භෞමික අඛණ්ඩතාව සුරකමින් බලය බෙදීම අපේ මතයයි

82

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

තමන් දහ තුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය බෙදීම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටින අතර ඒකීය රටක් සහ භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත, දේශපාලන නිදහස ස්ථාපිත රටක් ඇති කිරීම තම අරමුණු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විනය ගරුක සමාජයක් උදෙසා වූ භික්ෂු උපදේශක සභාවේ දෙවැනි අදියර පෙරේදා (15 දා) ගාල්ල නගර ශාලාවේ දී පැවැති අවස්ථාවේ 13 වැනි සංශෝධනය ගැන සිය ස්ථාවරය විපක්ෂ නායකවරයා මහා සංඝරත්නය ඉදිරියේ දී පවසමින් එසේ කීය.

රටක ඒකීයභාවය, ස්වරීත්වය සුරක්ෂා වීමට ජාතික සමගිය ජාතික ඒකාග්‍රතාව, ජාතික එකමුතුභාවය වැදගත් බවත් සියලුම පුරවැසියන්ට එක හා සමාන සැලකිල්ලකට ලක්කර හැම ජන කොට්ඨාසයකටම ආත්ම අභිමානයේ ගෞරවයෙන් ස්වෝත්සාහයෙන් ස්වශක්තියෙන් ජීවත් වීමේ අවස්ථාව උදාකර දෙන බවත් හෙතෙම පැවසීය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ලබා දී ඇති විශේෂිත ස්ථානය සුරකින බවත් අනෙකුත් ආගමික හා ජාතීන් කොට්ඨාස සුරක්ෂා වන විදිහට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

ඒකීය භාවය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, ජාතික ආරක්ෂාව යන සංකල්ප ගැන කතා කිරීමට පෙර රට තුළ ඇති බෙදීම නැතිකර දැමිය යුතු බවත් සියලුම ජන සමාජ සියලුම ජන කොට්ඨාස සුරක්ෂිතභාවය ඒකීය භාවය වෙනුවෙන් කැපවිය යුතු බවත් විපක්ෂ නායකවරයා කීය.

රට තුළ මේ වනවිට කතාව වැඩි වී ක්‍රියාව අඩු වී ඇති බවත් පසුගිය දිනක මිහින්තලා පුදබිමේ සිදුවූ විදුලි කප්පාදුව ගැන කනගාටුවට පත් වන බවත් ඒ මහතා පැවසීය.

එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රජය විසින්ම අමු අමුවේම උල්ලංඝනය කිරීමක් වන අතර 75 වසරක ඉතිහාසය ගැන කතා කරන විට එම ඉතිහාසය පුරාම හිටපු නායකයෝ වැඩ කළේ ආණ්ඩුවේ බලය අරගෙන බවත් කී හෙතෙම විපක්ෂය සිදු කළේ ආණ්ඩු බලය ලබා ගැනීමට කටයුතු කිරීම වුවත් වත්මන් විපක්ෂය විසින් ඒ සියලු දේ වෙනස් කළ බවත් කීය.

තමා සහ තම කණ්ඩායම විපක්ෂයේ සිට තුන් වැනි මාවතක ගමන් කරන බවත් වැඩ කරන මාවත එය බවත් කතා කරන දේ ක්‍රියාවට නංවන මාවත එය බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

මිහින්තලේ සිදු කළාක් මෙන් රටේම තිරසර වැඩසටහනක් දියත් කිරීමට රාජ්‍ය බලය අවශ්‍ය බවත් මුළු රටම අපේක්ෂාවෙන් සිටින සිස්ටම් එකේ වෙනස සමගි ජන බලවේගය ඇතිකර තිබෙන බවත් කී ඒ මහතා හොරකම වංචාව තුරන්කර සත්‍යවාදී ශක්තිමත් දේශයක් ගොඩ ගැනීමට කටයුතු කරන බවත් කීය.

හොරුන් සමග කිසිදු අවස්ථාවක ගනුදෙනුවක් නොමැති නිසා පසුගිය කාලයේ බලය ලබා ගැනීමට ඉල්ලීම් සිදු කළත් එය නොකළ බවත් ජනතා වරමකින් පමණක් ආණ්ඩු බලය ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.

කිසිදු අවස්ථාවක අවස්ථාවාදීත්වය මුල් කර ගෙන කටයුතු නොකරන අතර ඕනෑ තරම් අභියෝග ආවත් කිසිදු අවස්ථාවක ඒ වෙනුවෙන් නොසැලෙන බවත් පැවසීය.

තමන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවත් රටට වැඩක් කළ හැකි ආකාරයේ නව වැඩපිළිවෙළක් සඳහා තමන් සූදානම් බවත් කී විපක්ෂ නායක ඒ යටතේ ලොව ප්‍රථමයා බවට රට පත් කිරීමට ස්වාමීන් වහන්සේලා ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරන බව ද විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

මේ මොහොත වන විටත් කට වචනයට සීමා නොවී සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සෑම ආගමික සිද්ධස්ථානයක් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත් පැවසීය.

සමාජ සේවා, ආගමික හා දේශපාලන ගමනක් යන බලවේගයක් ලෙස ඉතිහාසයෙන් ගත යුතු ධනාත්මක පාඩම් ගෙන ඉවත් කළ යුතු සෘණාත්මක කරුණු හොඳින් අවබෝධ කර ගෙන ගෞරවනීය භික්ෂූන් වහන්සේලාගේ අවවාද උපදෙස් අදහස් යෝජනා ලබා ගෙන උපරිම ආකාරයෙන් නිවැරදි ගමනක් යන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෑම විහාරස්ථානයකටම මෙන්ම ආගමික සිද්ධානයකටම සංවර්ධන අරමුදලක් ඇති කරන බවත් ගමේ නගරයේ පිහිටා ඇති ආගමික සිද්ධස්ථානයෙන් සිදු කරන දහම් පණිවිඩය ජන සමාජයේ විනයගරුක භාවය ශීලාචාරාත්වය ශිෂ්ටසම්පන්න භාවය ව්‍යාප්ත කර දැහැමි ප්‍රශස්ත ප්‍රබුද්ධ පුරවැසි පරපුරක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී අදහස් පළ කළ ආචාර්ය අකුරැටියේ නන්ද හිමි කියා සිටියේ වසර 5ක් පුරා පළාත් සභා අක්‍රීයව ඇති බවත් ජනාධිපතිගේ සෘජු පාලනයට ලක් ව සිටින ආණ්ඩුකාරවරුන් 13 සංශෝධනයත් අභිබවා යන තත්ත්වයක් ඇතිව තිබෙන බවය.

ගයන්ත කරුණාතිලක මහත්තයා ගාල්ල දිස්ත්‍රික්කයේ මහන්සි වෙලා වැඩ කරනවා. ඒ වගේම අපි දකිනවා ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයා උදේම පාර්ලිමේන්තුවට ගිහින් තනියම ආණ්ඩුවේ ප්‍රශ්නවලට මුහුණ දීලා සටන් කරන වීරයෙක්. රංජිත් මද්දුම බන්ඩාර ආනන්දයේ ඉගෙන ගත් දරුවෙක් ලෙස හොඳ ගමනක් යනවා. ඒ වගේම ෆිල්ඩ් මාර්ෂල් තුමා වගේ හොඳ ටීම් එකක් විපක්ෂ නායකතුමාට සිටින බව පැවසූහ.

පුරාවිද්‍යා පනත පවා උල්ලංඝනය කරමින් තම අභිමතය පරිදි විධායක ජනාධිපතිවරයා කටයුතු කරන බවත් මීට විරුද්ධ විය යුතු බවත් සෑම ජාතියකම, ආගමකමද ජනතාව මෙරට තුළ සමගියෙන් සාමයෙන් සිටියත් වත්මන් ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය තුළ එම සමගියට බාධාවක් එල්ල විය හැකි බව උන්වහන්සේ පැවසූහ.

මෙහිදී අදහස් දැක්වූ තිනියාවල පාලිත ස්වාමීන් වහන්සේ කියා සිටියේ, තමා දේශපාලනඥයන් කිසිදු අවස්ථාවක විශ්වාස නොකළත් සජිත් ප්‍රේමදාස මහතාව ඉහළින්ම විශ්වාස කරන බවත් ඔහුව ඕනෑම අවස්ථාවක සම්බන්ධ කර ගැනීමේ හැකියාවක් ඇති බවත්ය.

රට ජාතිය ආගම වෙනුවෙන් මේ සිදු කරන මෙහෙය ඉතාම අගය කරනා බවත් තිනියාවල පාලිත හිමියන් මෙහිදී පැවසූ අතර මේ වනවිට රජය විසින් ක්‍රියාත්මක කරන්නේ රාජ්‍යයක් නොව ආණ්ඩුවක් වන අතර කැබිනට් මණ්ඩලයක් නොමැති බවත් ඇත්තේ එහෙයියන් පිරිසක් සහ පිං අගමැතිවරයෙක් බවත් උන්වහන්සේ මෙහි දී පැවසූහ.

මේ තත්ත්වයෙන් රට බේරා ගැනීමට නම් මහා සංඝරත්නය නැගිටිය යුතු බවත් විපක්ෂයට හෝ විපක්ෂ නායකවරයාට අපහාස හෝ දොස් පැවරීම නොව ආණ්ඩුව වෙනස් කිරීම පමණක් සිදු කළ යුතු තිනියාවල පාලිත හිමියෝ සඳහන් කළහ.

ගාල්ල- ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment