පොලිතීන් ඇට ආනයනය නතර වීමෙන් ප්ලාස්ටික් බෑග් නිෂ්පාදනයට කණකොකා හඬයි

161

පොලිතීන් ඇට ආනයනය නතරවීමෙන් සහල් සහ එළවළු බෑග් නිෂ්පාදනය මෙන්ම කොරෝනා ආරක්ෂිත ඇඳුම් කට්ටල නිෂ්පාදනයද සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙන බව එම කර්මාන්තකරුවෝ පවසති.

පොලිතීන් ඇට ආනයනය මාස 04 න් සිදුනොවූ බව කී කර්මාන්තකරුවෝ ප්ලාස්ටික් නිෂ්පාදන හිගයක් නුදුරේදීම විවෘත වෙළඳපලේ ඇති වන බවද පැවැසූහ. පොලිතීන් ඇට (මැටීරියල්) ආනයනය ඇණහිට තිබෙන බවත් රුපියල් 200ත් 250ත් මිලකට තිබූ පොලිතීන් ඇට කිලෝවක් වර්තමානයේදී රුපියල් 1250 සිට 1500 දක්වා ඉහළ ගොස් තිබෙන බවද ඒම කර්මාන්තකරුවෝ පවසති.

ෂොපින් බෑග්/සහල් බෑග්/එළවළු බෑග්/ ප්ලාස්ටික් පැදුරු/නූල් වර්ග/සෙල්ලම් බඩු/මල් පෝච්චි/ මාක්ස්/සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා කොරෝනා ඇඳුම් කට්ටල ඇතුළු නිෂ්පාදන ගණනාවක් පොලිතීන් ඇටවලින් නිෂ්පාදනය කෙරේ.

පවතින ඩොලර් හිඟයෙන් පසුගිය අප්‍රේල් මාසයේ සිට පොලිතීන් ඇට ආනයනය සිදුනොවන බවත් කර්මාන්ත ශාලා රැසක් දැනටමත් වසා දමා තිබෙන බවත් පවසන කර්මාන්තකරුවෝ පොලිතීන් ඇට හිඟය/ ඉන්ධන හිඟය/ විදුලි කප්පාදුව/කුඩා සහ මධ්‍යම පරිමාණ සහල් මෝල් වැසී යෑම සහ මහ පරිමාණ සහල් මෝල්වලින් සහල් බෑග් සඳහා පැවැති ඇණවුම් කඩා වැටීම නිසා ඒ සඳහා සැපයූ සහල් බෑග් සඳහා පැවැති ඉල්ලුම කඩා වැටී තිබෙන බවද ඔවුහු පැවැසූහ. කොරෝනා ව්‍යවසනට මුහුණදීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය කොරෝනා ආරක්ෂිත ඇඳුම් කට්ටල පොලිතීන් ඇට යොදා නිෂ්පාදනය කළ බවත් ඉදිරියේදී යළි කොරෝනා වසංගතයක් රට පුරා ඇති වුවහොත් ඒසඳහා අවශ්‍ය වන ඇඳුම් කට්ටල නිෂ්පාදනයද සම්පූර්ණයෙන්ම ඇණ හිටිනු ඇති බවද ඔවුහු පැවැසූහ.

පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන පොලිතීන් ඇට හිඟයෙන් කඩා වැටී තිබෙන බවත් ඒ ආශ්‍රිත කර්මාන්තශාලා වසා දැමීමෙන් විසි පන්දහසකට අධික පිරිසකට රැකියා අහිමිවී ඇති බවත් පැවැසූහ.

මාතලේ විශේෂ නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment