සී ෂෙල්ස් දූපත්වල පිපිරීමක් – හදිසි නීතිය පනවයි

437

ඉන්දීය සාගරයේ පිහිටි සී ෂෙල්ස් දූපත් සමූහයට අයත් ප්‍රධාන දූපතේ පුපුරන ද්‍රව්‍ය ගබඩා කර ඇති ගබඩාවක සිදු වූ දැවැන්ත පිපිරීමක් හා අධික වැසි නිසා හටගත් ජල ගැලීම් හේතුවෙන් සීෂෙල්ස් දූපත්වලට හදිසි නීතිය පැනවීමට එරට රජය විසින් පියවර ගෙන තිබේ.

සීෂෙල්ස් දූපත් සමූහයට අයත් ප්‍රධාන දූපත වන “මහේ” දූපතේ කාර්මික කලාපයේ පිහිටි පුපුරන ද්‍රව්‍ය ගබඩාවක හටගෙන ඇති දැවැන්ත පිපිරීම සමගම එම කලාපයෙහි පිහිටි ගොඩනැඟිලිවලට හා කලාපයට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ. මෙම පිපිරීම සිදුවන අවස්ථාවේදී සීෂෙල්ස් දූපතට බලපා තිබූ ධාරාණිපාත වැසි හේතුවෙන් හටගෙන තිබූ ජලගැලීම්වලින් දෙදෙනකු මියගොස් ඇති බව වාර්තා වී තිබිණි. සීෂෙල්ස් දූපත් සමූහයේ ජනාධිපති වවෙල් රාම්කලවන් විසින් දූපත්වලට හදිසි නීතිය පනවමින් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ නිවෙස්වලට වී සිටින ලෙසයි. පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දූපත් සමූහයේ පාසල් හා රැකියා ස්ථාන වසා දමා ඇති අතර අත්‍යවශ්‍ය සේවාවන්ට අයත් සේවකයන් හැර සෙසු පිරිස්වලට මහා මාර්ගවල ඇවිදීම තහනම් කර තිබේ. දූපත් 115කින් සමන්විත සීෂෙල්ස් දූපත් සමූහයේ පවතින ගුවන්තොටුපළ හා බෝට්ටු ප්‍රවාහන සේවාව සංචාරකයන් වෙනුවෙන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment