පුළුවනි. එම නිසා කල්පනාවෙන් ක්‍රියාකළ යුතු කාලයකි. අනිත් අතින් ඔබ මේ ගෙවන්නෙ ලග්න ඒරාෂ්ඨකයකි. එම නිසා හැම අතින්ම කල්පනාකාරී වන්න. සතුටට වඩා අසතුටුදායක ආරංචි පවා අසන්නට දකින්න ලැබෙන කාලයකි. එබැවින් හැමවිටම කල්පනාකාරී වන්න. ඥාතීන් සමඟ සම්බන්ධතා පැවැත්වීමේදී මෙන්ම හිතවත් අය සමඟ ගනුදෙනු කිරීමේදී කල්පනාකාරී වන්න. විශේෂයෙන් තම පවුල් ජීවිත මෙන්ම රැකියාවද ආරක්‍ෂා කරගෙන මිල මුදල් ණය නොවී ලද පමණින් සතුටුවී සිටින්නට උත්සාහ ගන්න. ගෙවීමේ ක්‍රමයට ඉඩමක් මිලදී ගන්න. නව නිවසක් ගොඩනගන්න. තමන් අදහන ආගමික කටයුත්තක නිරත වන්න. විශේෂයෙන් හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වී ඉදිරියට මුහුණ දෙන්න.

කුම්භ ලග්නය

කුම්භ ලග්න හිමියන්ගේ රවි ග්‍රහයා 7 වැන්න වූ සිංහ රාශියටත් කුජ ග්‍රහයා 8 වැන්න වූ කන්‍යා රාශියටත් පැමිණෙයි. මෙම කාලය තුළදී ඔබට නොයෙක් ආකාරයෙන් නොයෙක් ගැටලුවලට මුහුණදෙන්නට සිදුවෙයි. තවද කුම්භ ලග්න හිමියන්ට මේ ගෙවෙන්නෙ ලග්න ඒරාෂ්ඨකයකි. එහෙත් මේ කාලයේ යම් යම් සිත් රිදවීම් ඇතිකර ගනියි. එසේ වීමට කරුණු ඔබ වටා කරකැවෙයි. පවුලේ සමගිය ආරක්‍ෂා කර ගැනීමට උත්සාහයක් ගන්න. මේ කාලයේ තමන්ගේ ආදායම් මාර්ග සුළු වශයෙන්වත් අඩුවී යන තත්ත්වයක් ඇතිවෙයි. නමුත් උත්සාහයෙන් එය සකසා ගැනීම ඔබට හැකියාව පවතියි. තවද මේ කාලයේ තමා මොන රැකියාවක නිරතවූවත් එම රැකියාව ආරක්‍ෂා කර ගැනීමට උත්සාහ දරන්න. මේ කාලයේ ගමන් බිමන් අධික වෙයි. නමුත් ප්‍රයෝජනයක් නැති කිසිම ගමනක් නොයන්නට වගබලාගතයුතු කාලයකි. අධ්‍යාපනය ලබන දරුවන්ට විශේෂයෙන්ම කියන්නට ඇත්තේ කිසිම හේතුවක් නිසාවත් ඔබ ඔබේ කටයුතු මග නොහරින්න. දෝෂාරෝපණ, නින්දා ඇති වෙන්නට ඉඩ තිබේ. ආදර සම්බන්ධතා පටන් නොගන්න. හැකි පමණින් ආගමික කටයුතු වල නිරත වෙන්න. ගුරුවරුන්ගෙන් ගරු නම්බුනාම හිමිකරගන්නට උත්සාහ කරන්න. මේ කාලයේ රෝග පීඩා ඇතිවිය හැක. එනම් ලේ හිඟවීම, ලේ විෂවීම්, ලේ ගැලීම්, නහර පිපිරීම්, තුවාලවීම්, උගුරේ ආබාධ, බඩේ උෂ්ණගතිය වැඩිවීම්, පාචනය වැනි රෝග වලින් ප්‍රවේශම් වන්න. මේ කාලයේ නරක ආරංචි දුක් වීම් වැනිදේත් ඇතිවෙයි. ශරීර ශක්තිය අඩුවෙයි. මෙතෙක් කරගෙන ආ කටයුතු වලට බාධාවීම් ප්‍රමාදවීම් ඇති වෙන බැවින් කල්පනාකාරී විය යුතුයි. හදිසි අනතුරු දුරදී දැන ගෙන මුහුණ දෙන්නට ශක්තිය ගොඩනැගිය යුතුයි. මේ කාලයේ විෂ්ණු දෙවියන්ට, සෙන්සෙබස්තියන් මුනිඳුන්ට, තම තමන්ව සිහිකර පූජාවක් තබන්න. මේ සියළු දේ ඔබට ශුභ වේවා.

මීන ලග්නය

මීන ලග්න හිමිය්නගේ රවි සිංහ රාශිය වූ 6 වැන්නටත් කුජ කන්‍යාව වූ 7 වැන්නටත් පැමිණේ. මේ කාලය තුළදී මීන ලග්න හිමියෝ තම ආදායම් මාර්ග වලින් ලාභ ලබමින් සතුටු වන බව කිවයුතුයි. මෙතෙක් ජීවිතය වටා තිබූ කරදර බොහෝදුරට අඩුවී යයි. එමෙන්ම ධනය ලැබෙන මාර්ග වැඩිවෙයි. ගොවිතැන් කරන අයටත් මේ කාලය ඉතාම සරුබවක් ගෙන දෙයි. ණයගනුදෙනු වලින් නිදහස් වෙයි. රැකී රක්‍ෂා කටයුතු වලින් දියුණුවක් උසස්වීමක් බලාපොරොත්තු විය හැකි කාලයකි. මෙතෙක් කරගෙන ආ කටයුතු මෙන්ම ඉදිරියේදී කරන්නට බලාපොරොත්තු වන කටයුතු වලින්ද ලාභ ප්‍රයෝජන ලැබේ.

නමුත් මේ කාලයේ විවාහ වීමට සිටින අයගේ විවාහ කටයුතුවල ප්‍රමාදවීමක් දකින්නට ලැබේ. තීන්දු තීරණ ගැනීමේදීද සුළු පසුබෑමක් පෙන්නුම් කරයි. තවද මේ කාලයේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම තරමක් දුරට කේන්ති යන ගතියක් මෙන්ම විවාහ ජීවිතය ඇතුලේ සුළු සුළු සිත් රිදවීම් ඇතිවෙයි. එම කරුණු දුරදිග නොයන්නට වගබලාගත යුතු කාලයකි. ආදර සම්බන්ධතාවල සැකය ඉස්මතු වෙයි. නමුත් දුර දිග බලා ක්‍රියාකිරීමට වගබලා ගන්න.

අධ්‍යාපනය ලබන දරුවන්ට මොන ප්‍රශ්නය ආවත් ඔබේ මූලිකම වගකීම අධ්‍යාපනය බැවින් අධ්‍යාපන කටයුතු වලට මුල්තැනදී කටයුතු කරන්න. එමෙන්ම ඔබේ ජය ඔබ ළඟම ඇති බැවින් ඉදිරියටම යාමට ශක්තිය පවතියි. විදේශ ගමන් බිමන් වලට සුදුසු කාලයකි. ඇත්තෙන්ම ඔබේ පෙර පිං යම්තාක්දුරකට පලදෙන කාලයක් බැවින් ඒ සඳහා කැපවීමෙන් කටයුතු කරන්න. හැබැයි නොසන්සුන්කමත් ඉක්මන් කෝපයත් මඟහරවා ගන්න. හොඳ සිහිබුද්ධියෙන් කටයුතු කරන්න. තමන්ගේ දෙමාපියන්ව මෙන්ම ආච්චිලා සීයලා පිළිබඳව කල්පනාකාරී වන්න. ඔවුන්ට ආදරය කරුණාව දැක්විය යුතු කාලයකි. දෙවි පිහිටයි.

රවි සිංහයට කුජ කන්‍යාවට ඔබේ ලග්නයට කෙසේද?

නාඩි ජ්‍යොතිෂවේදී
ඉටුමිණ මංගල ආයතනයේ අධිපතිනි
ඉවෝන් දිසානායක
0715723434 – 0777901702

advertistmentadvertistment
advertistmentadvertistment