ඊශ්‍රායලය වෙත එල්ල කළ ඉරාන ප්‍රහාරය හා ඊට පසුබිම් වූ කරුණු පිළිබඳව පුවත්පතට ලිපියක් ලියමින් සිටියදී තත්ත්වය තවත් දරුණු වූ බවට වාර්තා විය. ලෝකය තුන් වැනි ලෝක යුද්ධයක මුවවිටටම තල්ලු කරමින් ඊශ්‍රායලය ඉරාන භූමිය වෙත ප්‍රහාරයක් එල්ල කර ඇති බව මොහොතකට පෙර අසන්නට ලැබුණි. ටෙහෙරාන් අගනුවරට සැතපුම් 217 ක් දකුණින් පිහිටි ඉස්ෆහාන්හි හමුදා කඳවුරක් අසලින් පිපිරුම් කිහිපයක් ඇසුණු බව ඉරාන පුවත් ඒජන්සි වාර්තා කරයි. මෙම කඳවුර ඉරානයට අයත් ප්‍රධානතම ගුවන් හමුදා කඳවුරක් වන අතර මෙම කලාපයේ ඉරාන න්‍යෂ්ටික ස්ථාන කිහිපයක් ද පිහිටා ඇත. ඉරානයේ යුරේනියම් බලගැන්වීමේ වැඩසටහනේ කේන්ද්‍රස්ථානයක් වන නටාන්ස් නගරය ද පිහිටා ඇත්තේ මීට ආසන්නවයි. කෙසේ නමුත් ඉරානයේ රාජ්‍ය රූපවාහිනියට අනුව මෙය එතරම් බරපතළ ප්‍රහාරයක් නොවේ. පසුගියදා ඉරානය විසින් ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද පළිගැනීමේ මිසයිල ප්‍රහාරය මෙන්ම අද ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ඉස්ෆහාන් ප්‍රහාරය ද සංදර්ශනාත්මක මානසික යුද්ධයක දිගුවක් ලෙස පෙනෙන්නට තිබේ.

දැන් ප්‍රශ්නය වන්නේ ඉරානය මීළඟට කුමක් කරයිද යන්නයි. ඔවුන්ටද කුමක් හෝ කිරීමට සිදුව ඇතැයි කිව හොත් වඩාත් නිවැරදිය. ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සපථ කරන්නේ ඊශ්‍රායලයේ ආක්‍රමණය ඉතා සුළු වුවත් තමන් ඊට දැවැන්ත ප්‍රතිචාරයක් ලබා දෙන බවයි. ඔබ මෙම ලිපිය කියවන මොහොත වන විට ඉරානය නැවත ප්‍රහාරයක් එල්ල කර තිබෙන්නට ද පුළුවන.

අප්‍රේල් 13 මිසයිල සංදර්ශනය

ශ්‍රී ලංකාවේ අප අලුත් අවුරුදු සමරමින් සිටියදී මැදපෙරදිග කලාපය ගිනියම් වෙමින් තිබුණේ ඉරානය විසින් ඊශ්‍රායලය වෙත ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ලොව ප්‍රධාන පෙළේ බුද්ධි අංශ අනාවරණය කර තිබූ බැවිනි. ජාත්‍යන්තරය අපේක්ෂා කළ පරිදිම 2024 අප්‍රේල් 13 වන දින ඉරානයේ පළිගැනීමේ ප්‍රහාරය දියත් විය. ඉරාන හමුදාවේ ශාඛාවක් වන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළේය. ඊට ඉරාකයේ සන්නද්ධ කණ්ඩායම්, ලෙබනනයේ හිස්බුල්ලා සහ යේමනයේ හූති සංවිධානය ද එක් වූ බව වාර්තා වී ඇත. ප්‍රහාරය ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් ගෝලාන් කඳුකර ප්‍රදේශයට ද එල්ල විය. මෙම මෙහෙයුම “Operation True Promise” යන සංකේත නාමයෙන් හඳුන්වා තිබුණි.

ප්‍රහාරයේ පසුබිම

ඉරාන මිසයිල ප්‍රහාරය තුන්වැනි ලෝක යුද්ධයේ ඇරඹුමද?

ඉරානය ප්‍රකාශ කළේ සති දෙකකට පෙර සිරියාවේ දමස්කස් නුවර ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයට පළිගැනීමක් වශයෙන් මෙම මෙහෙයුම සිදු කළ බවයි. IRGC විසින් භාවිතා කළ මෙම ගොඩනැඟිල්ල කොන්සල් කාර්යාලයට යාබදව පිහිටා තිබුණි. ප්‍රහාරයෙන් පුද්ගලයන් 16 දෙනකු මියගිය අතර IRGC හි බ්‍රිගේඩියර් ජනරාල්වරයකු ඇතුළු හමුදා නිලධාරීන් හත් දෙනකුත් ඒ අතර විය. මියගිය ජනරාල්වරයා ඉරානයට අතිශයින් වැදගත් වූ නිලධාරියෙකි. ඉරාන නිලධාරීන්ට අනුව ඒ මොහොතේ ඔවුහු ගාසා තීරයේ ක්‍රියාත්මක වන සටන්කාමී කණ්ඩායමක් වන පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සාමාජිකයන් සමග සාකච්ඡාවක නිරතව සිටියහ. ඉරානයට අනුව මෙම ගොඩනැඟිල්ල රාජ්‍යතාන්ත්‍රික පරිශ්‍රයක් වුවත් ඊශ්‍රායල හමුදාව පැවසූවේ එය කොන්සල් කාර්යාලයට පරිබාහිරව පිහිටි තම රටට එරෙහිව ප්‍රහාර සැලසුම් කරන මධ්‍යස්ථානයක් බවයි. ඉරානය මෙම ප්‍රහාරයේ වගකීම ඊශ්‍රායල හමුදාව වෙත ආරෝපණය කළ ද ඊශ්‍රායල රජය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය. රාජ්‍යතාන්ත්‍රික පරිශ්‍රයන් ආරක්ෂා කිරීම හා ඒවාට ප්‍රහාර එල්ල නොකිරීම වියානා සම්මුතිය හා බැඳුණු ජාත්‍යන්තර වගකීමකි.

ප්‍රහාරයෙන් දැඩි සේ කුපිත වූ ඉරාන අධ්‍යාත්මික නායක අයෙතුල්ලා කුමේනි පැවසුවේ ඊශ්‍රායලයෙන් පළිගන්නා බවයි. ඒ අනුව නිශ්චිත කාලයක් තුළ ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල වන බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. ඇමෙරිකානු බුද්ධි අංශ ද මේ පිළිබඳව අනතුරු අඟවා තිබුණි. මෙම මෙහෙයුම ඊශ්‍රායල – හමාස් යුද්ධයේම දිගුවක් වුවත් ඉරානය හා ඊශ්‍රායලය මීට පෙර එකිනෙකා සමඟ සෘජුව සටන් කිරීමට පෙළඹී නොතිබුණි. ඉරානය ඊශ්‍රායලයට එරෙහිව මෙතෙක් කල් ඔවුන්ගේ ප්‍රොක්සි හමුදා ලවා ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළත් සෘජුව සටන් කිරීමට පෙළඹුණේ නැත.

ඉරාන ප්‍රහාරය එල්ල වීමට පැය කිහිපයකට පෙර මැදපෙරදිග රටවල් කිහිපයක් ඔවුන්ගේ ගුවන් සීමා වසා දැමීය. ප්‍රහාරයට ඩ්‍රෝන යානා 170 ක්, කෲස් මිසයිල 30 කට වඩා සහ බැලස්ටික් මිසයිල 120 කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ විය. ප්‍රහාරයේ හානිය අවම වුවත් නූතන යුද්ධයේදී එල්ල වූ තනි විශාලතම ප්‍රහාරය මෙයයි. ඉරානය විසින් තම අභිමානය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කරන ලද සංදර්ශනාත්මක ප්‍රහාරයක් ලෙස මෙය අර්ථකථනය කළ ද වරදක් නැත. උපාය මාර්ගයක් ලෙසම ජීවිත හානිය අවම කිරීමට කලින් සැලසුම් කර ඇති බවක් පෙනෙන්නට තිබේ. ඉරානය තම ප්‍රහාරයේ දින වකවානු පිළිබඳව යම් ඉඟි පළ කර තිබුණු හෙයින් ඊශ්‍රායලය ආරක්ෂා කිරීම සඳහා හවුල්කාර රටවල ජාත්‍යන්තර සන්ධානය සූදානම් වී තිබුණි. බොහෝ මිසයිල ගුවනේදීම විනාශ කිරීමට ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිය සමත් විය. ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ ජෝර්දාන ගුවන් හමුදා සහ නාවික හමුදා ඉරාන ඩ්‍රෝන යානා බිම හෙළීමට උදව් කළහ. මේ පිළිබඳව ජෝර්දානයට මුස්ලිම් ලෝකයේ විරෝධය එල්ල වුවත් ඔවුන් ප්‍රකාශ කළේ ජෝර්දාන පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා තම ගුවන් සීමාව ඔස්සේ එල්ල කරන ප්‍රහාර වැළැක්වූ බවයි.

මෙම ආරක්ෂක පියවර “යකඩ පලිහ” (Operation Iron Shield) ලෙස නම් කර තිබුණි. ඊශ්‍රායලය ප්‍රකාශ කළේ ඩ්‍රෝන යානා සහ මිසයිල වලින් සියයට 99 ක්ම විනාශ කිරීමට තම මිතුරු සන්ධානය සමත් වූ බවයි. ඉන් බොහොමයක් ඊශ්‍රායල ගුවන් සීමාවට ඇතුළු වීමට පෙරම විනාශ කර තිබුණි. බැලස්ටික් මිසයිල යනු අභ්‍යවකාශයට ගොස් පොළොවට පතිත වන අවියක් වන අතර ඒවා ද අභ්‍යවකාශයේදීම විනාශ කිරීමට ඊශ්‍රායල ප්‍රති මිසයිල පද්ධතිය සමත් වී තිබුණි. නමුත් මිසයිල නවයක් ඊශ්‍රායල භූමියට පතිතව තිබූ අතර ගුවන් හමුදා කඳවුරු දෙකකට සුළු හානි සිදුව තිබුණි. තවද මිසයිලයකින් කොටසක් වැදී කාන්තාර ආශ්‍රිතව ජීවත්වන අරාබි සම්භවයක් සහිත ගෝත්‍රික දැරියකට තුවාල සිදුව ඇත. තවත් කිහිප දෙනකු ආරක්ෂිත ස්ථාන කරා දිව යද්දී සුළු තුවාල ලබා ඇත.

පූර්ණ කලාපීය යුද්ධයක්

1991 ඉරාක ප්‍රහාරයෙන් පසුව වෙනත් රාජ්‍යයක හමුදාව විසින් ඊශ්‍රායලයට සෘජුවම ප්‍රහාර එල්ල කළ පළමු අවස්ථාව ද මෙයයි. ඉරාන – ඉරාක යුද්ධයෙන් පසුව ඉරානය ද වෙනත් රටකට එල්ල කළ පළමු ප්‍රහාරය මෙයයි. ඉරානයේ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ හා ලෝක නායකයන් කිහිප දෙනකුගේ විවේචනයට ලක්ව ඇත. දේශපාලන විශ්ලේෂකයන් අනතුරු අඟවන්නේ දැන් මෙම ගැටුම පූර්ණ කලාපීය යුද්ධයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් ඇති බවයි.

ප්‍රහාරයෙන් පසුව ඉරාන විදේශ ඇමැති හුසේන් අමීන් අබ්දුල්ලාහියන් ප්‍රකාශ කළේ මෙය ආක්‍රමණයක් නොවන බවත් මෙහෙයුමේ අරමුණ ආත්මාරක්ෂාව සඳහා ඉරානය සතු නීත්‍යානුකූල අයිතිය ක්‍රියාත්මක කිරීම පමණක් බවත්ය. ඩමස්කස් ප්‍රහාරයට එරෙහිව ඉරාන රජයේ ප්‍රතිචාරය මෙයින් අවසන් වන බවත් ඊශ්‍රායලය ඊට එරෙහිව තවදුරටත් හමුදාමය ක්‍රියාමාර්ගයක් ගතහොත් ඉරානයේ ප්‍රතිචාරය “ක්ෂණික සහ උපරිම මට්ටමින්” වනු ඇතැයි විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණි. කෙසේ නමුත් ඉරාන හමුදාපතිවරයා පවසා ඇත්තේ ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඊශ්‍රායල තර්ජනයට ලක් වුවහොත් තම න්‍යෂ්ටික මූලධර්ම වෙනස් කළ හැකි බවයි. ලිපිය ලියන මොහොතේ වාර්තා වූ ඉස්ෆහාන් ප්‍රහාරයට ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක වී ඇත්ද යන්න තවම කිව නොහැක. ඉරානයට න්‍යෂ්ටික අවි ඇතැයි නිල වශයෙන් වාර්තා නොවුණත් ඔවුන් ඒ සඳහා උත්සාහ දරමින් ඇති බව රහසක් නොවේ. හිස්බුල්ලා නායකයාද පවසා ඇත්තේ ඉරානයට එරෙහිව නැවතත් ප්‍රහාරයක් එල්ල කළ හොත් ඊශ්‍රාලයට විශාල වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවයි.

යුද්ධයෙන් මතුවන භූ දේශපාලනික උපක්‍රම

ඉරාන මිසයිල ප්‍රහාරය තුන්වැනි ලෝක යුද්ධයේ ඇරඹුමද?

පසුගිය වසරේ ඔක්තෝබර් 07 වැනිදා සිදුවූ හමාස් ප්‍රහාරයෙන් පසුව ඇති වූ ලෝක තත්ත්වය සියුම්ව අධ්‍යයනය කළ හොත් ඊශ්‍රායලය හා මිතුරු අක්ෂයද ඉරානය හා මිතුරු අක්ෂයද ලෙස ලෝකයේ කඳවුරු දෙකක් ගොඩනැඟී ඇත. ඊට පරිබාහිරව තුන්වැනි කඳවුරකුත් පවතී. ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි මධ්‍යස්ථ රටවල් අයත්වන්නේ මෙකී තුන්වැනි කඳවුරටයි. ඉරාන-ඊශ්‍රායල් ගැටුමේ ආතතිය ලෝක යුද්ධයක් දක්වා වර්ධනය විය හැකිදැයි බොහෝ දෙනා සැකයෙන් පසුවෙති. නමුත් දැන් ලෝකයේ පවතින්නේ මෙම සියවසේ ආරම්භයේ පැවති ඒක ධ්‍රැවීය නොහොත් තනි සුපිරි බලවතකුගේ යුගයක් නොවේ. සෝවියට් – ඇමෙරිකා නිරවි යුද්ධයේ නිමාවත් සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් ගොඩනැඟුණු ගෝලීය ඒක ධ්‍රැවීය බලය දැන් නිමාවට පත් වෙමින් ඇත. ඒ වෙනුවට ඒ ඒ කලාප තුළ ගොඩනැඟෙන සුපිරි බලවතුන් කිහිප දෙනකුගෙන් සමන්විත යුගයකට ලෝකය ගමන් කරමින් ඇත. ඉරානයට හෝ ඊශ්‍රායලයට පමණක් නොව පෙර කී කලාපීය බලවතුන්ට පවා මෙම බහු ධ්‍රැවීය ලෝක බලයට පිටුපා හිතු මනාපයේ කටයුතු කළ නොහැකිය.

ඉරානයට අවශ්‍යනම් ටෙල් අවිව් වැනි ජනාකීර්ණ නගරයකට ප්‍රහාර එල්ල කරමින් දැවැන්ත විනාශයක් කිරීමට හැකියාව තිබුණි. පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ මෙය කලින් පණිවිඩ එවා අවශ්‍යනම් වළක්වා ගැනීමට ඉඩ සලසා කරනු ලැබූ සංකේතාත්මක ප්‍රහාරයක් බවයි. තමන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කරන බව ඉරානය තුර්කි රාජ්‍යතාන්ත්‍රිකයන් හරහා ඇමෙරිකානු රජයට දැනුම් දුන් බව අසන්නට ලැබේ. ඉරානයට අවශ්‍යව තිබුණේ ඇමෙරිකාව කුපිත නොකරවන මට්ටමේ ප්‍රහාරයකි. මෙම ගැටුමේදී බොහෝ නායකයන් කටයුතු කරන්නේ තම රාජ්‍යයන්ගේ උපාය මාර්ගික සැලසුම හෝ තම පෞද්ගලික දේශපාලන අභිමතාර්ථ අනුව බව කිව හැකිය. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතනියාහුට මෙන්ම ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිටද තම රටවල ඇති ජනතා ප්‍රසාදය ශීඝ්‍රයෙන් අඩුවෙමින් ඇත. හමාස් ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳව නෙතනියාහු මහතාට බරපතළ චෝදනා එල්ල වී ඇත. හමාස් විසින් පැහැරගත් ඊශ්‍රායල වැසියන් විශාල පිරිසක් තවමත් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන ඇත. ඔවුන් ජීවතුන් අතර සිටිනවාද යන්න පවා සැක සහිතය. ගාසා තීරය ආක්‍රමණය කරන මුල් අවස්ථාවේ පවා ඊශ්‍රායල කොන්දේසිය වූයේ තම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසය. පසුගිය අප්‍රේල් 8 වැනිදා පැවති සංඛ්‍යා ලේඛනවලට අනුව පලස්තීනුවන් 30091 ක් මියගොස් ඇත. ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් ඊශ්‍රායලය තුළ 1410ක් මිය ගියහ.

හමාස් ප්‍රහාරය සිදුවන විට මැදපෙරදිග කලාපය තුළ පැහැදිලි සංහිඳියාවක් ඇති වෙමින් තිබුණි. ඇමෙරිකාව මුල් වී දීර්ඝකාලීන පසමිතුරන් වූ ඊශ්‍රායලය හා සෞදි අරාබිය අතර සමඟියක් ඇතිකර තිබුණි. අනිත් අතට චීනයේ මැදිහත්වීමෙන් එකිනෙකාට එරෙහි ආගමික පසමිතුරන් වූ ඉරානය හා සෞදි අරාබිය අතර ඒකාග්‍රතාවයක් ඇතිකර තිබුණි. මෙවැනි කලාපීය සංහිඳියාවක් තුළ බටහිර ඉවුරේ පලස්තීන අධිකාරිය වඩාත් ශක්තිමත් වීමට ඉඩ තිබුණි. පලස්තීන ජනාධිපති මොහමඩ් අබ්බාස්ගේ ෆටා රජය මැදහත්ව හා රාජ්‍යතාන්ත්‍රිකව ගැටලු විසඳා ගැනීමට උත්සාහ දරයි. ගාසා තීරයේ බලය හොබවන හමාස්වරුන්ට මෙම සාමකාමී තත්ත්වය හිසරදයකි. හමාස් යනු සුන්නි මුස්ලිම් මතවාදය සහිත සන්නද්ධ සංවිධානයකි. සුන්නි මුස්ලිම් ලෝකයේ නායකත්වය හොබවන සෞදි අරාබිය තම සතුරා සමඟ සංහිඳියාවකට යෑමත් තම සටනට කොන්දේසි විරහිතව පිටුබලය සපයන ඉරානය සෞදි අරාබිය සමග සමඟි වීමත් හමාස්වරුන්ට එතරම් හිතකර නැත. හමාස්වරුන් සැලසුම් කළ පරිදිම ඔක්තෝබර් 07 ප්‍රහාරයෙන් පසු මේ සියලු සබඳතා පළුදු විය.

මේ වසර අවසානයේ ජනාධිපතිවරණයට මුහුණ දෙන ජෝ බයිඩන් මහතාට ඊශ්‍රායලයේ හැසිරීම ඉතාම අවාසි සහගතය. ඊශ්‍රායලය ආරක්ෂා කිරීම ඇමෙරිකාවේ මැදපෙරදිග උපාය මාර්ගයක් වුවත් බයිඩන් මහතාට දේශපාලනික වශයෙන් දැන් පවත්නා තත්ත්වය ඉතාම අවාසි සහගතය. ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂයට සාම්ප්‍රදායික මධ්‍යස්ථ ඇමෙරිකානුවන් හා සුළු ජාතිකයන්ගේ ආකර්ෂණයක් ඇත. අනෙක් අතට රිපබ්ලිකන් පක්ෂයට සාම්ප්‍රදායිකවම දක්ෂිණාංශික හා සුදු අන්තවාදී ඡන්ද වැඩි වශයෙන් හිමි වේ. එහි මීළඟ ජනාධිපති අපේක්ෂකයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ඡන්ද පදනම වඩාත් හොඳින් ග්‍රහණය කර ගනිමින් සිටියි. යුදෙව් සම්භවයක් සහිත ඇමෙරිකානුවන්ගේ වැඩි කැමැත්ත ඇත්තේ ද ට්‍රම්ප් මහතාට බව පෙනෙන්නට තිබේ. ඒ අනුව බයිඩන් මහතාට නිරායාසයෙන් හිමි වීමට තිබූ මුස්ලිම් සම්භවයක් සහිත ඇමෙරිකානුවන්ගේ ද සුළු ජාතිකයන්ගේ හා වාමාංශිකයන්ගේ ද ඡන්ද පදනම ඔහුගේ දැඩි ඊශ්‍රායල හිතවාදය නිසාම දෙදරා යමින් ඇත.

ඊශ්‍රායලයට මතවාදී සහයෝගය දක්වන අනෙකුත් බටහිර නායකයන්ගේ තත්ත්වය ද මීට දෙවැනි නැත. මහා බ්‍රිතාන්‍යයේ බලයේ සිටින කොන්සවේටිව් පක්ෂයේ ඡන්ද පදනම ද ඊශ්‍රායල හිතවාදය නිසා දුර්වල වෙමින් ඇත. ප්‍රංශය ආදී අනෙකුත් යුරෝපා රටවල් පවා ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර පිළිබඳව සිය අප්‍රසාදය පළ කර ඇත.

නෙතනියාහුට තම පැවැත්ම සඳහා ඇමෙරිකානු මැදිහත්වීම අත්‍යවශ්‍යය. මීට දශක කිහිපයකට පෙර මෙන් මැදපෙරදිග කලාපයේ ප්‍රබල සතුරන් සමඟ තනිව සටන් කිරීමට හැකි ලෝක තත්ත්වයක් දැන් ඊශ්‍රායලයට නැත. මේ වන විට ඊශ්‍රායලයේ ප්‍රබලම සතුරා වන්නේ ඉරානයයි. තම ප්‍රොක්සි හමුදා යොදවා ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර, මතුපිට තලයට කැඳවා ඉරානය සමඟ සෘජු සටනකට එළඹීම ඊශ්‍රායල උපාය මාර්ගයකි. අවම හානියක් සහිතව ආරක්ෂාකාරී වෙමින් ඇමෙරිකාව ලවා ඉරානය මට්ටු කිරීම නෙතනියාහු මහතාගේ සැලැස්ම බව කිව හැකිය.

මැද පෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින උණුසුම චීනයට ද හිසරදයකි. ඉරානය තුළ විශාල වශයෙන් චීන ආයෝජන පවතින අතර චීනයේ “මාවතක් තීරයක්” අනාගත උපාය මාර්ගික ආර්ථික කොරිඩෝව ද ඉරානය හරහා වැටී ඇත. ලෝකයේ අංක එකේ ආර්ථික බලවතා වීම උදෙසා චීනය යන ශීඝ්‍ර ගමනේදී මැදපෙරදිග කලාපයෙන් හා රුසියාවෙන් ලැබෙන ඛණිජ තෙල් සැපයුමට බාධා වීම බලවත් බාධකයකි. ඉන්දියාවට ද චීනයට මෙන් ඉරානය වැදගත්ය. ඊශ්‍රායලය හා ගැටුමට චීනය හා ඉන්දියාව සෟජුවම මැදිහත් නොවුව ද ඉරානය පාලනය කර ගැනීමට ඔවුන්ට රාජ්‍යතාන්ත්‍රික ශක්‍යතාවයක් ඇත.

තුන්වැනි ලෝක යුද්ධයකට ඉඩක් නැහැ

ඉරාන – ඊශ්‍රායල ගැටුම යම් ආකාරයකින් තවමත් පාලනය වෙමින් ඉදිරියට ඇදෙන්නේ ඇමෙරිකාව, චීනය මෙන්ම ඉන්දියාව ද මේ කෙරෙහි දක්වන රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම හේතුවෙනි. බොහෝ මැදිහත්වීම් මතුපිටින් නිරාවරණය නොවේ. මෙම ගැටුම යම් ආකාරයකින් වාසි සහගතව බලපාන්නේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට පමණි. ඊශ්‍රායලය පාර්ශ්වයක් වූද යම් කිසි පාලනයකින් සිදුවන්නා වූද යුද්ධයකින් පුටින් මහතාට අමතර වාසියක් ලැබෙයි. නමුත් ඉරානයට ඇමෙරිකාව විසින් දරුණු ප්‍රහාරයක් එල්ල වුවහොත් ඔහුට කරබාගෙන සිටිය නොහැකිය. මෙය ලෝක යුද්ධයක් බවට වර්ධනය වන්නේ මෙම ගැටුමට රුසියාව පිවිසිය හොත් පමණි. යුක්‍රේනය කෙතරම් අවදානම් අඩියකට වැටුන ද ඇමෙරිකාව හෝ නේටෝ සංවිධානය රුසියාව සමඟ සෘජු අවි ගැටුමකට නොයන්නේ මේ හේතුවෙනි. මේ අවදානම දන්නා නිසා රුසියාව ද මේ මොහොතේ මධ්‍යස්ථව සිටිනු ඇත. නමුත් ඔවුන් ඇමෙරිකාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සංවාදයක නියැලී සිටින බව බැලූ බැල්මටම නිරීක්ෂණය වෙයි. පුටින්ට අවශ්‍ය වන්නේ ඇමෙරිකානු හා බටහිර අවධානය ඉරානය අවට මැදපෙරදිග වෙත යොමු කරමින් යුරේසියානු කලාපයේ පැරණි රුසියානු අධිරාජ්‍යය වෙත කෙමෙන් කෙමෙන් ගමන් කිරීම බව කිව හැකිය. සියලු භූ දේශපාලනික කාරණා විශ්ලේෂණය කළ විට පෙනී යන්නේ මැදපෙරදිග කලාපය මූලික කරගනිමින් තුන්වැනි ලෝක යුද්ධයක් ඇති නොවුණ ද කල් පවත්නා කලාපීය ගැටුමක් ඇතිවන බවයි.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment