ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි සටන අද

365

මතීෂ වෙනුවට මධුසංඛ!

පිතිකරුවන් දැක්වූ දස්කම් ශ්‍රී ලංකාවේ පළමු ජයග්‍රහණයට හේතු වුණා – සධීර සමරවික්‍රම

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පන්දු වාර විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගය අද (06 වැනිදා) බංග්ලාදේශයේ සිල්හෙට් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් ප.ව.5.30 ට ආරම්භ වීමට නියමිතය.

තරග 3 කින් යුතු එම තරගාවලියේ පළමු තරගය ජය ගත් ශ්‍රී ලංකාව තරග 1-0ක් ලෙසින් මේ වනවිට පෙරමුණේ පසුවන අතර එබැවින් අද පැවැත්වෙන තරගය ද ජය ගතහොත් එක් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇත.

එසේම විස්සයි-20 තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් අද පැවැත්වෙන තරගය ජය ගැනීම බංග්ලාදේශයට අනිවාර්ය කාරණයක් වී තිබේ.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ දුරට එක් වෙනස්කමක් සමග ක්‍රීඩා කිරීමට ඉඩ ඇත. එනම් පළමු තරගයේදී සිය එල්ලය සොයා ගැනීමට අසමත් වූ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට ඩිල්ශාන් මධුසංඛ අද තරගය සඳහා කැඳවීමට ඉඩ ඇත.

පෙරේදා පැවති තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 03ක තියුණු ජයග්‍රහණයක් ලබා ගත් අතර එම ජයග්‍රහණය සඳහා පිතිකරුවන් ලබා දුන් දායකත්වය වඩාත් හේතු වූ බව ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු සධීර සමරවික්‍රම එම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සධීර

“මෙවන් තණතීරුවක පිතිකරුවන් ක්‍රීඩා කළ ආකාරය ගැන මම සතුටු වෙනවා. එසේම මෙම තරගය ජයගැනීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වුණේ පිතිකරුවන්ගේ දායකත්වයයි. එපමණක් නොව පින්න නිසා කෙතරම් අසීරුවෙන් පන්දු යැවුවත්, පිතිකරුවන්ගේ දායකත්වයෙන් ලකුණු පුවරුවේ විශාල ලකුණු සංඛ්‍යාවක් තිබීම නිසා අවසානයේදී තරගය ජයගත හැකි වුණා.’

ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී නියමිත පන්දු වාර විස්ස තුළදී කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 206 ක් ලබාගත් අතර ඊට අර්ධ ශතක දෙකකින් දායක වීමට සදීර සහ කුසල් මෙන්ඩිස් සමත් වූ අතර නායක චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කළේය.

“කණ්ඩායමේ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ළඟා කර ගත්තා. ඉන් අනතුරුව එය දීර්ඝ ඉනිමක් කරා රැගෙන යෑමට ඔවුන්ට හැකි වීම මෙම තරගයේදී තීරණාත්මක සාධකය වූ බව මම සිතනවා. විශේෂයෙන් කුසල් මෙන්ඩිස් සහ කමිඳු හොඳ ආරම්භයක් ළඟා කර ගත්තා. ඉන් අනතුරුව කුසල් සහ මමත් එක්ව උත්සාහ කළේ එම රිද්මය පවත්වාගෙන යෑමටයි. කෙසේ වෙතත් ඉනිමේ අවසන් භාගයේදී චරිත් අසලංක ලැබෙන සෑම පන්දුවකටම විශාල පහරවල් එල්ල කරමින් ලකුණු රැස්කළා. ඒ අනුව සමස්තයක් ලෙස ගත් කළ පිතිකරණ බල ඇණියම විශිෂ්ට ලෙස ක්‍රීඩා කිරීම ගැන සතුටු වෙනවා.’ යැයි ද සදීර සඳහන් කළේය.

තමන් ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාර තුනේදී වයිඩ් පන්දු සහ නිපන්දු සමග පන්දු වාර තුනකට ලකුණු 54 ක් ලබා දුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් එහිදී විමසූ අතර ඒ පිළිබඳව සධීර මෙසේ පැවසීය.

“එම අවස්ථාවේදී පැවැති දැඩි පින්න නිසා මතීෂ පමණක් නොව කණ්ඩායමේ පන්දු යවන්නන් සියලුදෙනා දැඩි අපහසුතාවයකට පත් වුණා. එපමණක් නොව ඒ අවස්ථාවේදී පන්දු රකින්නන් ද දැඩි අසීරුතාවයකට පත් වුණා. මේ අතරවාරයේ මතීෂ පාදයේ ආබාධයකටත් ගොදුරු වුණා. කෙසේ වෙතත් මෙහිදී ඇතිවූ තත්ත්වය ඉතාමත් අවාසනාවන්ත බව මම විශ්වාස කරනවා.’ යනුවෙන් පැවැසීය.

කෙසේ වෙතත් එක් අවස්ථාවක බංග්ලාදේශය ජයග්‍රහණයට ඉතාමත් ආසන්නයේ සිටියත්, දසුන් යැවූ අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමි වූ බවද පැවැසූ සධීර “මහමුදුල්ලා ලබා දුන් උඩපන්දුව මාගේ අතින් ගිලිහී ගිය අවස්ථාවේදී මම සිතුවේ තරගය අපගෙන් ඈත්වන බවයි. නමුත් වාසනාවකට මහීෂ් තීක්ෂණට මහමුදුල්ලාගේ කඩුල්ල දවා ගැනීමට හැකි වුණා. ඒ අනුව අධික පීඩනයක් පවතින අවස්ථාවන්වලදී අපගේ මුල්පෙළ පන්දු යවන්නන් ඔවුන්ගේ වගකීම නිසි ලෙස ඉටු කිරීම ඒ අවස්ථාවේදී තීරණාත්මක සාධකය බවට පත් වුණා. එසේම දසුන් යොමු කළ අති විශිෂ්ට අවසන් පන්දුවාරය නිසා අපට තරගය ජය ගත හැකි වුණා.” යනුවෙන් ද ප්‍රකාශ කළේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment