මහා සිකුරාදා අදයි

721

අපි දැන් චතාරික සමයට පිවිස සිටිමු. මීට වසර 1990කට පෙර ජේසුස් වහන්සේ කුරුසිය මත පුද කළ ජීවිත පූජාව දුක්ප්‍රාප්තිය එදා සිට අද වනතුරුත් භක්තියෙන් ගෞරවයෙන් යුතුව සිහිපත් කෙරේ. ඒ සඳහා ආත්මිකාකාරයෙන් සූදානම් වනු සඳහා අළු බදාදායින් ආරම්භ වන දින හතළියේදී වත ඉරාගෙන නොව සිත ඉරාගෙන නුඹේ දෙවි සමිඳුන් වෙත හැරී එන්න (ජොවෙල් 2:12-18) බයිබලයීය පාඨයත් මේ ප්‍රසාද ජනක කාලයේදී දන්දීම යාච්ඤාව, උපවාසය පැවැත්විය යුතු නිසි පිළිවෙළ ගැන ශු. මතෙව්තුමාගේ සුවිශේෂ (6:1-6,16-18) අපට දැනුවත් කරයි.

මනස්ථාපනය සඳහා කෙරෙන ඇරයුමෙන් කිතු ජනතාව පාද නමස්කාරය එක්වරු ශීලය රැකීම, උපවාසය, පසන් ගායනා කිරීම ආදී අභ්‍යාසවල නිරත වේ. මෙහිදී මතක තියා ගතයුතු මූලික කරුණ වන්නේ මනස්ථාපනය සමගම වෙනස් වීමද අත්‍යවශ්‍ය බවය. වෙනස් වීමක් සිදුනොවුණහොත් මනස්ථාපනයෙන් සහ භක්ති අභ්‍යාසවලින් ඵලක් නොවේ. වෙනස් වීම වෙනුවට අවුරුදු පතා මනස්ථාපනය වෙවි සිටීමෙන් අපගේ කිතුනු ජීවිතවල එතෙර වීමක් දැකිය නොහැක.

‘සැබැවින්ම මම ඔබට කියමි. ඔබ වෙනස්වී කුඩා දරුවන් මෙන් නොවුවහොත් කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නහුය (මතෙව් 18:3)

ජේසුස් වහන්සේ පැවසූ වදන් මෙනෙහි කරමු. වෙනස් වූ මොහොතේ සිට ම ඔහුගේ හෝ ඇයගේ අවකල් ක්‍රියා දුරුවී ආත්මික දේ ක්‍රියාත්මක වන්නට පටන් ගනී. රෝග තත්ත්වයන් පහවී ගොස් සුවය අත්විඳී. ආර්ථික අපහසුතා යටපත්වී සඵලත්වය උදාකර ගනී. ඒ නිසා ම දසයෙන් කොටස පරිත්‍යාග කරයි. රැස් කර ගන්නවා වෙනුවට බෙදා ගැනීමට ලැදිවෙයි. ලෝකයේ දේවල් පසෙකලා දෙවියන් වහන්සේගේ මහිමය ගැන ප්‍රීතියෙන් කතා කරයි. සිකුරාදා (අද) දෙවිඳුන් අයදින්න. මේ සියලු දේ අත්දකිනවා ඒකාන්තයි.

ඔබ වෙනස් වන තුරු දෙවියන් වහන්සේ මහත් ඕනෑකමින් බලා සිටින බව ඔබට වැටහෙනවා ද? වසර තුනක්ම අත්තික්කා ගසක ගෙඩි සොයා ආ මිනිසෙක් ගෙඩි නොමැති කමින් ගස කපන්න. එය පොළොවට බරක් විය යුතු නැති බව උයන් ගොව්වාට පැවසූ විට හාරා පෝර දමන පිණිස මේ අවුරුද්දෙත් තිබුණා වේ. (ලුක් 13:6-9) පැවසූ අයුරු ඔබ අසා ඇත. පූජා ප්‍රසාදිතුමන්ලා දිව්‍ය පූජා දේශනවලදී කොතරම් හාරා පෝර දැම්ම ද ඵල දරන අය ඉතාම අල්පය. දෙවියන් වහන්සේ වසර කීපයක් සමහර විට ඔබගේ ජීවිත කාලයට ඔබ ඵල කරන තෙක් වෙනස් වන තෙක් බලා සිටියි.

‘යම් තැනැත්තෙක් මා තුළ නොසිටින්නේ නම් අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළී යයි. වියළි අතු එක් රැස් කොට ගින්නට දමනු ලැබේ. ඒවා දැවී යන්නේය. (ජොහාන් 15:6) වෙනස් නොවන්නා වූ ඵල නොදරන්නා වූ සැමට ම දෙවියන් වහන්සේ දෙන අවවාදයයි ඒ. මනස්ථාපනය, වෙනස් වීම, එතෙර වීම, ඵල දැරීම ආදී වශයෙන් අපගේ ආත්මික දිවිය ආලෝකමත් කිරීමට ළං කර ගන්නා වූ ශුද්ධ ලියවිලි පාඨ ඇසීමෙන්ම පමණක් ඵලක් නැත. එය සාවදානව අසා සිත තුළ ඵල දරන්නට ක්‍රියාත්මක වෙන්නට ඉඩදී ඒ තුළින් ඇදහිල්ල, බලාපොරොත්තුව වෙත අපට ගෙන යන ලෙස අයදිමු. මන්ද දෙවියන් වහන්සේ ගේ වචනය මාංශ ගත වූ සැණින් මරිය වහන්සේගේ ජීවිතයේ සිදුවූ වෙනස කෙතරම් අපූරු ද?

දිව්‍ය පූජාවට සහභාගී වන දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන ඔබ මේ ප්‍රසාද ජනක කාලය තුළ දී කරන්නා වූ බාහිර දේවලට වඩා ඇතුළාන්තමය වෙනසක් විය යුතු දේ ගැන උනන්දු විය යුතුය.

‘එකල උන්වහන්සේ ශ්‍රාවකයන් දොළොස් දෙනා කැඳවා සියලු යක්‍ෂයන් කෙරෙහි බලය සහ ආධිපත්‍යය ද, රෝග සුව කිරීමේ වරය ද පවරා දී දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ කරන පිණිසත්, රෝගීන් සුව කරනු පිණිසත් ඔවුන් යැවූ සේක. (ලුක් 9:1-2)

අද මෙම බලය ඇත්තේ පූජා ප්‍රසාදිතුමන්ලාටය. මගේ ජීවිතයම ඔබ වේ. මගේ රැකවරණය ඔබ වේ කියා අඳුරේ සැරිසරන ජනතාව, උදෙසා එම බලයෙන් යකුන් දුරු කරන, රෝගීන් සුව කරන, විවිධ ප්‍රශ්නවලට විසඳුම දෙන පූජා ප්‍රසාදිතුමන්ලා ද නැතුවා නොවේ.

‘මේ සෙනඟ මට නමස්කාර කරන්නේ වචනයෙන් පමණි. ඔවුන්ගේ සිත් මා වෙත යොමුවී නැත. ඔවුන්ගේ ආගම වනාහි කට පාඩම් කර ගත් මනුෂ්‍ය නීති රීති හා පාරම්පරික සම්ප්‍රදායයන් පමණි. (යෙසායා 29:13)

මේ වදන් අපට අදාළ නොවේ ද?

මහ සිකුරාදා දින ජේසුස් වහන්සේගේ කුරුස පත්වීමේ මෙහෙයේ දී ශ්‍රී වාක්‍ය සත ප්‍රකාශ කිරීම, තුන් පැය ධ්‍යානය සිදුකරන්නේ සාමාන්‍යයෙන් සවස තුනට පමණය.

‘මද්දහනේ සිට අපරභාග තුන දක්වා රට පුරා තද අන්ධකාරයක් පහළ විය. තුනට පමණ ජේසුස් වහන්සේ ‘ඒලි… ඒලි… ලාමා සබත්තානි’ කියා මහ හඬින් මොර ගැසූ බව. (මතෙව් 27:45-46) සඳහන් වේ.

ඉතාම පැහැදිලියි. සවස තුන වනවිට ජේසුස් වහන්සේ අපවත් වීමට ආසන්න බව මද්දහනේ සිට සවස තුන වන තුරු හොඳට කාලා බීලා පොඩි නින්දක් දාලා කෙනෙක්ගේ අවසන් කටයුතුවලට සුසාන භූමියට යනව වගේ තමයි අපි මෙම මෙහෙයට යන්නේ. ඒ ගියත් දේවස්ථානයට ඇතුළත නම් විදුලි පංකාවක් යටට, එළිමහනේ නම් ගසක් යටට, සෙවණකට යන්න බලනවා. ජේසුස් වහන්සේ වෙනුවෙන් පොඩි පීඩාවක්වත් දරා ගන්න උත්සාහ ගන්නේ නැහැ. මේ කාරණා වෙනස් කර ගතයුතු දේවල් නොවේ ද?

අපගේ පව් වෙනුවෙන් අප වෙනුවෙන් කුරුසය මත දිවි පිදූ ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් මහා සිකුරාදා අපි ආගමික වතාවත් කරමු.

● සුනිල් ප්‍රනාන්දු – සරිකාරිමුල්ල

advertistmentadvertistment
advertistmentadvertistment