උතුරේ සංචාරයට පැමිණි විදේශිකයා සුද්ද කරලා

78

යාපනයේ අච්චුවේලි ප්‍රදේශයේ නිවසකින් විදේශිකයකු සතු දේශීය හා විදේශීය මුදල්, කැමරා, ලැප්ටොප් පරිගණකයක් ඇතුළු භාණ්ඩ රැසක් සොරකම් කළ පුද්ගලයකු අච්චුවේලි පොලිසිය විසින් පෙරේදා (15 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

එම සංචාරකයාගේ විදෙස් ගමන් බලපත්‍රය හා ඔහුට අයත් වැදගත් ලියකියවිලි රැසක්ද සැකකාර තරුණයා විසින් සොරකම් කොට තිබියදී පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ ඇති මෙම විදේශිකයා ඔහුගේ හිතවතකුට අයත් අච්චුවේලි ප්‍රදේශයේ නිවසක නවාතැන් ගෙන සිට ඇති අතර ඔහු නාන කාමරයට ගිය අවස්ථාවක එම නිවසට ඇතුළු වූ පුද්ගලයකු එම හාණ්ඩ සොරකම් කොට තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනයේ අච්චුවේලි ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණයකු වන අතර ඔහු එම නිවසට යන ආකාරය දුටු අයකු පොලිසියට ලබා දුන් ප්‍රකාශයක් මත සැකකරුව පැයක් ඇතුළත අත් අඩංගුවට ගැනීමට අච්චුවේලි පොලිසියට හැකි වී තිබේ. සැකකරුව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අච්චුවේලි පොලිසිය පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment