ඔක්තෝම්බර් 17ට පෙර ජනපතිවරණය පැවැත්විය යුතුයි: – ඇමැති විජයදාස

57

ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝම්බර් මස 17 වැනිදාට පෙර පැවැත්වෙන බවත්, එය වෙනස් කිරීමට කිසිවකුට නොහැකි බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

අධිකරණ ඇමැතිවරයා ඒ බැව් කියා සිටියේ ඉකුත් 25 දා කඳුරට ජනතා පෙරමුණේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් මහතා විසින් හැටන් කුඩාඔය ප්‍රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක සංවිධානය කර තිබු උත්සවයක ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි. මෙහිදී විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තොම්බර් 17 ට පෙර පවත්වනවා. ඒක කිසිවකුට වෙනස් කරන්න බැහැ. නොයෙකුත් අය එක එක ඒවා කිව්වට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න කාටවත් බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රබලතම දේශපාලන පක්ෂය වශයෙන් මේ මැතිවරණයට මුහුණ දෙනවා.

අපි කාටවත් කඩේ යන්නේ නෑ. අපේ අපේක්ෂකයා කවුද කියලා අපිම තෝරා ගන්නවා. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සේවක පක්ෂය සහ සේව්‍ය පක්ෂය සමග සාකච්ඡා කරන්න අවශ්‍යයි. මොකද දෙපාර්ශ්වයටම ආර්ථික අපහසුතා තියෙනවා. සේවක පක්ෂය පැත්තේ වෘත්තීය සමිති ගණනාවක් තියෙනවා. ඒ නිසා දෙපාර්ශවය සමගම සාකච්ඡා කරන්න ඕනෑ.

ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ත්‍රස්තවාදීන් පිළිබඳව ඒ අයගේ නීතිය ක්‍රියාත්මක කරයි. ඔවුන් ලංකාවේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් කර හෝ විවිධ කණ්ඩායම්වලට අනුබල දී තිබෙනවා නම් ලංකාවේ නීතිය ද ක්‍රියාත්මක කළ යුතුයි.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment