ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ දස අවතාරය

1461

ශ්‍රී ලංකාවාසී ජනතාවගේ පුද පූජාවන්ට පාත්‍රවුණු විෂ්ණු දෙවියන් ඉන්දීය සම්භවයක් ඇති දේවාත්මයකි. බුදුන් දවස විජයාගමණය සිදුවන අවධියේ බුදුන් වහන්සේගේ අනුදැනුමෙන් විජයරජු ලක්දිවට ගොඩබසින දින විෂ්ණු දෙවියන් ලක්දිවට පැමිණි බවත් විජය තම්මැන්නාවට පැමිණි අවස්ථාවේ විජයට ඇස ගැසෙන පරිදි පරිබ්‍රාජක වේශයෙන් සිටි විෂ්ණු දෙවියන් විජයගේ ආරක්‍ෂාව පතා අතට පැන් වත්කොට පිරිත් හුයක් ගැටගසා නොපෙනී ගිය බැව් මහාවංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා භූමියත් සම්බුද්ධ ශාසනයත් ආරක්‍ෂා කිරීමේ භාරදූර කාර්ය විෂ්ණු දෙවිදුන්ට පැවරෙන්නේ විජය මෙලකට පැමිණි අවස්ථාවේදීමය. ලංකාවට පැමිණි විෂ්ණු විජය රජුන්ගෙ අතට පැන් වත්කොට විජයට ආරක්‍ෂාව සැලසුවා මෙන්ම ශ්‍රීලංකාවාසී ජනතාවට සෙත සලසන දෙවියකු ලෙසද විෂ්ණු පිළිගැනෙති. බුදුන් වහන්සේගේ මුවින්ම ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කොට තෙරුවන් සරණ ගිය ඉන්දියානු සම්භවයක් ඇති දෙවි කෙනකු ලෙස විෂ්ණු දෙවිදුන් සැලකේ. විෂ්ණු දෙවියන් බ්‍රහ්ම විෂ්ණු ශීව යන ත්‍රීමුර්තියෙන් ලොව පහළව සිටින ලෝකාරක්‍ෂක දෙවිකෙනකු ලෙසද ජන විශ්වාසයේ පවතී.

පරිත්‍රාණාය සාධූනං විනාශායච දුෂ්කෘතං
ධර්මසංස්ථා පනාර්ත්‍යං සම්භාවං යුගේ යුගං

සත්පුරුෂයන් ආරක්‍ෂා කිරීමට ද පවිටු ජනයන් නසාලීමටද ධර්මය ස්ථාපනය කිරීමටද යුගයෙන් යුගයෙන් යුගය ලොව පහළවන බව ශ්‍රී කෘෂ්ණ පවසයි. (විෂ කණ්‍යා- මහාචාර්ය නවගමුවේ රේවත හිමි. 142 පිටුව) මෙහි කෘෂ්ණ යනු විෂ්ණුගේ අටවන අවතාරයයි.

කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ සාලරුක්‍ෂ වනයෙහි පිරිනිවන් මංචකයෙහි වැඩවුන් බුදුන්වහන්සේ එහි පැමිණ සිටි සක් දෙවියන් අමතා ශ්‍රී ලංකාවත් සම්බුද්ධ සාසනයත් අනාගතයේ සුරකීම සඳහා සක්දෙවිදුන්ට භාරකළ බවත් සක් දෙවිතෙමේ බුදුන් වදාළ එබස් අසා විෂ්ණු දෙවියන්ට ශ්‍රී ලංකාව භාර කළ බව මහාවංශයේ සඳහන් වේ.

විෂ්ණු දෙවියන් ගුරුළු වාහනාරූඪව සිය එක් අතක ජය සංඛයත් තවත් අතක චක්‍රායුධයත් දරා සිටියි.

“මුනිදුන් උපුල් වන් සුරිඳුන් නරනිදුන් වෙත
බැති සිත රකින තම පණ සතරවැනි කොට
සත වෙත පතුරුවන මෙක් කුලුණ සැමවිට”

හංස සංදේශයේ 51 වැනි පද්‍යයෙන් විස්තර කෙරෙන ආකාරයට උපුල් වන් දෙවිඳු ඈත අතීතයේ පටන් ලක්දිව බැතිමතුන්ගේ පුදසත්කාර ලබන දෙවි කෙනෙකු බවත් මෙරට බුද්ධ සාසනය භාරව සිටින විෂ්ණු දෙවියන් බවත් හංස සංදේශ කතුවරයා පවසයි. විෂ්ණු උපුල්වන් දෙදෙනකු බව සමහර බැතිමත්තු සලකති. විෂ්ණු දෙවියන්ට දස අවතාරයක් මෙන්ම නාමයන් දසයක්ද වෙයි. එනම් ශ්‍රී විෂ්ණු, ආභලී, රජි, වාසු දේවතා, නල දේවතා, දමෝරා, ගෝවින්ද, හරිහරර්ජි, පුල්වන් යනුවෙනි.

සකහර මෙන් පවවවා දිව තද තෙද බලති
ගෙන අවිනන් සෙන් සහ විරිදුන් නසති
පදපහරින් රුපුවනසන අබිමන ති
තොප විකුමෙන් නකමුත් කවුරු පවසති

අලගිය න්න මුකවෙටි තුමන් විසින් රචිත සැවුල් සංදේශයේ ඉහතකී සතරවන පද්‍යයෙන් දේව රජුන් වන ඊශ්වර ශක්‍රයා විෂ්ණු නොයෙක් නොයෙක් වර්ගයට අයත් වූ අවි ආයුධත් බලසෙනඟත් ගෙන සතුරන් වනසති යනුවෙන් ශක්‍රයා ද ඊශ්වර ද විෂ්ණු ද ආයුධ දරමින් සතුරන් වනසන පැවසේ. ඊශ්වරගේ ආයුධය වේලායුධය බවත් විෂ්ණුගේ ආයුධය යගදාව බවත් විෂ්ණු සතුරන් නැසීමට භාවිතා කරන්නේත් යහපත් අයට සෙත සැලසීමට භාවිතා කරන්නේත් යගදාව බවත් තුන්ලෝවාසී යහපත් සත්වයන්ට විෂ්ණු දෙවියන්ගෙන් මහත්සේ ආරක්‍ෂාව සැලසෙන බවත් සැවුල් සංදේශ කතුවරයා සිය කෘතියේ සඳහන් කරයි.

විෂ්ණු දෙවියන්ගේ දස අවතාරය මෙසේ වේ. මත්ස්‍ය, කුම්භ, වරාහ, නාසිංහ, වාමන, පරශුරාම, ශ්‍රී රාම, කෘෂ්ණ, බුද්ධ, කල්කි.

  1. මත්ස්‍ය අවතාරය- විෂ්ණු මනුරජු ආරක්‍ෂා කිරීමේ අපේක්‍ෂාවෙන් මත්ස්‍ය වේශයක් මවාගෙන මනු රජුගේ දෑතට පැමිණෙයි. මත්ස්‍ය මනු රජුගේ දෑත පුරා විශාල වෙද්දී මනු රජු නුවණින් සිතා බලයි. මේ විෂ්ණු දෙවියන්ගේ අවතාරය බව වැටහුණු මනුරජ විෂ්ණු දෙවියන්ට වැඳ නමස්කාර කරයි. මෙහිදී විෂ්ණු මතු විශාල ජලගැල්මක් වන බව කියා මනුට අවවාද කරයි. මෙහිදී එයින් දිවි ගලවා ගැනීම පිණිස නැවක් සාදා එයට නැගීමෙන් සත්ව ප්‍රජාව නැවත වර්ධනය කරගන්නා අයුරුත් පැහැදිලි කරයි.
  2. කුර්ම අවතාරය.- දිව්‍ය සමූහයා සතුව තිබූ අමෘතය ප්‍රධාන මහානර්ඝ වස්තුව ලෝක විනාශක මහා ජල ගැල්මකින් මුහුදු පත්ලෙහි ගිලුන කල්හි කුර්මාවතාරයෙන් විෂ්ණු මුහුදු පත්ලට කිමිදෙයි. මත දණ්ඩ ලෙස මන්තර පර්වතය සිය පිට උඩට ගන්නා කුර්මයා අනන්ත

නාගරාජයා රැහැනක්සේ ගෙන මත ගෑමෙන් මුහුදු පත්ලෙහි වූ මහානර්ඝ වස්තුව දෙවියන් අතට පත් කරයි.

  1. වරාහ අවතාරය.- හිරණ්‍යක්‍ෂ නම් බලවත් අසුරයා පෘථිවිය සාගර පතුළට හෙළයි. වරාහ හෙවත් ඌරු වේෂයක් ගන්නා විෂ්ණු අසුරයා විනාශ කර මුහුදෙහි ගිලුන පෘථිවිය ඌරු දළින් ගොඩගෙන ලෝ සතුන්ට සෙත සලසයි.
  2. නාසිංහාවතාරය – සිය ජීවිතාරක්‍ෂාව සිදුවනසේ බ්‍රහ්මාසුරගෙන් වරයක් ලබා ගන්නා හිරණ්‍යකෂීපු නම් අසුරයා තිලොව පීඩාවට ලක් කරන මොහොතේ අර්ධයක් මිනිස් හා අර්ධයක් සිංහ වේෂයෙන් යුතු නාසිකාවතාරය මවාගත් විෂ්ණු හිරණ්‍යකෂීපු වනසා විෂ්වයට සෙත සලසයි.
  3. වාමන අවතාරය – මහා බ්‍රහ්මයාගේ වර ප්‍රධාන ලැබූ බලි නම් අසුරයා තිලොව පීඩාවට පත් කරද්දී වාමන අවතාරය මවාගත් විෂ්ණු බලි අසුරයා වෙතට පැමිණ තමාට තුන් අඩිය වැසෙන පරිදි බිම් කඩක් ඉල්ලයි. මෙසේ බලි අසුරගේ අවසරය ලබාගත් වාමනයා සැණකින් යෝධ සිරුරක් මවාගෙන පළමු පියවර අහසේ ද දෙවන පියවර මුහුදේ ද තෙවන පියවර බලි අසුරගේ හිස මත ද තබා බලි අසුරයා වනසා ලොවට සෙත සලසයි.
  4. පරශුරාම අවතාරය.- විෂ්ණු ජමදත්ත නම් බමුණෙකුට දාව පුතෙකුව පරශුරාම අවතාරය ලබයි. පොරවක් අතින් ගත්තා පරශුරාම වේ. කාර්ති විර්ය නම් රජ කෙනෙකුන් ජමදත්ත බ්‍රාහ්මණගේ සියලු වස්තුව පැහැරගනී. පරශුරාම එම දුෂ්ට රජු මරා දමයි. පසුව කාර්ති වීර්ය රජුගේ පුතා විසින් ජමදත්ත රජු මරා දමයි. මෙයින් මහත් කෝපයට පත්වෙන පරශුරාම එම රජ පෙලපතේ ක්‍ෂත්‍රීයයන් විශාල පිරිසක් මරා දමයි.
  5. රාම අවතාරය – කොසොල් රටේ අයෝධ්‍යාවේ දැහැමි දශරථ රජුගේ පුත්ව රාම නමින් විෂ්ණු ලොව පහළ වෙයි. එසේ ඉපදෙන රාමයන් රාවණයන්ගෙන් ලොවට ඇතිවූ පීඩාව දුරු කරයි.
  6. කෘෂ්ණාවතාරය.- විෂ්ණු වරෙක කෘෂ්ණ ලෙසින් ලොව පහළ වෙයි. ඒ මථුරාවේ රාජ්‍ය විචාළ සැහැසි වූ කංසනම් රාජ්‍ය සමයයි. කංස රජුගේ සොහොයුරෙකු වූ දේවක නම් කුමරුට දේවකී නම් දියණියක් වෙයි. මෙම දියණිය යාදව ගෝත්‍රික වාසුදේව සමග විවාහ වෙයි. මෙම දෙපලට උපදින දරුවෙක් ගෙන් මැරුම් කෑමට වෙන බව දැනගත් කංස රජු දේවකීත් වාසුදේවත් හිරකර තබා ඔවුන්ට ලැබෙන දරුවන් විනාශ කර දමයි. එහෙත් දේවකීගේ කුස උපදින කෘෂ්ණ මරා දැමීමට කංස රජුට නොහැකි වෙයි. විදර්භයේ රජ කුමරියක් වනරුක්මනි සමග විවාහ පත්වෙන කෘෂ්ණ මුළු භාරතයේම අසාධාරණිකයන්ට එරෙහිවී යහපත් ජනයා ආරක්‍ෂා කරයි.
  7. බුද්ධ අවතාරය.- ලෝක සත්වයාට සෙත සලසනුවස් ලොව පහළවූ ගෞතම බුදුපියාණන් වහන්සේ විෂ්ණුගේ බුද්ධ අවතාරය ලෙස සැලකේ.
  8. කල්කි අවතාරය.- ඉහතකී සියලුම අවතාරයන්ගෙන් ශ්‍රී විෂ්ණු ලොව පහළව සිටින අතර කල්කි අවතාරයෙන් විෂ්ණු ලොව පහළ වන්නේ අනාගතයේදී බව බැතිමතුන්ගේ විශ්වාසයයි. සුදු අශ්වයෙකු පිට නැගී දිලිසෙන කඩු පතක් අතින් ගත් අශ්වාරෝහකයෙකුගේ විලාශයෙන් ලොව පහළවන විෂ්ණු අදමිටුවන් නසා යහපත් ලෝ වැස්සනට සෙත සලසන බව පැවසේ.

විෂ්ණු දෙවියන් සෞම්‍ය ගුණ ඇති දේවාත්මයකි. මහනුවර අවධියේ සිට විෂ්ණු දේවාලය මහදේවාලය යනුවෙන් හඳුන්වා ඇත. ලංකාවේ විවිධ ප්‍රදේශවල සිදුකරනු ලබන ශාන්තිකර්මවලදී විෂ්ණු දෙවියන්ට වැදගත් තැනක් හිමිවේ. ගම්මඩුවේදී කාලපන්දම් පූජාව ලබන්නේද පූනාමඩුවේ පහන් දැල්වීමේදී ද විෂ්ණු දෙවියන්ට මූලිකත්වය හිමිවේ. පහන් මඩුවේදී කරනු ලබන දේවතෝත්‍රයේදී ”වෛකුණ්ඨ නගරාධිවරව ගුරළේන්ද්‍ර වාහනාරූඪ වූ ශ්‍රීමත් ගණපති නාරායන විෂ්ණු දිව්‍යරාජෝතතමයාණන් වහන්සේ” යනුවෙන් ගායනා කිරීමෙන් මෙම දෙවිදුන්ට ඇති විශේෂත්වය පැහැදිලි වේ. (දේව පුරාණය 412 පිටුව)

විෂ්ණු දෙවිදුන්ට තම ඔද තෙද මහිමයෙන් බැතිමතුන්ගේ සිතැඟි ඉටුකරදීමේ හැකියාවක් පවතින බව බැතිමත්හු විශ්වාස කරති. ඔව්හු තම බලාපොරොත්තු ඉටුකර ගැනීමට විෂ්ණු දෙවිදුන්ට පිංදී බාරහාර ඔප්පුසිද්ධ කිරීමට ද පුරුදුව සිටිති.

ආශ්‍රිත ග්‍රන්ථ.-

විෂකන්‍යා- මහාචාර්ය නවගමුවේ රේවත හිමි.
දෙවිවරු ගැන කතා – මිස්සක සූරියබණ්ඩාර
හෙළබිම පුද ලබන දෙවිවරු – විජය ශ්‍රී ජයසිංහ
දේව පුරාණය – මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස
මහාචාර්ය එච්.එම්.එස්. තුන්දෙණිය

ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ දස අවතාරය

කලාභූෂණ ‘විශ්වාභිනන්දන’ සියනෑ ගෞරවකීර්ති’
සරණපාල නුවරපක්‍ෂ,
පූගොඩ.
දුක 077 9139904

advertistmentadvertistment
advertistmentadvertistment