මෙලොව දිවි ගෙවන සියලු දෙනාගේ අභිප්‍රාය තම දිවිය සුඛිතවත් ව ගෙවීම ය. නමුත් එය ඉබේ ලැබෙන්නක් නොව තමාගේම වෙහෙස මහන්සියෙන් ළඟා කර ගත යුත්තකි. එසේ තම හැකියාවෙන් ලොව දිනා ලෝකයේ ධනවත්ම යන කාණ්ඩයට ඇතුළත් වන්නට හැකියාව ලැබෙන්නේ යම් පුද්ගල කොටසකට පමණි. ඒ අතරේ ව්‍යාපාරික ලෝකයට හුරුපුරුදු නමක් වන අම්බානි නම මේ දිනවල සමාජයේ නිතර මුවඟ රැඳෙන නමක් බවට පත්ව ඇත. ඒ ලෝකයේම අවධානය දිනා ගන්නට සමත් වුණු පසුගිය මාර්තු පළමු වැනිදා සිට තුන් වෙනිදා දක්වා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ජම්නගර් හි පැවැත්වුණු අම්බානි පවුලේ බාල පුත්‍රයාගේ තෙදින පූර්ව විවාහ උත්සව නිසාය.

ප්‍රකෝටිපති මුකේෂ් අම්බානි (66) ආසියාවේ ධනවත්ම පුද්ගලයා වේ. එමෙන්ම ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අතර ඔහුට ලැබෙන්නේ 11 වන ස්ථානය ය. ඔහු වෙළෙඳපොළ වටිනාකම අනුව ඉන්දියාවේ වටිනාම සමාගම වන Reliance Industries හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා වේ. Reliance Industries යනු මුම්බායි හි මූලස්ථානය පිහිටි ඉන්දියානු බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන අතර එහි ව්‍යාපාර බලශක්තිය, ඛනිජ රසායන ද්‍රව්‍ය, ස්වාභාවික වායු, සිල්ලර වෙළෙඳාම, විදුලි සංදේශ, ජන මාධ්‍ය, විනෝදාස්වාදය සහ රෙදිපිළි යන කාණ්ඩයන්ගෙන් සමන්විත ය. මුකේෂ් අම්බානිගේ බිරිඳ නීටා අම්බානි ය. ඇය Reliance Foundation, ධිරුබායී අම්බානි ජාත්‍යන්තර පාසල හි නිර්මාතෘවරිය සහ සභාපතිනිය වේ. එසේම ඇය දානපතිනියකි. ඔවුන්ට ආකාෂ්, ඊෂා, අනන්ට් නමින් දරුවන් තිදෙනකු සිටින අතර අනන්ට් අම්බානි පවුලේ බාල පුත්‍රයා ය. 1995 වසරේ අප්‍රේල් 10 වන දින මුම්බායි හි දී උපත ලද අනන්ට් බොහෝ දෙනා සිතන පරිදි ඉතා සැපවත් දිවියක් ගතකර නැත. හේතුව නම් ඔහුට කුඩා කල සිට විවිධ අසනීප තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවීමයි. එම අසනීප තත්ත්වයන් සුව කර ගැනීමට භාවිතා කළ බෙහෙත් වර්ග හේතුවෙන් ඔහුගේ සිරුරේ බර අධික ලෙස වැඩිවී තිබේ. නිතර බාහිර අවධානයට පාත්‍ර වන පවුලක සාමාජිකයෙක් ලෙස ඔහු එයින් බොහෝ අපහසුතාවට ලක්ව තිබේ. එම නිසාම ඔහු දැඩි ආහාර පාලන ක්‍රමයක් අනුගමනය කරමින් දිනපතා පැය 5, 6 ක කාලයක් ව්‍යායාම කරමින් ස්වභාවික හා ආරක්ෂිත ක්‍රම මගින් මාස 18 ක් වැනි කාලයක් තුළ කිලෝ 108 ක බර ප්‍රමාණයක් අඩු කර ගැනීමට සමත්ව තිබේ. නමුත් 2020 වසරේ සිට නැවතත් ඔහුට ශරීර බර වැඩි වීමට මුහුණ දීමට සිදුවීම සමාජයේ කතාබහට ලක්වූ මාතෘකාවක් විය. සමාජය අනන්ට් පිළිබඳව කුමන ආකාරයක දෑ පැවසුව ද ඔහු තම මවත් සමඟ සමාජ සේවා කටයුතුවල නිරත වන්නේ මහත් වූ කැමැත්තකිනි. ඔහුගේ අදහසකට අනුව වන සංරක්ෂණ ව්‍යාපෘතියක් ලෙස “වනාන්තරයේ තරුව” අර්ථය ඇති Vantara නම් සත්ව අභය භූමියක් ඔහු පවත්වාගෙන යනු ලබයි. විවිධ ආකාරයේ අනතුරුවලට මුහුණ දුන් සතුන් බේරා ගැනීම සහ පුනරුත්ථාපනය කිරීම එහි අරමුණ වේ. ගුජරාට් ප්‍රාන්තයේ Reliance Industries සතු ජම්නගර් පිරිපහදු සංකීර්ණය තුළ අක්කර 3,000ක් පුරා විහිදෙන මෙම අභය භූමිය තුළ මේ වන විට හිංසා පීඩාවන්ට ලක්ව බේරා ගැනුණු අලින් 230 කට වැඩි සංඛ්‍යාවක් ජීවත් වේ.

අලින් වෙනුවෙන්ම පශු වෛද්‍ය කණ්ඩායමක් පත් කර ඇති අතර වෙනම සේවකයන් පිරිසක් ද ඒ වෙනුවෙන් ඇත.

මිනිසුන්ට පරිභෝජනය කළ හැකි තරමේ පිරිසිදු ආහාර මෙම අලින් වෙනුවෙන් දිනපතා ලබා දීම ද විශේෂත්වයකි. මේ වනවිට සතුන් 2000 කට පමණ පිහිට වීමට ඔහුට හැකිව තිබේ. අනන්ට් පවසන පරිදි දැන් දෙවියන් දකින්නට නොමැති නමුත් ඔහු සෑම සතෙකු තුළම දෙවියන් දකියි. සතුන් සම්බන්ධව කතාබහ කරන සෑම අවස්ථාවකදීම ඔහුගේ මුහුණේ මැවෙන අව්‍යාජ සිනහව ඔහුගේ කරුණාබර හදවත පිළිබඳව සාක්ෂි දරයි.

ලෝකෙම තරු එකම තැනක පෑයූ අම්බානිලාගේ මඟුල් ගෙදර

අනන්ට් ගේ දිගුකාලීන පෙම්වතිය රාධිකා මර්චන්ට් ය. 29 හැවිරිදි ඇය ව්‍යාපාරික විරේන් ඒ. ගේ දියණියකි. අනන්ට් සහ රාධිකා ගේ පළමු මුණගැසීම පිළිබඳව තොරතුරු අනාවරණය වී නොමැති නමුත් ඔවුන්ගේ පවුල් වලින් කළ ප්‍රකාශ අනුව ඒ දෙදෙනා කුඩා කල සිටම හොඳම මිතුරන් ය. පසුගිය 2023 දී අනන්ට් රාධිකාට විවාහ යෝජනාවක් කර ඇති අතර ඉන්පසු ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය සිදුව තිබේ. ඔවුන්ගේ විවාහය යෙදී තිබෙන්නේ මේ වසරේ ජූලි මස 12 වන දිනට ය. පසුගිය මාර්තු 1 සිට 3 දක්වා පැවැත්වූයේ තෙදින පූර්ව විවාහ උත්සවයන් ය. අනන්ට් රාධිකා ඇතුළු අම්බානි පවුලේ සියලු දෙනා උත්සවයන් ආරම්භ කරනු ලැබුවේ ජම්නගර් හි ජොග්වාද් ගම්වැසියන්ට සාම්ප්‍රදායික ගුජරාටි ආහාර පිලිගැන්වීමෙනි. ප්‍රදේශවාසීන් 51000 ක පමණ පිරිසකට එලෙස ආහාර සපයා ඇති බව සඳහන් වේ.

වාර්තා වන පරිදි අනන්ට් සහ රාධිකා ගේ පූර්ව විවාහ උත්සවයන්ට ප්‍රදේශවාසීන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට මෙය සංවිධානය කර තිබේ. ඔවුන්ගේ තෙදින පූර්ව විවාහ උත්සවයන් වෙත ලෝකයේ අවධානය වඩාත් යොමු වූ කරුණක් වූයේ ඊට ආරාධනා ලැබ පැමිණ සිටි පිරිස ය. පළමු දිනය වෙනුවෙන් ලෝකප්‍රකට පොප් ගායිකාවක වන රිහානාගේ අංගයක් ඇතුළත්ව තිබූ අතර ඒ සඳහා ඩොලර් මිලියන 9 කට ආසන්න මුදලක් ගෙවා ඇති බව සඳහන් වේ. ඇයගේ පළමු ඉන්දීය සංචාරය මෙයයි. එමෙන්ම බොලිවුඩයේ ජනප්‍රිය තරු වන ෂාරුක් ඛාන්, සල්මන් ඛාන්, අමීර් ඛාන්, රන්බීර් කපූර්, බච්චන් පවුලේ සාමාජිකයන්, දීපිකා පදුකෝන් ඇතුළු තවත් නළු නිළියන්, එම් එස් දෝනි සහ සචින් ටෙන්ඩුල්කාර් ආදී ක්‍රීඩා තරු ඇතුළු බිල් ගේට්ස්, මාර්ක් සකර්බර්ග්, භූතානයේ රාජකීය පවුල ආදී ලොව පුරා කීර්තිමත් පුද්ගලයන් 2000 කට ආසන්න ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගි වී තිබෙන අතර ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ද ඊට සහභාගි වී තිබේ. අනන්ට් අම්බානි සිය පූර්ව තෙදින විවාහ උත්සවයන් හි පළමු දිනයේ පැවැත්වූ පිළිගැනීමේ කථාව පියා වන මුකේෂ් අම්බානිගේ දෙනෙත් කඳුළින් බර කිරීමට සමත් විය. තම කතාවේදී ඔහු ළමා කාලයේ තමා මුහුණ දුන් සෞඛ්‍ය ගැටලු ගැන විවෘතව අදහස් දක්වා තිබේ. ඔහු, “මගේ පවුලේ අය මම වෙනුවෙන් බොහෝ දේ කර තිබෙනවා. පසුගිය මාස 2, 3 ක ඉඳලා හැමෝම නිදාගන්නේ දවසට පැය 3 කටත් අඩු කාලයක්. මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම රෝස මල් යහනාවක් වුණේ නෑ. මම කුඩා කල සිටම සෞඛ්‍ය ගැටලු රාශියකට මුහුණ දුන් නමුත් මගේ පියා සහ මව කිසි විටෙකත් මම දුක් වින්දා යන හැඟීම මට දැනෙන්නට ඉඩ දුන්නේ නෑ. ඔවුන් හැම විටම මා වෙනුවෙන් පෙනී සිටියා” පවසමින් තම දෙමාපියන්ට ස්තූති කළ අතර තම පෙම්වතිය වන රාධිකා පිළිබඳව සඳහන් කරමින් අනන්ට් ඇයව ලැබීම නිසා තමා වාසනාවන්තයකු ලෙස පැවසීය. උත්සවයන් පැවති දින තුන එකිනෙකට වෙනස් තේමාවන් තුනකින් පැවැත්වී තිබූ අතර විශාල ආරාධිත අමුත්තන් පිරිසට ආහාර සූදානම් කිරීමට බොහෝ සූපවේදීන් පිරිසක් ඔවුන් යොදාගෙන තිබිණි. එය විශේෂ වන්නේ ශ්‍රී ලංකාවේ සූපවේදීන් 13 දෙනකු ද ඒ සඳහා සහභාගි වී තිබීම ය. ඔවුන් “Citrus” හෝටල් සමූහය සහ “Ceylon Cery Club” (Ceylon Ceylon Curry Club) අවන්හල නියෝජනය කරන සූපවේදීන් පිරිසකි. ඔවුන්ව තෝරාගෙන තිබෙන්නේ පාරිභෝගිකයන් ගේ ප්‍රතිචාර සහ ඨදදටකැ සමාලෝචන සහ නිර්දේශ මත පදනම්ව ය. එම පිරිස අතර එක් කාන්තා සූපවේදිනියක් ද වන අතර මෙම ශ්‍රී ලාංකික සූපවේදීන්ට මාර්තු 03 වන දින පූර්ව විවාහ උත්සවයට සහභාගි වන පිරිස සඳහා දිවා භෝජනය පිළියෙළ කිරීමට අවස්ථාව ලබා දී ඇත. එහි දී ඔවුන් විසින් සකස් කරන ලද ආහාර සඳහා ලැබුණු ප්‍රතිචාර සහ පැසසුම් මත අතිරේක දිනයක් ලෙස මාර්තු 4 වන දින රාත්‍රී භෝජනය සංවිධානය කිරීමට ද ඔවුන්ට අවස්ථාව ලැබී තිබිණි.

පැවති උත්සව තුළ දී පැමිණ සිටි නළු නිළියන් විවිධ අංගයන් ඉදිරිපත් කර තිබූ අතර එයින් ඉතා දුර්ලභ අවස්ථාවක් වන බොලිවුඩයේ රජුන් ත්‍රිත්වය ලෙස හැඳින්වෙන ෂාරුක් ඛාන්, සල්මන් ඛාන් සහ අමීර් ඛාන් එක්ව ඉදිරිපත් කළ නර්තනය බොහෝ දෙනාගේ නෙත් පැහැරගෙන තිබුණි. වාර්තා වන පරිදි අනන්ට් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ පූර්ව විවාහ උත්සව සඳහා ආසන්න වශයෙන් පවුම් මිලියන 120 ක් පමණ වියදම් කර තිබේ. මෙය ලෝ වටා සාමාන්‍ය මහජනතාවට විශාල මුදලක් ලෙස පෙනුන ද ආසියාවේ ධනවත්ම මිනිසාගේ ධනයට එය එතරම් බලපෑමක් නොවේ.

අමායා උඩුවැරැල්ල

advertistmentadvertistment
advertistmentadvertistment