සජබයෙන් කථානායකට විශ්වාසභංගයක්

63

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පටහැනිව ඔන්ලයින් පනතට ඉඩ දුන්නා

මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවලට පටහැනිව පනත් කෙටුම්පතේ යම් යම්

වගන්තීන් සම්මත කර ගැනීමට ඉඩ ලබාදීම නිසා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ විශ්වාසයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බව කියමින් සමගි ජන බලවේගය කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු යොදා ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, ජී. ඇල්. පීරිස්, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි සහ ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට ඊයේ (26දා)අත්සන් තැබූහ.

එම විශ්වාසභංග යෝජනාවේ මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පතේ 13, 17, 20, 33 (6), 34 (1), 35 (1), 21, 22, 31 වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති යෝජනා නොසලකා කටයුතු කර ඇති බව සඳහන් වේ.

සජබයෙන් කථානායකට විශ්වාසභංගයක්

මෙම පනත තුන්වැනි වර කියවීමේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් පැහැදිලි බෙදීමක් ඉල්ලා සිටියත් එම ඉල්ලීමද නොසලකා ඡන්දයකින් තොරවම පනත සම්මත කර ඇති බවත් මෙවැනි ගැටලු රාශියක් තිබියදී ඒ සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බලන තෙක් එම පනත් කෙටුම්පත නීතියක් වන ලෙස අත්සන් නොකරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටියත් එම ඉල්ලීමද නොසලකා හරිමින් කටයුතු කර තිබීමත් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට හේතු වී තිබේ.

කථානායකවරයා පක්ෂග්‍රාහීව කටයුතු කිරීම, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, කථානායක ධුරයේ ස්වාධීනත්වය හා ගෞරවය කෙළෙසීම, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ අයිතිවාසිකම් කඩ කරමින් සිය වගකීම් පැහැර හැර ඇති බව පවසමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment