ගුවන් යානයක් නිවස කරගත් අපූරු මිනිසෙක්

1195

පෝලන්ත සම්භවයකින් යුත් ”බෲස් කැම්ප්බෙල්” විශ‍්‍රාමික ඉංජිනේරුවරයෙකි. සිය රැුකියාවෙන් විශ‍්‍රාම යාමෙන් අනතුරුව ඉතිරිකරගත් මුදලින් කිසියම් අපූරු දෙයක් සිදු කළ යුතු යයි ඔහු කලෙක පටන් සිතමින් උන්නේය. කිසි දින විවාහ වී නොමැති බෲස්ට රැක ගැනීම සඳහා බිරිදක් හෝ දරුවන් නොසිටි බැවින් ඔහු සිතූ යමක් එම ඇසිල්ලේම කිරීමේ නිදහසක් හිමිව තිබුණි.

ලොව පුරා සෑම දිනකම අවම වශයෙන් ගුවන් යානා තුනක්වත් ධාවනයෙන් ඉවත් කෙරෙයි. ඉතා ඉහළ පහසුකම් සහිතව නිපදවා ඇති මෙම ගුවන් යානා තවත් අතකින් ඕනෑම පුද්ගලයෙකුට ජීවත්වීමට හැකි තරම් සුරක්‍ෂිත කුටීරයක් වශයෙන්ද සැලකිය හැකි බව ඔහු අවබෝධ කරගෙන සිටියේය. එය අව්වට, වැස්සට, සොර සතුරන්ට මෙන්ම දැඩි සුළි සුළං තත්ත්වයන්ට පවා හොඳින් ඔරොත්තු දෙන ලෙස නිපදවා තිබේ. ධාවනයෙන් ඉවත් කිරීමෙන් පසුව කිසිදු ප‍්‍රයෝජනයක් නොගෙන අත්හැර දමන මෙම සුරක්‍ෂිත කුටීර නිවාස වශයෙන් භාවිතා කිරීමට මිනිසුන් පෙළඹවිය හැකි නම් එය අගනා සහ ආරක්‍ෂිත නිවාසයන් වනු ඇති අතරම විනාශ වී යන සම්පත්වලින් උපරිම ප‍්‍රයෝජන ගැනීමක්ද වන බව ඔහුට හැඟුණි. ඒ අනුව ධාවනයෙන් ඉවත් කෙරෙන ගුවන් යානයක් නිවසක් වශයෙන් පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියකට ඔහු අත ගැසුවේය.

ගුවන් යානයක් නිවස කරගත් අපූරු මිනිසෙක්
කැලෑව මැද ස්ථානගත කර ඇති ගුවන් යානය

තම අදහස සාර්ථක කර ගැනීම පිණිස පළමු කටයුත්ත ලෙස සුදුසු ගුවන් යානයක් සොයා ගැනීමට ඔහු උත්සාහ කළේය. සොයා බැලීම් කිහිපයකින් පසු ග‍්‍රීසියේ ”ඔලිම්පික් එයාර්වේස් සමාගම” විසින් ධාවනයෙන් ඉවත් කළ බොයිං 727 ජෙට්ලයිනර් යානයක් මිලදී ගැනීමට ඔහුට හැකිවූ අතර 1999 වසරේදී ඩොලර් 100,000 ක මුදලකට ඔහු වහාම එය මිලට ගත්තේය.

ගුවන් යානයක් නිවස කරගත් අපූරු මිනිසෙක්
ගුවන් යානයේ එංජින් සිදුරක් මත නැගි බෲස්

බෲස් එම යානයට කැමති වීමට හේතු කිහිපයක් බලපාන ලදි. යානයේ විශාලත්වය හා පහසුකම් පළමු කාරණයයි. බොයිං 727-200 කාණ්ඩයේ ගුවන් යානා එක්සත් ජනපදයේ බොයිං සමාගම මගින් වාණිජ ගුවන් ගමන් සඳහාම විශේෂයෙන් සැලසුම් කොට නිෂ්පාදනය කරන ලද ගුවන් යානා විශේෂයකි. 1962 වසරේ සිට 1984 දක්වා 727-200 කාණ්ඩයේ ගුවන් යානා 1832 ක් සමාගම විසින් නිපදවා ඇති අතර වඩා නව්‍ය නිෂ්පාදනයක් එළිදැක්වීම සඳහා 1984 වසරේ සිට මෙම කාණ්ඩයේ ගුවන් යානා නිෂ්පාදනය නවතා දමා ඇත. ආරම්භයේදී එහි මූලික විකිණුම් මිල ඩොලර් මිලියන 4.25 පමණ විය. යානය අඩි 133 ක් පමණ දිග වූ අතර බඳෙහි ඇතුළත පළල අඩි 20 පමණ විය. එය ධාවනයේදී මගීන් 134 ක සිට 155 ක් දක්වා රැුගෙන යෑමට සැලසුම් කර තිබිණි.

ගුවන් යානයක් නිවස කරගත් අපූරු මිනිසෙක්
ගුවන් යානා නිවසේ ඇතුළත දර්ශනයක්

මෙම ඉඩකඩ සහිත තත්ත්වය එය නිවාසයක් බවට පරිවර්තනය කිරීමේදී වඩාත් වාසි සහගත වූ අතර නිදන කාමර, මුළුතැන්ගෙය, නාන කාමර, විසිත්ත කාමර ආදිය සඳහා පමණක් නොව ගබඩා ඉඩ පහසුකම් සඳහා ද අවශ්‍ය තරම් ඉඩකඩ එහි තිබිණි.

මෙම ගුවන් යානය තෝරා ගැනීම සදහා බෲස්ට බලපාන ලද දෙවැනි කාරණය නම් එයට ග‍්‍රීක කෝටිපති ”ඇරිස්ටෝටල් ඔනාසීස්” සමග පැවැති සම්බන්ධයයි. ඔලිම්පික් එයාර්වේස් සමාගම ඔනාසීස්ගේ අයිතිය යටතේ පැවැති ගුවන් සමාගමක් වූ අතර ඔනාසීස් 1975 මාර්තු 15 වන දින පැරිසියේ ඇමෙරිකානු රෝහලේදී මියගිය පසු ඔහුගේ දේහය ග‍්‍රීසියේ ”ස්කෝපියෝර්ස් දූපතේ” තැන්පත් කිරීම සඳහා ඔහුගේ බිරිඳ වන ”ජැකලින් කෙනඩි ඔනාසීස්” (හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ වැන්දඹු බිරිඳ) සහ පවුලේ අය සමග රැුගෙන විත් ඇත්තේ මෙම බොයිං 727-200 යානයෙනි.

යානය මිලට ගත් පසුව බෲස් මුහුණ දුන් ඊළඟ අභියෝගය අඩි 133 ක් දිග දැවැන්ත ගුවන් යානයක් නවතා තැබිය හැකි ස්ථානයකට එය රැුගෙන යාමයි. යානයේ දැවැන්ත ස්වභාවය නිසා එය නවතා තැබීමට විශාල ඉඩකඩක් අවශ්‍ය විය. ඒ සඳහා යොදා ගැනීමට සුදුසු ස්ථානයක් ඇමෙරිකාවේ ඔරිගන් ජනපදයේ හිල්ස්බරෝ ගුවන් තොටුපළ ආසන්නයේ විය. තම තරුණ කාලයේ ඩොලර් 20000 කට බෲස් විසින් මිලදී ගත් එම ඉඩම අක්කර 10 ක විශාලත්වයකින් යුතු කැලෑබද තැනිතලා බිමක් විය. එම ස්ථානයට ගුවන් යානය රැුගෙන ඒම සඳහා බෲස් විසින් ප‍්‍රවාහන සමාගමක උදව් ලබාගත් අතර ඒ සඳහා ගුවන් යානය මිලදී ගැනීමට වැයවූ මුදලටත් වඩා වැඩි මුදලක් වියදම් කිරීමට ඔහුට සිදුවිය. කෙසේ වෙතත් තවත් ඩොලර් 120000 ක් වියදම් කිරීමෙන් අනතුරුව බොයිං 727-200 යානය ග‍්‍රීසියේ සිට ඇමෙරිකාවටත් එතැන් සිට හිල්ස්බරෝ ගුවන් තොටුපළටත් රැුගෙන විත් තම කැලෑබද ඉඩමේ සුරක්‍ෂිතව තැන්පත් කර ගැනීමට බෲස් කැම්ප්බෙල් සමත් විය. අනතුරුව ඉඩකඩ කළමනාකරණය කර ගැනීම සඳහා ගුවන් යානයේ ආසන ගලවා ඉවත් කරන ලද අතර අංග සම්පූර්ණ නිවසක් බවට එය පරිවර්තනය කරන ලදි. සුළු වෙනස්කම් කිහිපයක් හැරුණු කොට ඒ සඳහා වැඩි වෙහෙසක් ගැනීමට ඔහුට සිදු නොවුණේ නාන කාමර, වැසිකිළි ඇතුළු අත්‍යවශ්‍ය සියලූ අංගෝපාංග එහි ඇතුළත්ව තිබුණ බැවිනි. වසරේ මාස 6 ක් ජපානයේ ”මියාසාකි” හි සිය නිවසේ සහ ඉතිරි මාස 6 ඔරිගන්හි ගුවන්යානයේ ගතකිරීම බෲස්ගේ පුරුද්දක් බවට පත්ව ඇත. ජපානයේ මියාසාකි හි ස්ථානගත කිරීම සඳහා තවත් බෝයිං 747-400 යානයක් මිලට ගැනීම බෲස් කැම්ප්බෙල්ගේ බලාපොරොත්තුවයි.

නන්දජීව සූරියබණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment