තීන්ත අහවර නොවූ පෑනක ‘හුස්ම පොද’ ගිලිහී ගොසිනි…

146

දිවයින පුවත්පත හා සබැඳිව වසර තිහක් පුරා සිය අපිරිමිත මෙහෙවර ඉටුකර දිවයිනෙන් මතු නොව දිවියෙන් ද සමුගත් සත්පුරුෂයකුගේ සත් දින පිංකම අද (06 වැනිදා) ට යෙදී තිබේ. ‘දිවයින’ කළුතර ප‍්‍රාදේශීය වාර්තාකරු ලෙස ජනතාව අතර මතක සිටින නමක් සනිටුහන් කළ හෙතෙම විජයසිරි විද්‍යාසේකර ය. පසුගිය 30 වැනිදා සිය අවසන් හුස්ම පොද උපන් බිමට ණය නැති හිස් අවකාශයට මුදා හරිනවිට ඔහුගේ වයස අවුරුදු 64 ක් විය. එහෙත් විජයසිරි විද්‍යාසේකර යනු තවත් වසර ගණනාවක් මතක හිටින්නට තරම් ගුණ සුවඳ විහිද වූ නමකි.

ජංගම ප‍්‍රවෘත්ති කාර්යාලයක් බඳු වූ ඔහු ඇසූ පිරූ තැන් බොහෝ විය. කළුතර දිස්ත‍්‍රික්කයේ අස්සක් මුල්ලක් නෑරම මනා අවබෝධයකින් පිරිපුන්ව සිටි ගතින් කුඩා මේ මිනිසා සිතින් දැවැන්තයකු විය. දැන උගත්කමින් පොහොසත්ය. මිල මුදල් වෙනුවට ගුණ යහපත් ඉපැයූ වස්තු සම්භාර වෙනුවට මිනිසුන් හම්බ කළ ඒ මිනිසා අද අප අතර නැත.

පත්තරයම සිය ජීවිතය ම කරගත් කර්තෘවරුන් මාධ්‍යවේදීන් පිළිබඳ අප කලාතුරකින් අසා ඇතත් ප‍්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරණයේ එවැනි අයෙක් වේ නම් හේ නිසැකයෙන්ම විජයසිරි විද්‍යාසේකර වේ. ගාල්ල ඉමදූවට යාබඳ කතළුව දුම්රිය නැවතුම්පොළට මීටර් 200ක් පමණ දුරින් පිහිටි නිවසේ පදිංචිව සිටි ඔහු උදෑසන අවදි වූ මොහොතේ සිට කළේ පත්තරයට ප‍්‍රවෘත්ති සෙවීමය. උණුසුම්ව පිළියෙළ කරන ලද උදෑසන තේ කෝප්පය නිවී ඇල්වතුර මට්ටමට පත්වී ඒ වටා මැස්සන් වසන තෙක් විස්මයෙන් මෙන් ප‍්‍රවෘත්ති සෙවූ මේ මිනිසා දෙස ඔහුගේ දෙටු පුත් බිම්සර විද්‍යාසේකර උපේක්ෂාවෙන් බලා සිටියේය. කවදාවත් තමන්ට හැදෙන හැටි ගැන ඔවදනක්වත් නොදුන් පියා ඒ වෙනුවට තමන් අතට පත්තරය දුන් බව කීවේය. ඔහු එදා එසේ කළේ පත්තරය තුළින් යහපත් මිනිසකු වීමට හැකි බව පියාට අවබෝධයක් තිබුණු නිසා බව බිම්සර අදටත් විශ්වාස කරන්නේය. පුතාගේ උපාධි ප‍්‍රදානෝත්සවයට හැරෙන්න වෙනත් පාසල් කටයුත්තකට ගුරු දෙගුරු රැස්වීමකට විද්‍යාසේකර මහතා සහභාගි නොවූයේය.

තමාට රටේ බලවතුන් හා කෙතරම් දැනහැදුනුම්කම් තිබුණත් විජයසිරි විද්‍යාසේකර මහතා ඒවා සිය පවුලේ උදවියගේ සුඛ විහරණය සහ ලාභ ප‍්‍රයෝජන වෙනුවෙන් භාවිත කළේ නැත. යතුරු පැදියකින් ගමන් බිමන් යෑමට පටන්ගත් සිය පුතාට ඔහු දුන් එක උපදෙසක් වේ. ‘පාරේ වැරදියට ගොස් පොලිසියට හසුවී මට කතා කරන්න එපා. මගේ නම කියන්නත් එපා.’’ ඒ විද්‍යාසේකර මහතාගේ ස්වභාවයයි.

රථ වාහන වැරදි මත තමන් හය වතාවක් රජයට දඩ මුදල් ගෙවා ඇතත් ඒවාට මැදිහත්වන්න යැයි පුතා තාත්තාට නොකීවේ ඒ නිසාය. මේ අතර එක් අවස්ථාවක දී පොලිස් දඩ කොලයේ බිම්සර විද්‍යාසේකර යැයි පොලිස් නිලධාරියා ලියාගෙන යනවිට ඔබ විජයසිරි විද්‍යාසේකගේ නෑදෑයෙක් දැයි පොලිස් නිලධාරියා විමසා ඇත. පුතාගේ උත්තරය වී තිබුණේ නැත. තමා එවැන්නෙක් නොදන්නා බවයි. එදා පුතා එසේ පොලිසියට බොරුවක් කියා පැමිණ තිබුණේ තාත්තාගේ නියෝගය මත යමිනි. එහෙයත් ‘දිවයින’ පුවත්පතේ සේවය කරන අයකුගේ මතු නොව එවැන්නකුගේ් ඥාතියකුට හෝ මිත‍්‍රයකුට හෝ පොලිසිය පැත්තෙන් ප‍්‍රශ්නයක් වූයේ නම් විද්‍යාසේකර මහතා නොපසුබටව ඉදිරිපත් වූයේය. කළුතර දිස්ත‍්‍රික්කයේ කවර පොලිසියක වුවද මනා සබඳකම් විද්‍යාසේකර මහතාට විය. ඔහු ඒ සම්බන්ධකම් තමන්ගේ පවුලේ අය වෙනුවෙන් ඥාතීන් වෙනුවෙන් යොදා ගත්තේ නැත. ඔහුගේ එක් සහෝදරයෙක් කුමක් හෝ වරදකට දඬුවම් ලෙස දවසක්ම පොලිස් කූඩුවේ ගතකර ඇත. එහෙත් විද්‍යාසේකර මහතා පොලිසියට කතාකර ඒ තමාගේ සහෝදරයා බවත් ඒ නිසා සහනයක් සලසන්න යැයි කියාවත් ඉල්ලූවේ නැත.

විද්‍යාසේකර මහතාගේ දැන හැඳුනුම්කම් මත රජයේ මෙන්ම තවත් පෞද්ගලික ආයතනවල රැකියා ලබාගත් බොහෝ පිරිස් වෙති. ඔහු ඒවා කළේ මහත් වූ සද්භාවයෙනි. මිනිසුන්ට උදව් කිරීමේ පරම චේතනාව ඔහු තුළ තිබුණා මිස වෙනත් වාසි තෑගි භෝග අපේක්ෂාවෙන් ඔහු උදව් කළේ නැත. ඔහුගේ හයියෙන් සිය දහස් ගණනක් දෙනා එසේ දිවි මඟ වාසනාවන්ත කර ගනිද්දී සිය ප‍්‍රිය භාර්යාව උපාධියට ලකුණු දෙකක් අඩුවීමේ හේතුවෙන් රැකියාවක් නොලබන්නීය. දේශපාලනඥයන් පසුපස ගොස් තම බිරිඳට රැකියාවක් ලබාදෙන ලෙස විද්‍යාසේකර මහතා ඉල්ලූවේ නැත. අදටත් විද්‍යාසේකර මහත්මිය රැකියාවක් නොකරන්නීය.

ප‍්‍රාදේශීය පුවත් වාර්තාකරණයේදී එක් පුවත්පතකට හෝ එක් මාධ්‍ය ආයතනයකට පමණක් සීමා නොවී අනෙක් මාධ්‍ය ආයතන වෙත ද පුවත් වාර්තා කිරීම අද බොහෝ සෙයින් සිදුවන්නකි. ජීවන අරගලයට මැදිවී සිටින පුවත්පත් වාර්තාකරුවන් දූ දරුවන් පාසල් යවා දිවිගැට ගසා ගැනීම එසේ කිරීම වරදක් සේ නොදුටුවත් විද්‍යාසේකර මහතා කවදාවත් දිවයිනට හැර වෙනත් ආයතනවලට ප‍්‍රවෘත්ති සැපයූවේ නැත. එසේ අනෙක් ආයතනයකට ප‍්‍රවෘත්ති සැපයීම අතිරේක ආදායම් මාර්ගයක් වුවත් දිවයින මාතාවගේ ඇකයෙන් පුවත් වාර්තාකරණයට ජනිත වූ විද්‍යාසේකර මහතා වෙනත් පත්තර පෝෂණය කරන්නට ගියේ නැත. ඔහුගේ දේවකාරිය දිවයින වෙනුවෙන් කළ රාජකාරියම විය.

ඔහු වැනි පුවත් වාර්තාකරුවකු නොව මනුෂ්‍යයන් ද අද සමාජයේ විරලය. එවැන්නන් යළි හමුවේ යැයි විශ්වාස කිරීමට නොහැක. උදෑසන අවදි වී පොලිසිවලට, රෝහල්වලට, ඇමැතුම් ගනිමින් සිය ප‍්‍රවෘත්ති පිපාසය සංහිඳවා ගෙන ඒවා ‘දිවයින’ කාර්යාලයට දෙන තෙක් විද්‍යාසේකර මහතාට ඉස්පාසුවක් තිබුණේ නැත. නිවසින් පිටව කතළුව දුම්රිය ස්ථානයෙන් දුම්රියට නැඟ කළුතර එනතෙක්ම කළේත් ප‍්‍රවෘත්ති සෙවීමය. ගතින් පොඩි මිනිසකු වුවද ඔහුගේ කටහඬ ශබ්දය. විද්‍යාසේකර මහතා සිටින දුම්රිය මැදිරියේ මගීන් රට වටා ප‍්‍රවෘත්තිවලින් නොමිලේම සන්නද්ධ වන්නේ මහත් ශබ්දයෙන් යුතුව සිය ජංගම දුරකථනයෙන් ප‍්‍රවෘත්ති සොයන විද්‍යාසේකර මහතාගේ හඬ මැදිරිය පුරාම ගමන් කළ බැවිනි. කතළුවෙන් නැඟ කළුතර දකුණු දුම්රිය පොළින් බැස කඩිසර වේශයෙන් ඇවිදගෙන එන අපේ කාලයේ සොඳුරු වාර්තාකරු ලොව පරම සත්‍යයට යටත්ව දැන් ජීවිතයට සමුදී ඇත.ඒ දුම්රිය මැදිරියේ ඔහුගේ හඬ දැන් ඇසෙන්නේ නැත. ‘‘ මම කළුතර විද්‍යාසේකර කතා කරන්නේ. ෆැක්ස් එකක් එව්වා. බලන්න’ යැයි කියන හඬ දිවයින කාර්යාලයේ දුරකථනයෙන් අපට යළි ඇසෙන්නේ නැත. ඔහු ඒ සඳහා ප‍්‍රවෘත්ති බොහොමයක් සොයා ගත්තේ සිය හදවත බඳුව පරෙස්සම් කර ළඟ තබාගෙන සිටි පොතක සටහන් කළ නම් හා දුරකථන අංක මගිනි. ‘‘මේ පොත තමයි තාත්තා එදා ඉඳන් පාවිච්චි කළේ’ තාත්තාගේ දහඩිය, කඳුළු මෙන්ම හැම සුසුමක්ම මේ පොතත් එක්ක යාවෙලා තිබෙනවා. මේ පොත තාත්තා දෙන්න කිව්වා. ඇස් රතු වෙමින්, කඳුළු සලමින් බිම්සර පුතා අප අත තැබූ පොතක් විද්‍යාසේකර නම් සැබෑ මිනිසාගේ ගුණ කඳත් පමණක් ඔහු පිළිබඳව අපට අද ඉතිරිව ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment