පසුගියදා දකුණු යේමනයට ආසන්න ඒඩ්න් බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට එල්ල වූ හූති මිසයිල ප්‍රහාරයකින් එම නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනකු ජීවිතක්ෂයට පත් විය. තවත් සිව් දෙනකු බරපතළ තුවාල ලබා තිබේ. මෙම නෞකාවේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු සහ නේපාල ජාතිකයකු ද සේවයේ යෙදී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වියට්නාම ජාතිකයකු සහ පිලිපීන ජාතිකයන් දෙදෙනෙකි. මෙය හූති කැරලිකරුවන් විසින් රතු මුහුදේ වෙළෙඳ නෞකාවලට එල්ල කරන ලද ප්‍රහාරවලින් මරණ වාර්තා වූ පළමු අවස්ථාවය.

True Confidence නමැති මෙම නෞකාව ප්‍රහාරයෙන් පසු අතහැර දමා තිබූ අතර ගිනි ගෙන දැවෙමින් මුහුදේ පාවෙමින් තිබුණි. ඉන්දීය නාවික හමුදාව ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අය ජිබුටි වෙත රැගෙන ගිය අතර එහිදී තුවාල ලැබූවන් රෝහල්ගත කර ඇත.

වැරදි තොරතුරු මත එල්ල වූ ප්‍රහාරයක්ද?

හූතිවරුන් රතු මුහුදේ යාත්‍රා කරන නෞකාවන්ට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ පසුගිය නොවැම්බර් මාසයේදීය. එතැන් සිට ඔවුන් නෞකා 40කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති නමුත් මීට පෙර නාවිකයන්ට බරපතළ තුවාල සිදුවී නොමැත. මෙම සිදුවීමට පෙරාතුව බරපතළ ප්‍රහාරයක් එල්ල වූයේ පසුගිය පෙබරවාරි 19 දිනයි. එම ප්‍රහාරයෙන් වියළි පොහොර නෞකාවක් වන Rubymar මුහුදුබත් විය. එහි කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ආරක්ෂිතව නැව අතහැර යෑමට හැකි වුවත් රසායනික අපද්‍රව්‍ය සාගරයට මිශ්‍රවීම නිසා මහා පාරිසරික විනාශයක් සිදුවිය.

True Confidence නෞකාවට එල්ල කරන ලද ප්‍රහාරයේ වගකීම හූති කැරලිකරුවන් විසින් භාරගෙන ඇති අතර ගාසා තීරයේ යුද ගැටුම්වලට මැදි වී සිටින පලස්තීනුවන්ට සහය පලකිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කළ බව ප්‍රකාශ කර ඇත. හූතින්ගේ නිල ප්‍රකාශකයා පවසන්නේ මෙය ඇමෙරිකානු නෞකාවක් බවත් නෞකාවේ කාර්ය මණ්ඩලය හූති නාවික බළකායේ අනතුරු ඇඟවීම් නොසලකා හැරි බවය.

චීනයේ සිට සෞදි අරාබිය සහ ජෝර්දානය වෙත වානේ නිෂ්පාදන සහ ට්‍රක් රථ ප්‍රවාහනය කරමින් තිබූ ග්‍රීසියට අයත් නෞකාව බාබඩෝස් රාජ්‍යයේ ධජය සහිතව යාත්‍රා කරමින් තිබුණි. වාර්තාවන්ට අනුව මෙම නෞකාව මින් පෙර ඇමෙරිකානු සමාගමකට අයත්ව තිබුණත් පෙබරවාරි 27 තරම් මෑත දිනයක නව හිමිකරුවන් විසින් මිලදී ගෙන ඇත. එකී හිමිකරුවන් පවසන්නේ නෞකාව දැනට කිසිදු ඇමෙරිකානු සමාගමක් සමඟ සම්බන්ධයක් නැති බවයි.

හූති ප්‍රහාරයන්ගේ ප්‍රධාන ඉලක්කයන් වී ඇත්තේ ඊශ්‍රායල, බි්‍රතාන්‍ය හෝ ඇමෙරිකානු නෞකා වුවත් බොහෝ ප්‍රහාර සිදු කර ඇත්තේ මුහුදු වෙබ් අඩවිවල ඇති යල් පැන ගිය හෝ වැරදි තොරතුරු පදනම් කරගෙන බව පෙනෙන්නට තිබේ. හූතිවරුන් තම ඉලක්ක තීරණය කිරීමට Marine Traffic වැනි විවෘත මූලාශ්‍ර (Open sources) ගණනාවක් භාවිතා කරන බව පෙනෙන්නට තිබේ. නමුත් මෙම Open source වෙබ් අඩවිවල නෞකාවන්හි නවතම හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු යාවත්කාලීන නොවී තිබෙන්නට හැකිය.

එක්සත් ජනපදය True Confidence නෞකාවට එල්ල වූ ප්‍රහාරය හෙළා දුටු අතර ප්‍රහාර අවසන් කිරීමට තමන් සමඟ එක්වන ලෙස අනෙකුත් රටවලින් ඉල්ලා සිටියේය. ධවල මන්දිරය පවසන්නේ ඉරානයේ පිටුබලය ලබන හූතිවරුන්ගේ මෙම අදූරදර්ශී ප්‍රහාර ගෝලීය වෙළෙඳාම කඩාකප්පල් කළා පමණක් නොව, ජාත්‍යන්තර නාවිකයන්ගේ ජීවිතද බිලිගෙන ඇති බවයි.

රතු මුහුදේ උණුසුමෙන් දිය වී යන ගෝලීය වෙළෙඳාම

කවුද මේ හූතිවරු

හූතිවරු යනු යේමනයේ ෂියා මුස්ලිම් සුළුතරයක් වන සයිඩිවරුන් වෙනුවෙන් පෙනී සිටින සන්නද්ධ දේශපාලන සහ ආගමික කණ්ඩායමකි. මේ වන විට ඔවුහු හමාස් සහ ලෙබනනයේ හිස්බුල්ලා ව්‍යාපාරය වැනි සන්නද්ධ කණ්ඩායම් සමග ඊශ්‍රායලයට හා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර කඳවුරට එරෙහිව සටන් වදිති. ගාසාහි ඊශ්‍රායල ප්‍රහාරයන්ට එරෙහි ප්‍රතිවිරෝධී අක්ෂයේ නායකත්වය උසුලන ඉරානය සමඟ එක්ව කටයුතු කරන බව ප්‍රකාශ කරති.

විධිමත් ලෙස අන්සාර් අල්ලාහ් (දෙවියන්ගේ පාර්ශ්වකරුවන්) ලෙස හැඳින්වෙන මෙම කණ්ඩායම 1990 ගණන්වල ඉස්මතු වූ අතර ඊට හූති යන නාමය ලැබී ඇත්තේ සංවිධානයේ නිර්මාතෘ නැසීගිය හුසේන් අල්-හූති නිසාය. වත්මන් නායකයා ඔහුගේ සහෝදරයා වන අබ්දුල් මලික් අල්-හූති ය.

2000 ගණන්වල මුල් භාගයේදී හූතිවරු තම නිජබිම වූ උතුරු යේමනයට ස්වයං පාලනයක් දිනා ගැනීමට උත්සාහ කළහ. ඔවුහු ඒ අරමුණින් ජනාධිපති අලි අබ්දුල්ලා සාලේට එරෙහිව කැරලි ගැසූහ. අබ්දුල්ලා සාලේ දශක දෙකකට වැඩි කලක් තිස්සේ යකඩ හස්තයකින් යේමනය පාලනය කරමින් තිබුණි. 2011 අරාබි වසන්තයේ දී ඇති වූ මහජන නැගිටීම් හේතුවෙන් ජනාධිපති සාලේට තම උප ජනාධිපති මන්සූර් හාඩිට බලය පැවරීමට සිදුවිය. නමුත් ජනාධිපති හාඩිගේ රජය ප්‍රශ්නවලින් හෙම්බත් වී තිබුණි. හිටපු ජනාධිපති සාලේ නැවත බලය අල්ලා ගැනීම සඳහා තමන්ට පක්ෂපාත හමුදා පෙළගස්වමින් තිබුණි. පසුව අනපේක්ෂිත ලෙස සාලේ හිතවාදී හමුදා කණ්ඩායම් සමඟ සන්ධානයක් ඇති කර ගැනීමට හූතිවරු කටයුතු කළහ. මුලින් උතුරු යේමනයේ සාදා හි පාලනය අල්ලා ගත් හූතිවරු පසුව සාලේ හිතවාදී හමුදා සමඟ එක්ව යේමනයේ අගනුවර වූ සානා අත්පත් කර ගත්හ. 2015 වන විට කැරලිකරුවන් බටහිර යේමනයේ විශාල ප්‍රදේශයක් තම අණසකට යටපත් කර ගත් අතර ජනාධිපති හාඩිට රටින් පිටව යන ලෙස බල කළහ.

හූතින් පිටුපස සිටින දැවැන්තයා

යේමනයේ දැවැන්ත අසල්වැසියා සෞදි අරාබියයි. එය සුන්නි මුස්ලිම් ලෝකයේ නායකත්වය උසුලයි. සෞදි රජය බිය වූයේ හූතිවරුන් යේමනය අත්පත් කර ගෙන එය තම ප්‍රතිවාදියා වන ඉරානයේ අතකොළුවක් බවට පත් කරනු ඇති බවයි. ඉරානය සුන්නි මුස්ලිම් මතවාදයට විකල්ප සියා ආගමික නිකායේ න්‍යායාත්මක නායකත්වය දරයි. සෞදි අරාබිය යේමන කැරලිකරුවන්ට එරෙහිව අරාබි රටවල සන්ධානයක් පිහිටුවා ගත්තේය. සෞදි නායකත්වයෙන් යුතු ඒකාබද්ධ අරාබි හමුදා වසර ගණනාවක් තිස්සේ ගුවනින් හා ගොඩබිමින් ප්‍රහාර එල්ල කළද හූතිවරුන් ඔවුන් අත්පත් කරගත් බොහෝ ප්‍රදේශවලින් ඉවත් කිරීමට තවම හැකි වී නැත. සෞදි අරාබිය දැන් හූතිවරුන් සමඟ සාම ගිවිසුමක් ඇති කර ගැනීමට උත්සාහ දරන අතර 2022 අප්‍රේල් මාසයේ සිට එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් සටන් විරාමයක් ක්‍රියාත්මක වේ. යේමන සිවිල් යුද්ධයෙන් මේ වන විට 160,000 කට වැඩි පිරිසක් මියගොස් තවත් මිලියන හතරකට අධික ජනතාවක් අවතැන් වී ඇතැයි පැවසේ.

රතු මුහුදේ නෞකා ඉලක්ක කිරීමට හූතිවරුන්ට ඉරානයේ සහාය ලැබෙන බව එක්සත් ජනපදය චෝදනා කරයි. එය වහාම නතර කරන ලෙස ඉල්ලා ජෝ බයිඩන් ජනාධිපතිවරයා ටෙහෙරානයට “පුද්ගලික පණිවිඩයක්” යවා ඇති බවද පසුගිය දා වාර්තා විය. කෙසේ නමුත් ඉරානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. යේමන සිවිල් යුද්ධයේදී ද එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කරමින් හූතිවරුන්ට ඩ්‍රෝන යානා, කෲස් සහ බැලස්ටික් මිසයිල ඇතුළු ආයුධ හොර රහසේ ගෙනවිත් දුන්නේ ඉරානය බව එක්සත් ජනපදය හා සෞදි අරාබිය චෝදනා කරයි. එවැනි මිසයිල සහ ඩ්‍රෝන යානා සෞදි අරාබියට මෙන්ම එහි මිත්‍ර රාජ්‍යයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ද එල්ල කළ ප්‍රහාර සඳහා යොදාගෙන ඇති බව එහි සඳහන් වේ.

ඉරානය හූතිවරුන්ට ආයුධ සැපයීමේ චෝදනාවද ප්‍රතික්ෂේප කරන අතර තමන් ඔවුන්ට දේශපාලන වශයෙන් පමණක් සහාය දෙන බව පවසයි. නමුත් යුද විශේෂඥයන් පවසන්නේ ඉරාන ආයුධ, පුහුණුව සහ බුද්ධිය නොමැතිව හූතිවරුන්ට මෙවැනි ප්‍රහාර කළ නොහැකි බවයි. හිස්බුල්ලා සංවිධානයද හූතිවරුන්ට හමුදා සහාය හා උපදෙස් ලබාදෙන බව ඔවුන්ගේ මතයයි. කෙසේ වෙතත් ඊශ්‍රායලයට එරෙහි ඉස්ලාමීය සටන් කණ්ඩායම් එකම අරමුණින් කටයුතු කරන බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ.

ගිනියම් වූ පෙර-අපර දෙදිග දොරටුව

හූතින් මුලින් පැවසුවේ තමන් ඊශ්‍රායලයට අයත්, ඊශ්‍රායල ධජය සහිත හෝ ඊශ්‍රායල වරායන් වෙත යන නැව් ඉලක්ක කරන බවයි. කෙසේ වෙතත්, ප්‍රහාරයට ලක්වූ බොහෝ යාත්‍රා ඊශ්‍රායලයට සම්බන්ධයක් නැත. පසුව බි්‍රතාන්‍ය බහාලුම් නෞකාවකට ප්‍රහාර එල්ල කළ හූතින් පැවසුවේ එකී ප්‍රහාරය “ඇමරිකානු – බි්‍රතාන්‍ය ආක්‍රමණයට” ප්‍රතිචාරයක් බවයි. කෙසේ නමුත් එක්සත් ජනපදය ප්‍රමුඛ නාවික හමුදා මෙම ප්‍රහාර බොහොමයක් ව්‍යර්ථ කර ඇත.

රතු මුහුදු මාර්ගයේ නැව් ආරක්ෂා කිරීමට එක්සත් ජනපදය දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර නාවික මෙහෙයුමක් දියත් කර තිබුණි. ‘Operation Prosperity Guardian’ ලෙස නම් කර ඇති මෙම මෙහෙයුමට බි්‍රතාන්‍යය කැනඩාව, ප්‍රංශය, බහරේන්, නෝර්වේ සහ ස්පාඤ්ඤය ඇතුළු රටවල් ගණනාවක් ද එක් වී ඇත. එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් රටවල් 40 කට වැඩි ගණනක අමාත්‍යවරුන් සමඟ පැවැත්වූ රැස්වීමකදී මෙම ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රයත්නයන්ට දායක වන ලෙස තවත් රටවලින් ඉල්ලා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව ද තම යාත්‍රාවක් යොදවමින් මෙහෙයුම සඳහා සම්බන්ධ විය. චීනයද හූති ප්‍රහාර වැළැක්වීමට ඵලදායී රාජ්‍යතාන්ත්‍රික කාර්යභාරයක් ඉටුකරන බව පෙනෙන්නට තිබේ. නැව් ගමනාගමනයට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් රතු මුහුදේ ඇමෙරිකානු සහ බි්‍රතාන්‍ය නාවික හමුදා දැන් යේමනයේ හූති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර දියත් කර ඇත.

මධ්‍යධරණී මුහුදේ සිට සූවස් ඇළ හා රතු මුහුද ඔස්සේ ඒඩ්න් බොක්කට ඇති මුහුදු මාර්ගය ලෝකයේ කාර්යබහුලම නැව් මාර්ගයකි. අරාබි මුහුද හා ඉන්දියානු සාගරය ඔස්සේ පෙර-අපර දෙදිග යාකරන ප්‍රධානතම නාවික මාර්ගය මෙයයි. මෙම ප්‍රවේශ මාර්ගය තෙල් සහ ද්‍රව ස්වභාවික වායු (LNG) ප්‍රවාහනයේදී විශේෂයෙන් වැදගත් වේ. 2023 පළමු භාගයේදී සූවස් ඇළ හරහා දිනකට තෙල් බැරල් මිලියන නවයක් පමණ නැව්ගත කර ඇත.

අප්‍රිකානු මහාද්වීපයට අයත් එරිත්‍රියාව සහ ජිබුටි යන රටවල් පිහිටි භූමියත් ආසියානු මහාද්වීපයට අයත් යේමනයත් වෙන් වන්නේ සැතපුම් 20ක් පළල Bab al-Mandab සමුද්‍ර සන්ධිය මගිනි. හූති කැරලිකරුවන් ස්ථාන ගත වී ඇත්තේ මෙම තීරණාත්මක කලාපයේය. කලාපය හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන විදේශීය යාත්‍රාවලට ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර එල්ල කරමින් මෙහි නාවික ගමනාගමනය අඩාල කිරීම හූතිවරුන්ගේ ප්‍රමුඛ අරමුණයි.

ගෝලීය වෙළෙඳාම අර්බුදයකට

මේ වන විට Maersk වැනි ලෝකයේ ප්‍රධාන නැව් සමාගම් තම නාවික කටයුතු සඳහා රතු මුහුද භාවිතා කිරීම නතර කර ඇත. ගෝලීය මුහුදු වෙළෙඳාමෙන් 15% ක් පමණ රතු මුහුද ආශ්‍රිතව සිදුවන අතර දැන් බොහෝ නෞකා රතු මුහුද ඔස්සේ දිවෙන මුහුදු මාර්ගය මඟ හරිමින් Good Hope තුඩුව ඔස්සේ දකුණු අප්‍රිකාව වටා දිගු මාර්ගයක ගමන් කරයි. සමහර නෞකා රතු මුහුදෙන් නැවත හරවා යැවෙයි. ලොව විශාලතම නැව් සමාගම් රතු මුහුදෙන් ඉවත් වීමේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය සැපයුම් දාමය ඇන හිට ඇත. යම් තරමකට හෝ සහනයක් ඇත්තේ තවමත් නාවික භාණ්ඩ ප්‍රවාහනයේ කාර්යබහුල සමය එළැඹී නැති බැවිනි. නමුත් හූති ප්‍රහාර දිගින් දිගටම සිදුවුව හොත් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟවීම හා බොහෝ ආනයන භාණ්ඩවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම නොවැළැක්විය හැකිය. නාවික සැතපුම් 3,500කින් පමණ මුහුදු මාර්ග දීර්ඝ වීම හේතුවෙන් භාණ්ඩ වෙළෙඳපොළ වෙත පැමිණීමේ ප්‍රමාදයන් අපේක්ෂා කළ හැක. නැව් සමාගම් තම නාවික මෙහෙයුම් කාලයට අවම වශයෙන් තවත් දින 10 ක් එකතු කර ඇත. ඔවුන්ට ඩොලර් මිලියන ගණනක් අමතරව වැය කිරීමට සිදුව ඇත. ව්‍යාපාරිකයන් විසින් මෙම අමතර වියදම් පාරිභෝගිකයන් වෙත පැවරිය හැක. තෙල් මිල ද ඉහළ යා හැකි බවට බියක් පවතී. එසේ වුවහොත් කොරෝනා වසංගතයෙන් පසුව හැල්මේ නැඟිටිමින් සිටින ශ්‍රී ලංකාව වැනි රටවල උද්ධමනය නැවත ඉහළ යා හැකිය.

සැපයුම් බාධාවන් එල්ල වී ඇත්තේ තෙල් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පමණක් නොවේ. සුඛෝපභෝගී භාණ්ඩ හා සේවා සැපයුමටද බාධා එල්ල වී ඇත. ගෘහ භාණ්ඩ නිෂ්පාදන සමාගම් තම නිෂ්පාදන සැපයීම ප්‍රමාද විය හැකි බවට අනතුරු අඟවා ඇත. සැපයුම් කඩාකප්පල් වීම හේතුවෙන් Tesla සමාගම සිය එකම යුරෝපීය විදුලි මෝටර් රථ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇත.

රතු මුහුදු කලාපයේ හූති බාධාවන් ඉවත් කර ගැනීම මේ මොහොතේ එක්සත් ජනපදය හා යුරෝපා රටවල ප්‍රමුඛ අභිප්‍රාය වී ඇත. චීනයද ඉරානයට පවසා ඇත්තේ හූති කැරලිකරුවන් පාලනය කිරීමට පියවර ගන්නා ලෙසයි. එය චීන ආර්ථිකයට මෙන්ම නැගී එන ඉන්දියානු ආර්ථිකයටද බරපතළ බාධාවකි. යුරෝපයට නම් මුහුදෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීම එකම විකල්පය නොවේ. ඒ වෙනුවට දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීම කළ හැකිය. නමුත් ඒ සඳහා රුසියාව හරහා ගමන් කළ යුතුය. යුක්‍රේනය ආක්‍රමණය කිරීම හේතු කොට ගෙන යුරෝපා සංගමය රුසියාවට ආර්ථික සම්බාධක පනවා ඇත.

අර්බුදය මැද අවස්ථාවක්

කෙසේ නමුත් සෑම අර්බුදයක් සමඟම අවස්ථාද මතුවන බව රහසක් නොවේ. දැනට යුරෝපය සහ නැගෙනහිර ඇමෙරිකාව බලා යන භාණ්ඩ ප්‍රවාහන නෞකාවන්ට අප්‍රිකාව හරහා යාත්‍රා කිරීමට සිදුවීම ශ්‍රී ලංකාවට යම් වාසිසහගත තත්ත්වයකි. කොළඹ වරාය භාණ්ඩ හුවමාරු කිරීමේ ස්ථානයක් ලෙස වැඩි වශයෙන් භාවිතා වීමේ ප්‍රවණතාවක් පෙනෙන්නට තිබේ. මෙම තත්ත්වය මෙරට ආර්ථිකයට විශාල අවස්ථාවක් වුවද කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත දෙකම තවමත් සංවර්ධනය කරමින් පවතින බැවින් විශාල අමතර බහලුම් ප්‍රමාණයක් මෙහෙයවීම දුෂ්කර විය හැකිය.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment