වතුරවත් නොබී ක්‍රිකට් මැච් බැලූ භාරත කෝකිලාවිය

619

ඉකුත් ඉරිදා පැවැති ලතා මංගේෂ්කාර්ගේ අවමඟුල් උත්සවයේ සෝබර මුහුණින් යුත් එක් පුද්ගලයකු දක්නට ලැබිණි. ඔහු අන් කවරෙක්වත් නොව ප‍්‍රකට ක‍්‍රිකට් ක‍්‍රීඩක සචින් තෙන්දුල්කාර්ය. සචින් හා ඉන්දීය ගීත කෝකිලාවිය අතර තිබුණේ ඉතා සමීප සම්බන්ධයකි. ලතා ප‍්‍රකට ක‍්‍රිකට් ලෝලියකු වූ අතර ඉන්දියාව තරග වදින එකම තරගයක් හෝ මඟහැරියේ නැත. සචින් මේ ගායිකාව ඇමතුවේ ‘ආයි’ ලෙසිනි. මරාති භාෂාවෙන් අම්මාට භාවිත වන වචනය වන්නේ මෙයයි. එයින්ම දෙදෙනාගේ සම්බන්ධය කොතරම් සමීපදැයි සිතාගත හැකිය. සචින් මෙන්ම ලතා මංගේෂ්කාර්ද භාරත් රත්න සම්මානයෙන් පිදුම් ලබා තිබීමද විශේෂයකි.

වතුරවත් නොබී ක්‍රිකට් මැච් බැලූ භාරත කෝකිලාවිය

2004 වසරේදී ඉන්දීය කණ්ඩායම පකිස්තානයේ සංචාරය කළ අතර එය ඉන්දියාවට ජයග‍්‍රාහී තරගාවලියක් විය. එවක ඉන්දීය කණ්ඩායමේ කළමනාකරු ලෙසන් කටයුතු කළ රත්නකාර් ෂෙට්ටි ගීත කෝකිලාව හා ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායම අතර සම්බන්ධය සිහි කරයි. රාවල්පින්ඩි හි පැවති තරගය ජයග‍්‍රහණය කළාට පස්සේ මට මුලින්ම ලැබුණු දුරකථන ඇමතුම ලතා මංගේෂ්කාර් මැතිනියගෙන්. ඇය බොහෝ සතුටට ප‍්‍රමෝදයට පත්වෙලා හිටියේ. ඇය මට කීවේ ඔක්කොම ක‍්‍රීඩකයන්ට සුබ පතන්න කියලා. 2005 එක අවස්ථාවක ඇය කතා කරලා මහේන්ද්‍ර සිං දෝණිගේ දුරකථන අංකය ඉල්ලූවා. මොකද ඒ තරගයේ වැඩිම දක්ෂතා දක්වන ක‍්‍රීඩකයාට ඇය පෞද්ගලිකව කතා කරලා සුබපතනවා. 2007 විස්සයි විස්ස ලෝක කුසලාන දිනලා ඉන්දීය කණ්ඩායම වහල රහිත බස් රථයක මුම්බායි නගර වැසියන්ගේ ආචාර මැද ගමන් කළා. ඒ අවස්ථාවේ මේ රථය ලතා මංගේෂ්කාර්ගේ ගේ ඉස්සරහා නතර කළේ ඇගේ ආචාරය ලබා ගන්න.

1983 දී ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය දිනාගත් අවස්ථාවේ ජයග‍්‍රාහී ක‍්‍රීඩකයන් ඇගයීමට ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයට මුදල් තිබුණේ නැත. අද නම් ලෝකයේ ධනවත්ම ක‍්‍රිකට් පාලක මණ්ඩලය ඇත්තේ ඉන්දියාවේය. නමුත් එදා දුප්පත් ක‍්‍රිකට් පාලක මණ්ඩලය බේරා ගැනීමට පැමිණියේ භාරත ගීත කෝකිලාවයි. ඇය දිල්ලියේ නේරු ක‍්‍රීඩාංගණයේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට උපහාර පිණිස සංගීත ප‍්‍රසංගයක් පැවැත්වූවාය. එයින් රුපියල් ලක්ෂ 20 ක ආදායමක් ලැබුණු අතර එය ක‍්‍රිකට් පාලක මණ්ඩලයට ලබාදීමට ඇය නොමසුරු විය. ඒ අනුව කපිල් දේව්ගේ ජයග‍්‍රාහී කණ්ඩායමට රුපියල් ලක්ෂය බැගින් පිරිනමන්නට හැකිවිණි. එදා මෙන් නොව අද නම් ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ ප‍්‍රකෝටිපතියෝය. මෙයට උපහාරයක් ලෙස ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායම එරට කවර හෝ ක‍්‍රීඩාංගණක තරග වදීනම් ක‍්‍රිකට් පාලක මණ්ඩලය ටිකට් පත් දෙකක් ලතා මංගේෂ්කාර් පවුල වෙනුවෙන් වෙන් කරයි. එය සුවිශේෂය.

වතුරවත් නොබී ක්‍රිකට් මැච් බැලූ භාරත කෝකිලාවිය

2011 මොහාලි නගරයේදී ලෝක කුසලාන අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ඉන්දියාව හා පකිස්තානය අතරය. මේ තරගය ලතා නැරඹූ අතර දවස පුරාම වතුරවත් නොබී ඉන්දියාවට ජයපතා සත්‍යක‍්‍රියාවක නිරත වූවය. ඇය එදින අහර ගත්තේ ඉන්දිය ජයග‍්‍රහණයෙන් පසුව රාත‍්‍රී කාලයේය.

මමයි මීනයි උෂා කිසි කෙනෙක් වතුරවත් නොබී මැච් එක බැලූවේ ඉන්දියාවට ජයග‍්‍රහණය ලැබේවායි කියමින් මම යාඥා කළා. අවසානයේ එදා රෑ තමයි කෑම ගත්තේ යනුවෙන් මේ ගීත කෝකිලාව ඉන්දීය පුවත් සේවයට පවසා තිබිණි. එයින්ම ඇගේ ක‍්‍රිකට් උන්මාදය හොඳින් පැහැදිලි වේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment