රජයේ විධායක නිලධාරීන්ට සාධාරණ වැටුපක් දෙන්න අගමැති උපදෙසින් ත්‍රිපුද්ගල කමිටුවක්

79

විධායක නිලධාරීන්ට දෙන්නේ මහ බැංකු කාර්යාල සහායකයකුටත් වඩා අඩු වැටුපක් – විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ඒ. එල්. උදයසිරි

රජයේ විධායක නිලධාරීන්ට සාධාරණ වැටුපක් ලබාදීම සඳහා කරන ලද ඉල්ලීම සලකා බැලීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්, රාජ්‍ය පරිපාලන ලේකම් සහ අග්‍රාමාත්‍ය ලේකම් යන තිදෙනාගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (22 දා) උපදෙස් ලබාදී තිබේ.

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සමග පැවැති සාකච්ඡාවකින් පසුව අගමැතිවරයා මේ උපදෙස් ලබාදුන් බව එම කමිටුවේ සභාපති එච්. ඒ. එල්. උදයසිරි මහතා ඊයේ (22 දා) ‘දිවයින’ ට පැවසීය.

මේ වනවිට රජයේ විධායක නිලධාරීන්ගේ වැටුප සියයට 80කින් පමණ අවප්‍රමාණය වී ඇති බවත්, මේ වනවිට රජයේ විධායක නිලධාරීන්ට ලැබෙන්නේ මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායකයකුටත් වඩා අඩු වැටුපක් බවත් උදයසිරි මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව රජයේ විධායක නිලධාරීන්ගේ වැටුප් ප්‍රශ්නය ගැන සලකා බලා විසඳුම් යෝජනාවක් සකස් කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් එම කමිටුව පත් කිරීමට උපෙදස් ලබාදුන් බවත් එම කමිටුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් සම්බන්ධීකරණය කරනු ලබන බවත් උදයසිරි මහතා කීවේය.

රජයේ විධායක නිලධාරීන් සඳහා සාධාරණ වැටුපක් ලැබිය යුතුය යන ඉල්ලීම සාධාරණ බවට අග්‍රාමාත්‍යවරයා පිළිගත් බවද, ඒ අනුව අදාළ කමිටුව මගින් මේ සඳහා විසඳුම් යෝජනාවක් සකස් කර ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ඒ. එල්. උදයසිරි මහතා තවදුරටත් ‘දිවයින’ ට කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment