මතු ජීවිත

111

අප යටත් කරගන්නවුන් ගැන නිර්දය විමසා බැලීමක් – ප්‍රවීණ ලේඛක රෝහණ වෙත්තසිංහ

ටැන්සානියාවේ උපත ලද අබ්දුල් රසාක් ගුර්නාත් (Abdul Rasak Gurnath) පොදු පාඨකයා අතර එතරම් ප්‍රචලිත නමක් සහිත ලේඛකයෙකු නොවුණද, 2021 වසරේදී සාහිත්‍යය උදෙසා වන නොබෙල් සාහිත්‍ය සම්මානය පිරිනැමීමට තරම් වටිනා මිනිසෙකු බව එම කමිටුව තේරුම් ගෙන සිටියේය.

ඒ අනුව 2021 වසරේදී එම ගෞරවණීය සම්මානය පිරිනැමුණේ ඔහු විසින් රචිත Afterlives නම් නවකතාව වෙනුවෙනි.

එම සම්මානය පුද කිරීමට හේතු පාඨය වශයෙන් නොබෙල් සම්මාන කමිටුව ඉදිරිපත් කර ඇත්තේ “යටත් විජිතවාදයේ, මහාද්වීපික සහ සංස්කෘතික යෝධ පරතරය හමුවේ සරණාගත ජීවිතවලට ඇතිවන බලපෑම් හා ඉන් අත්වෙන ඉරණම පිළිබඳව නිර්දය හා සානුකම්පිත තියුණු විමසා බැලීම උදෙසා” යනුවෙනි.

මේ හැරුණු කල බුකර් ත්‍යාගය ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ සාහිත්‍ය සම්මාන ගණනාවක් වෙනුවෙන් මීට පෙරද මෙම ලේඛකයාගේ නවකතා කීපයක් නිර්දේශ වී තිබේ. ඒවා නම් පැරඩයිස් (Paradise), බයි ද සී (By the sea) හා ඩෙසර්ෂන් (Desertion) ය. ඔහු විසින් මෙතෙක් ලියා ඇති සම්පූර්ණ නවකතා ප්‍රමාණය 10 කි.

ඔහුගේ Afterlives වන කතාවට මෙම සම්මානය පිරිනැමුණේ වයස අවුරුදු 74 දීය. ඒ සාහිත්‍යය උදෙසා නොබෙල් ත්‍යාගය දිනාගත් දෙවන කළු ජාතිකයා බවට පත්වෙමිනි. මීට පෙර ඒ සඳහා හිමිකම් ලැබූ කළු ජාතිකයා වන්නේ ඇමෙරිකාවේ පදිංචිකාරියක බවට පත්ව සිටින ටෝනි මොරිසන් නමැති ලේඛිකාවය. මෙම සම්මානය 2007 වසරෙන් පසු දිනා ගත් ප්‍රථම අප්‍රිකානුවා ලෙස සැලකෙන්නේ ද අබ්දුල් රසාක් ගුර්නාත් ය. එම සම්මානය දිනූ අප්‍රිකාවේ ප්‍රථමයා වන්නේ වෝලේ සොයින්කාසිය.

ගුර්නාත්, හැටේ දශකය අග භාගයේදී සරණාගතයෙකු ලෙස එක්සත් ජනපදයට පැමිණියේය. ඉංග්‍රීසි බසින් නවකතාකරණයේ යෙදුණු ඔහුගේ සියලු නව කතාවලට මෙන්ම, කෙටිකතා සහ විචාර ලිපිවලට ද බෙහෙවින් පාදක වූයේ යටත් විජිතවාදය, යුද්ධය සහ අවතැන්වීම යන තේමාවන්ය. අවතැන් වූ සංක්‍රමණිකයකු ලෙස ආගන්තුක දේශයක ජීවත්වීමේ දී දැනෙන අවතැන් වූ මනුෂ්‍යයෙකුගේ හැඟීම් සහ අත්දැකීම් දිනපොතක ලියා තැබීම ඔහු පුරුද්දක් කර ගත් බව පැවසේ.

අබ්දුල් රසාක් ගුර්නාත්ගේ Afterlives නමැති මෙම සම්මානීය කෘතිය ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු මෙන්ම කෘතහස්ත ලේඛකයෙකු හා පරිවර්තකයෙකු ද වන රෝහණ වෙත්තසිංහ විසින් පරිවර්තනය කරන ලදුව “මතු ජීවිත” නමින් සරසවි ප්‍රකාශකයෝ විසින් එළිදක්වා ඇත.

මෙම සාහිත්‍යමය මෙහෙවර තුළින් රෝහණ වෙත්තසිංහ අපව ආගන්තුක සමාජ පසුබිමක් හා සංසිද්ධීන් රැසක් කරා රැගෙන යයි. එකී දේශය සහ ජනතාවගේ සංස්කෘතිය අපට ආගන්තුක වුවද දශක පහක් ඉක්මවා ගිය කාල පරිච්ඡේදයක යුරෝපීය ජාතීන් තුනක් අප රට යටත් කර ගනිමින් ගෙන ගිය පාලනය අරබයා අප අසා ඇති අත්දැකීම් දෙස බලන කල අප්‍රිකානු මහාද්වීපය සිසාරා ඔවුන් ගෙනගිය කෲර සහ උපායශීලී ක්‍රමවේදයන් සහ අප මැඬ පැවැත්වීම සඳහා යොදා ගත් ක්‍රමවේදයන් අතර සුවිසාල වෙනසක් නැති බව පෙනේ. වෙනසකට ඇත්තේ අප්‍රිකානු මහාද්වීපය ආක්‍රමණය කළ ආකාරයට ජාතීන් ගණනාවක් එක්වර කඩා වදිනු වෙනුවට, කාල පරිච්ඡේද තුනකදී අප රට ආක්‍රමණය කිරීම ය. ඉන් අනතුරුව විවිධාකාරයෙන් සිය පාලනයට නතු කර ගැනීමය. රටේ ජනතාව විසින් විඳිනු ලැබූ පීඩාවන් පොදුවේ එක සමාන වූ අතර, අධිරාජ්‍යවාදීන් විසින් අනුගමනය කරනු ලැබූ උපක්‍රම ආදියෙහි ද ලොකුම වෙනසක් නොවීය.

නමුත් “මතු ජීවිත” නව කතාවට පසුබිම්වන්නේ අති විශාල භූමි ප්‍රදේශයක් වන අප්‍රිකානු මහා ද්වීපය වන බැවින් භාෂා, සංස්කෘතික ආදී වශයෙන් බෙදී ගිය ජනවාර්ගික කොටස් 120 කට අධික සංඛ්‍යාවක් විසින් එකිනෙකා කා කොටා ගන්නා ආකාරයද, අධිරාජ්‍යවාදීන්ට එරෙහිව දක්වන ප්‍රතිචාරයන්ද, අධිරාජ්‍යවාදීන් හා එකතුව ස්වදේශීක අන්‍ය ගෝත්‍රිකයින්ගෙන් පළි ගන්නා ආකාරයද අපට වඩා සංකීර්ණය. බිහිසුණුය.

බාහිර බලවේග විසින් ඇති කරනු ලැබූ අනේක විධ සටන් වලට අමතරව අභ්‍යන්තරිකවද මෙම ග්‍රෝත්‍ර අතර නිරන්තර සටන් ඇවිළී පැවතුණි. එම අභ්‍යන්තර බෙදීම්ද ආක්‍රමණිකයින් විසින් තම උවමනාවන් උදෙසා මැනවින් යොදා ගත් බැවින් විසිවැනි සියවසේ පළමු දශකය නිමාවූ තැන් පටන් අප්‍රිකා මහාද්වීපය සිසාර ඇති වූයේ විග්‍රහ කිරීමට අසීරු අතීශය සංකීර්ණ කෲර ගැටුම් මාලාවකි.

ඒ හේතු කොටගෙන රෝහණ වෙත්තසිංහ සිය පරිවර්තන කාර්යය ඔස්සේ අපවද අබ්දුල් රසාක් ගුර්නාත්ගේ කෘතිය හරහා දැන් යුද පිටියක් බවට පත්ව ඇති දැවැන්ත භූමිභාගයකට අපව කැඳවාගෙන යයි. එසේ නමුදු මෙතනදී පාඨක අපව ආකර්ෂණය කර ගනු ලබන්නේ යුද්ධය විසින් හෝ ඊට එරෙහි අරගලයේ ක්‍රියාදාම සිද්ධීන් විසින් නොවේ. ඒ හේතු කොට ගෙන නැසෙන හා නසනු ලබන ජීවිතද, නැතිකර ගන්නා හා නැති කර දමනු ලැබූ ආත්ම ගෞරවය සහිත මිනිස් ජීවිතද ඒ අතර තවමත් ඉන්ද්‍රඛීලයක් සේ තැනින් තැන ඉතිරිවී දිදුලන මනුෂ්‍යත්වයද පිළිබඳ කතාන්තරයයි.

කතුවරයාගේ ජන්ම භූමිය වන ටැන්සානියාව පාදක කර ගනිමින් ගොඩනඟා ඇතැයි සිතෙන නමුදු මෙම වෘත්තාන්ත සම්මත නවකතා ආකෘතියෙන් මදක් ඔබ්බට ගිය සෙයක් ප්‍රකට කරවයි.

සිදුවී ඇති මහා ව්‍යසනය හේතු කොටගෙන අප්‍රමාණ ලෙස බැට කනු ලබන මෙම මිනිස් ප්‍රජාව තවදුරටත් ජීවත් කරවනු ලබන්නේත්, අප හදවත් තුළ ඔවුන් වෙනුවෙන් ඉඩකඩක් වෙන් කෙරෙනු ලබන්නේත් යකඩින් සහ රුධිරයෙන් යටපත් කළ නොහැකි වූ පෙරකී මනුෂ්‍යත්වයේ ස්පර්ෂය හේතු කොට ගනිමිනි. අප මුළින් සඳහන් කළ ආකාරයට අක්මුල් නැති චරිත එකට බැඳ තබන සවිමත් හූය වන්නේ එයයි.

ස්වදේශීන්ව ස්වදේශීන්ටම එරෙහිව පෙළ ගැස්වීම පිණීස ආක්‍රමණකාරී ජර්මානුන් විසින් ගොඩන‘ගන ලද ස්කූස්ට්‍රප් අස්කාරීන් නම් හමුදාංකය මෙම මහා ව්‍යසනයේ පදනම සේ සැලකිය හැකිය. ජීවිතය රැක ගැනීමේ සහ ජීවිතය සරිකර ගැනීමේ එකම පිළියම ලෙසද බොහෝ දෙනෙකු මෙම සේනාංකයට බැඳීමට තීරණය කරනු ලැබුවේ යුද්ධයෙන් විනාශ කරන ලද රට තුළ අන් කළ හැකි දෙයක් නොවූ බැවිනි.

ඉක්බිති මෙකී මහාද්වීපය මුළුල්ලේ තම වර්ගයා සමගම ඇනකොටා ගනිමින්ද එක් ආක්‍රමණිකයෙකු සමග සෙසු ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් වදිමින්, තුවාල ලබමින්, සිරගතවෙමින් හා නොදන්නා ඉසව්වක මියපරලොව යමින්ද, ඔවුන්ගේ ජීවිත ගසාගෙන යන්නේ දෛවෝපගත ලෙස කොහේ හෝ තැනක ජීවිතය අල්ලා රඳවා තබා ගන්නට සුඝු පිරිසකට පමණක් ඉඩකඩක් සැලසෙන අයුරිනි.

සරල ජීවිත අපේක්ෂාවන් සහිත මෙම මිනිසුන් කීපදෙනාගේ චර්යාවන් ඔස්සේ පාඨකයා තුළ මනුෂ්‍යත්වය අරබයා ඇති කරවනු ලබන්නේ මහත් හෘදයාංගම බැඳීමකි. අහිංසක වූත්, ධාර්මිකවූත් දිවි පෙවෙතක ඇති සැනසිලිදායක සුවය පිළිබඳ උණුසුම් ළෙන්ගතු කමකි.

“මතු ජීවිත” කෘතිය තුළින් පාඨකයා ඒ මානුෂීය අත්දැකීම් විඳ ගන්නේ කලිෆා, ඉල්යාස්, හම්සා, අෆීයා සහ බීආශා යන චරිත කීපය ප්‍රධාන භූමිකාවන් කර ගනිමිනි.

යහපත් මනුෂ්‍යයින් වන මෙම චරිත කීපය ගුර්නාත් විසින් ගොඩනඟා ඇත්තේ මනුෂ්‍ය වර්ගයාට පොදු යම් යම් දුබලතාවයන්ද සංකලනය වන අයුරිනි. මිනිස් ජීවිත සියුම්ව අත්විඳිනු සඳහා මෙන්ම ඒවා ප්‍රතිනිර්මාණය සඳහාද වූ කතුවරයාගේ ශක්‍යතාවය පිළිබිඹු කෙරෙන මෙම උත්සාහයේදී අපට අමතක කළ නොහැකි තවත් චරිතයක් වන්නේ ස්කූස්ට්‍රප් අස්කාරී හමුදාවේ සිටි එක්තරා ජර්මන් ජාතික හමුදා නිලධාරියෙකි. පෙර දිනක හම්සා සේවය කළ බළකායේ ප්‍රධානියෙකු වූ මෙම නිලධාරියාද අප්‍රිකානු භූමිය සූරාකමින් ජනතාව පීඩාවට පත්කළ එකෙකි. එමෙන්ම සුප්‍රකට සමලිංගිකයෙකුද වන හෙතෙම හම්සාව අපයෝජනයටද ලක් කරනු ලැබූවෙකි.

එහෙත් ලාබාල තරුණයෙකු වූ හම්සා තුළවූ සුවිශේෂත්වයන් හඳුනා ගන්නා මෙම නිලධාරියා හම්සාට ජර්මන් බස ඉගැන්වීමෙහි ලා අවංක උත්සාහයක යෙදෙන අතර, හම්සා මතු යම් දිනක එක්තරා සුවිශේෂී ග්‍රන්ථයක් කියවීමට තරම් දැනුමක් ලබා ගනු ඇතැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නෙකුද වෙයි. කඩු පහරකින් තුවාල ලබා පූජකාරාමයක ප්‍රතිකාර ලබන හම්සා බොහෝ දුරට සුවපත්ව ඉන් පිටව යන්නේ නිලධාරියා විසින් තබා යනු ලබන මෙම කෘතිය කියවීමට තරම් ප්‍රමාණවත් ජර්මන් භාෂා දැනුමක්ද සහිතවය.

ඉක්බිති අනාථයකු සේ මහමගට වැටෙන ඔහුට තම ජීවිතය ගැට ගසා ගන්නට ලැබෙන රැකියාව ඔස්සේ ඉදිරියට යෑමට කිව නොහැකි ආලෝකයක් ලබා දෙන්නේ දිවි ගමන අතරමගදී අවිධිමත් ලෙස ලබා ගත් මෙම සාක්ෂාරතාවය හේතුකොටගෙනය. හම්සා නමැති චරිතයට පමණක් නොව කලීෆා හා අෆීයා නමැති තරුණියට ද සිය ගමන් මග ස්ථාවර කර ගැනීමට මගපාදා දෙනු ලබන්නේ දිවි ගමනේ අවිධිමත් ලෙස ලබා ගන්නා මෙම සාක්ෂරතාවය විසිනි.

ඔවුන්ගේ එම උත්සාහය මෙම කෘතිය කියවන පාඨක සහෘදයා තුළ තම තමන්ගේ ජීවිත අරබයාද, ධනාත්මක හැඟීමක් ඇති කරවන අතරම දහසක් දුක් කම්කටොළු අතරින් ඔවුන් සිය ජීවිතය ගෙන යාමට කරන අරගලයේ කතාන්තරය එම යහපත් හැඟීම තවදුරටත් තීව්‍ර කිරීමට සමත් වෙයි.

ජීවිතය අරබයා වූ නොනවතින තරග දිවීමෙන් විනිර්මුක්තව ජීවිතයේ සැබෑ අරමුණ කුමක්දැයි තම නැණ පමණින් අවබෝධ කරගත් භූමිකා කීපයක් හඳුනා ගන්නට මෙලෙස අපට මෙම කෘතියෙන් ඉඩ සැලසෙයි.

මේ අයුරින් ස්වකීය නව කතාව තුළින් බලවත් ජාතීන්ගේ කෲර ආක්‍රමණයන්ට මුහුණ දුන්නාවූත්, ඔවුන් අතින් මරණයට හා මරණයට නොදෙවෙනි පීඩාවන්ට ලක් වූවාවූත් සමස්ත ලෝකවාසී එවැනි ජනයාගේ ඉරණමේ යථා ස්වභාවය එක සමාන වූවක් බව අපට පෙන්වා දෙන්නටද එය සමත් වෙයි.

මෙම ප්‍රබන්ධය පිටුපස ඇති යථාර්ථය කෙතරම් ප්‍රබලද යත් පෙරදිග හා අප්‍රිකානු භාෂා පීඨයේ ආචාර්ය අයිඩා හජීවායානිස් පැවසුවේ ගුර්නාත්ගේ Afterlives සහ Paradise යන කෘතීන් පාසල් විෂය ධාරාවටද ඇතුල් කළ යුතු බවයි.

සිය උපන් බිම වූ ටැන්සානියාව හැරදා ඇමෙරිකා එක්සත් ජනපදයට යාමෙන් අනතුරුව, ඔහු යළි සිය මව්බිමට නොපැමිණියද හැකි සෑම අවස්ථාවකම ගුර්නාත් තම මව්බිම යනුවෙන් හඳුන්වනු ලැබුවේ ටැන්සානියාව ය. එමෙන්ම තමන්ගේ සාහිත්‍ය කෘතීන් සඳහාද හැම විටම පාහේ නැගෙනහිර අප්‍රිකාවේ මුහුදුබඩ ජන ජීවිතය පසුබිම් කර ගත්තේය. මේ හැරුණු කල සිය නවකතාව උදෙසා තම මව් රටෙහි ගෝත්‍රික භාෂාවක් වූ ස්වාහිලී බසෙහි එන යෙදුම් ද ඇතුළත් කළේය. මේ කාරණාවලට අමතරව තමන්ට ඇසුරු කරන්නට ලැබුණු අරාබි ජාතිකයන් හා ආක්‍රමණිකයින් ලෙස කලක් ස්ථාපිතව සිටි ජර්මන් ජාතිකයින් පිළිබඳව අත්දැකීම්වලින්ද සන්නද්ධව සිටි බැවින් ඔහුගේ සාහිත්‍යය තුළ මෙම භාෂා දෙකෙහි ආභාෂය ද දැකගත හැකිය. මේ නිසා ආදාළ ප්‍රස්තූතය පිළිබදව ඔහු විසින් ගොඩනඟන චිත්‍රය වඩාත් විචිත්‍රව අපට දැක ගත හැකිව තිබේ. මෙනයින් අබුදුල් රසාක් ගුර්නාත් අතින් සිදුවන විවරණය ඇත්ත වශයෙන්ම අප්‍රිකානු ඉතිහාසය පිළිබඳ වූ ප්‍රබන්ධක් ඉක්මවා ගිය යථාර්ථයකි.

සමාජයේ විවිධ ස්ථර විනිවිද දකින ඕනෑම කලාකරුවකු අවසානයේ සොයා ගන්නා දිදුලන මාණික්‍යය වන්නේ ලොව කිසිම බලවේගයකට අභිබවා යා නොහැකි උත්තරීතර මනුෂ්‍යත්වයයි.

ඔබ මේ කියවනු ලබන අබ්දුල් රසාක් ගුර්නාත්ගේ Afterlives කෘතීයේ සිංහල පරිවර්තනය වන “මතු ජීවිත” තුළින්ද අපගේ හදවතට දැනී සහකම්පනයක් ඇති කරන්නේ ඒ හැඟීම ය.

එය කිසිදු බලවත් අධිරාජ්‍යයකට යටපත් කරගත නොහැකි ශක්ති ප්‍රභවයක් බව අබ්දුල් රසාක් ගුර්නාත් ද මැනවින් සනාථ කර තිබේ.

● තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment