රඟහලෙන් බැස්ස සිංහබාහු රිදී තිරයට එයි

311

ජැක්සන්ගේ දර්ශන ටේ්‍රලර් එකටවත් ෆිල්ම් එකටවත් ගත්තේ නෑ
සිංහබාහු ටේ්‍රලර් එක එළිදක්වමින් – ආචාර්ය සෝමරත්න කිව්ව කතාව

‘ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා සිංහබා… සිංහබා… සිංහබා…’

මරදාන එල්ෆිනිස්ටන්, ටවර් සහ ලයනල් වෙන්ඩ්ට් වැනි එකී මෙකී වේදිකා රඟහල් තුළින් අපගේ නෙත් සිත් පැහැරගත් “ සිංහබාහු” වේදිකා නාට්‍යය මෙවර සමනල තටු, සූරිය අරණ, සිරි පැරකුම් වැනි දැවැන්ත සිනමා කෘති බිහි කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ අතිදැවැන්ත නවතම සිනමා නිර්මාණය ලෙසින් “ සිංහබාහු” සිනමාපටයක් ලෙස අධ්‍යක්ෂණය කර ඇත. එහි ගීත කලඑළි දැක්ම සහ පූර්ව ප්‍රචාරකපටය පසුගිය සිකුරාදා වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේ දී පැවැත්විණ. වේදිකා නාට්‍යයක් ලෙස වේදිකාවෙන් නරඹපු “සිංහබාහු” අබිබවා යමින් ශරීරය ලොමු ඩැහැගැන්වෙන, අද්විතීය සිනමා කෘතියක් ලෙසින් ජනප්‍රවාදයේ පවතින මෙන්ම මහාවංශයේ ද ලියැවී ඇති මෙම අභව්‍ය මෙන්ම අශිෂ්ට කරුණු දෙකම “ සිංහබාහු” සිනමා අර්ථකථනයෙන් පිළිගත හැකි අයුරින් කාලෝචිතව වෙනස්කර ඇති බව මෙහි ගීත සහ පූර්ව ප්‍රචාරක පටය නැරඹීමේ දී මොනවට පසක් වූවා. මේ “ සිංහබාහු” සාම්ප්‍රදායට අභියෝග කරන යෞවනිය විප්ලවකාරී චරිතයකි. වේදිකා නාට්‍යයක් ලෙස වේදිකාවෙන් නරඹපු “සිංහබාහු” නාට්‍ය මෙවර චිත්‍රපටයක් ලෙසින් එහි පූර්ව ප්‍රචාරක පටය සහ ගීත හතරෙහි මංගල ප්‍රදර්ශනය වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේ දී නැරඹීමේ දී ජීවිතයට ගෙන දුන්නේ, මනදොළ පිනා යන, නවමු, අපූරු අත්දැකීමකි. මෙය නැරඹීමෙන් පසුව ආචාර්ය සෝමරත්න දිසානායකයන් සමග අල්ලාප සල්ලාපයේ යෙදීමේ දී “සිංහබාහු” සිනමාපටය පිළිබඳ මෙලෙස අදහස් කියා සිටියා.

රඟහලෙන් බැස්ස සිංහබාහු රිදී තිරයට එයි

“සිංහබාහු” චිත්‍රපටයේ ගීත සහ පූර්ව ප්‍රචාරකපටය මෙලෙස හදිසියේ එළිදැක්වීමට අදහස් කළේ ඇයි?

අපි මේ වනවිට චිත්‍රපටය හදලා අවසන්. ඉතින් තව මාස කීපයකින් එය ප්‍රේක්ෂකයින් වෙනුවෙන් මුදාහරිනවා. ඒ නිසා අපි හිතුවා ප්‍රචාරක කටයුතු දැන් පටන් ගත්තට කමක් නැහැ කියලා.

ප්‍රචාරක පටය කොහොම වුණත් දැනට අපි සමාජ මාධ්‍ය ජාලාවලටත් මුදාහැරියා. ඒ වගේම සිනමා ශාලාවලත් දැනට පෙන්වනවා. ඉතින් විශේෂයෙන්ම මේකේ ගීත හතරක් තියෙනවා. ප්‍රචාරක කටයුත්තක් ලංකාවේ කරන්නේ නැහැ සාමාන්‍යයෙන්, ඒ නිසා මම හිතුවා අත්හදා බැලීමක් හැටියට ගීත කලින්ම ජනගත කරනව කියලා. ඒනිසා චිත්‍රපටයේ ගීත හතර ම මේ විදිහට සමාජ මාධ්‍ය ජාලවලට සහ මාධ්‍ය ආයතනවලට වගේ හැම තැනකටම මුදා හැරියා.

රඟහලෙන් බැස්ස සිංහබාහු රිදී තිරයට එයි

මුලින් සැලසුම් කළ “ සිංහයා” නොමැතිව නේද මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත හතරේ මංගල දර්ශනය එළිදක්වන්නට සිදුවුණේ?

ඔව්. මම මුලින් සිංහයාගේ චරිතයට සැලසුම් කළේ ජැක්සන් ඇන්තනීව. ජැක්සන් විශේෂ කැපවීමකින් ඒ චරිතය දිහා බොහොම ආසාවෙන් බලාගෙන හිටියා. ජැක්සන් අනතුරකට පත්වී ඔහු දැනට රෝගාතුර වී සිටී ම අපේ අවාසනාව තමයි. නමුත් ඉතින් ඒකට විකල්පයක් විදිහට ඔහුගේ ම ලොකු පුතා අකිල ඒ චරිතය භාර ගත්තා. ඒක අපිට හරිම සතුටක්. ඇත්තටම ගොඩක් සන්තෝසයි අකිල තමන්ගේ අප්පච්චිට හොඳ සාධාරණයක් වෙන විදියට ඉතා හොඳ රංගනයක යෙදෙනවා. මම සීයට සීයක්ම තෘප්තිමත් අකිලගේ රංගනයට. ඇත්තටම ජැක්සන්ගෙන් ගන්න හිටපු හරය කිසිම අඩුවක් නැතුව ඔහුගේ ලොකුපුතා මට ලබාදුන්නා. අකිල ඒ චරිතය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා කියලා මට කියන්න පුළුවන්.

රඟහලෙන් බැස්ස සිංහබාහු රිදී තිරයට එයි

ජැක්සන් අවසන් වරට රඟපෑ දර්ශන මේ පූර්ව ප්‍රචාරක පටයේ නැහැනේ?

ඔව්. ජැක්සන්ගේ දර්ශන කිහිපයක්ම රූගත කළා. එම රූගත කළ දර්ශනයන් අපි ළඟ තියෙනවා. නමුත් ඒවා අපි පූර්ව ප්‍රචාරක පටයටවත් චිත්‍රපටයටවත් යොදා ගත්තේ නැහැ.

ජැක්සන් වෙනුවට ඔහුගේ පුතාව සිංහයාගේ චරිතය සඳහා තෝරා ගැනීම පිළිබඳව අධ්‍යක්ෂවරයා වන ඔබට මොනවගේ ප්‍රතිචාර ද ලැබුණේ ?

ඉතාම සාර්ථකයි කියලා හුඟ දෙනෙක් මට කිව්වා. කිසිම කෙනෙක් කිව්වේ නැහැ ඒක අසාර්ථකයි කියලා. හුඟදෙනෙක් කිව්වේ සමහර තැන්වල දී ජැක්සන් ඇන්තනීම ද මේ චරිතය කරන්නේ කියලා හිතෙන තරමට ම ඔහු ජැක්සන්ව, තමන්ගේ අප්පච්චිව ආරූඪ කරගෙන හිටියා කියලා. ඒ ආරූඪය මම හිතන්නේ මම අධ්‍යක්ෂවරයා හැටියට ඔහුට ලබා දුන්නා. මම දන්නවා මේක ජැක්සන් කළානම් කොහොමද කරන්නේ කියලා. නමුත් ඒ චරිත ස්වභාවය සහ හැසිරීම් රටාව, දෙබස් උච්චාරණය වගේ මේ හැම දෙයක්ම මම අකිලට මුලින්ම හොඳට කියලා දුන්නා. ඒ කියලා දෙනදේ ඒ විදිහටම කරන්න අකිලගේ දක්ෂතාවයකුත් තියෙනවා. ඒ වගේම අකිලගේ ශරීර හැඩරුවත් මම හිතනවා ජැක්සන්ටත් වඩා සුදුසුයි කියලා ඒ චරිතයට. කොහොම නමුත් ඒ චරිතයට ජැක්සන්ගේ අඩුව ඉතාම සාර්ථකව අකිල පිරිමැහුවා කියලා තමයි මට කියන්න තියෙන්නේ.

රඟහලෙන් බැස්ස සිංහබාහු රිදී තිරයට එයි

“සිංහබාහු” අධ්‍යක්ෂණයේ දී රූගත කිරීම්වලදී සිදු වූ අමතක නොවන සිදුවීම් ගැන කතා කළොත් ?

සිදුවුණු බිහිසුණුම අත්දැකීම තමයි ජැක්සන් ගේ අනතුර. ඒක කවදාවත් අමතක නොවෙන හරිම බිහිසුණු අවාසනාවන්ත අත්දැකීමක්. ඒ කම්පනය අපට තවමත් තියෙනවා. ඊට අමතරව තවත් සුළු සුළු අමතක නොවන සිදුවීම් තියෙනවා.

“සිංහබාහු” චිත්‍රපටයේ දී කතා කළ යුතුම, වැදගත්ම අංගයන් සිහිපත් කළොත් ?

අනිවාර්යයෙන්ම මතක් කළ යුතුයි, මගේ සංගීත අධ්‍යක්ෂකවරයා මහාචාර්ය සමන් පනාපිටියව. ඊට අමතරව මම සිනමාවට ප්‍රථම වරට හඳුන්වලා දෙනවා දුෂේනි මියුරංගිව. ඒ වගේම තවම පාසල් යන දැරිවියක් තමයි අභිලාෂි කියන්නේ. එයාවත් සිනමාවට හඳුන්වා දෙනවා සුප්පා දේවියගේ තරුණ කාලයට. චන්දන වික්‍රමසිංහ මෙහි නැටුම් නිර්මාණයට අමතරව චරිත නිරූපණය කරනවා. ඒකත් මම හිතනවා ඔහුගේ ජීවිතයට වගේම අපේ සිනමාවටත් අලුත් අත්දැකීමක් කියලා. ඒ වගේම ජැක්සන්ගේ දරුවෝ දෙන්නම අකිල සහ සජිත ප්‍රධාන චරිත කරනවා. යශෝධා විමලධර්මත් සුප්පා දේවියගේ චරිතය වැඩිහිටි කාලය කරනවා. ඉතින් මේ සහසම්බන්ධතාව ඉතාම සාර්ථකව දැකගන්නට තියෙනවා අපේ “ සිංහබාහු” සිනමාපටය ඇතුළත.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment