2022 පෙබරවාරි 24 වෙනිදා රුසියානු හමුදා යුක්‍රේන භූමියට ඇතුළු වූයේ ජයග්‍රාහී මානසිකත්වයෙනි. දින කිහිපයක් තුළ කිව් නගරය අත්පත් කර ගැනීම රුසියාවේ අපේක්ෂාව විය. නමුත් යුක්‍රේනයේ ප්‍රතිවිරෝධය අනපේක්ෂිත ලෙස ප්‍රබල විය. විටින් විට පරාජයන් ඇති වුවද යුක්‍රේනය රුසියානු හමුදා පසු බැස්සවූයේ සෙසු ලෝකය මවිත කරවමිනි. ඒ සඳහා පිටුබලය සැපයූවේ ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ (NATO) සංවිධානයයි. කෙසේ වෙතත් ප්‍රබල රුසියානු හමුදා හමුවේ තම උපායමාර්ගික මර්මස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා යුක්‍රේනය මේ වන විටත් විශාල මානව හා ආර්ථික පිරිවැයක් දරා ඇති බව නොරහසකි.

රුසියා – යුක්‍රේන යුද්ධය අද වන විට තෙවන වසරටත් පා තබා ඇත. ලෝකයේ දේශපාලන, සමාජ හා ආර්ථික සංහිඳියාවන් බොහෝ සෙයින් අස්ථාවරත්වයට පත්කර ඇති මෙකී අර්බුදය අවසන් වීමේ පැහැදිලි සේයාවක් තවමත් දක්නට නැත. සාමය සඳහා වූ ප්‍රවේශ මාර්ග කුමක් හෝ හේතුවක් නිසාවෙන් ඇහිරෙමින් තිබේ. බොහෝ විශ්ලේෂකයන් මේ දෙස බලන්නේ තමන්ට ආවේණික දේශපාලන පැති කණ්ණාඩිවලින් මිස භූමියේ පවත්නා භූ-දේශපාලනික යථාර්ථයට අනුව නොවේ.

යුද්ධයෙන් විපතට පත්වූවන් පිළිබඳ ඇස්තමේන්තු සනාථ කිරීම දුෂ්කර වී ඇත්තේ දෙපාර්ශ්වයම තමන්ට වූ හානි පිළිබඳව නිවැරදි වාර්තා ඉදිරිපත් නොකිරීම නිසාය. එහෙත් එක්සත් ජනපද සංඛ්‍යා ලේඛණයන්ට අනුව දෙපාර්ශ්වයේම මියගිය හෝ තුවාල ලැබූ සංඛ්‍යාව 500,000ක් පමණ වේ. මානුෂීය සංවිධාන පෙන්වා දෙන්නේ මෙකී ගැටුම තවදුරටත් ඇදී ගිය හොත් දෙපාර්ශ්වයේම සිවිල් ජනතාවට 2024 විනාශයේ වසරක් වනු ඇති බවයි. ඔවුන් අනතුරු අඟවන්නේ යුක්‍රේනයේ මිලියන 14.6 කට පමණ එනම් එරට ජනගහනයෙන් සියයට හතළිහකට පමණ මානුෂීය ආධාර අවශ්‍ය වනු ඇති බවයි.

2024 තීරණාත්මක වසරක්

යුද්ධය තවදුරටත් ඇදී යතැයි අපේක්ෂා කළ හැකි වුවත් මෙම වර්ෂය වඩාත් තීරණාත්මක වනු ඇත. අද වන විට රුසියානු හමුදාවෝ කිව් නගරයේ පාලනය කෙසේ හෝ තම අණසකට නතු කර ගැනීමට උත්සාහ දරති. අනිත් අතට යුක්‍රේනය තමන්ට අහිමි වූ භූමිය නැවත අත්පත් කර ගැනීමේ අධිෂ්ඨානයෙන් පසු වෙයි. කෙසේ නමුත් යුද්ධය පවත්වා ගැනීමට සඳහා යුද අවි හා යුද්ධය සඳහා වැය වන මුදල් ලබා ගැනීමේදී යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිට බරපතළ අභියෝගයන්ට මුහුණු දීමට සිදුව ඇත. යුක්‍රේනයට යුද්ධය සඳහා ආධාර ලබා දෙන්නේ ප්‍රධාන වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපය ප්‍රමුඛ කරගත් නේටෝ සංවිධානයයි. යුක්‍රේනය ආරක්ෂා කර ගැනීමට ඇති භූ දේශපාලනික වැදගත්කම බටහිර උපාය මාර්ගිකයන් තේරුම් ගෙන සිටියද එකී රටවල ජනතාවට ඊට එතරම් උනන්දුවක් නැත. නිරර්ථක යුද්ධයක් වෙනුවෙන් තම බදු මුදල් යෙදවීම පිළිබඳව ජනතාව අතරින් දැඩි විරෝධතා එල්ල වෙමින් පවතී. එකී විරෝධතා නිසා ඒ ඒ රටවල ආණ්ඩු යුක්‍රේනයට යුද ආධාර ලබා දීම පිළිබඳව දෙවරක් සිතන ස්වභාවයක් පෙනෙන්නට තිබේ. නේටෝ සාමාජිකයන් තුළද යුක්‍රේනයට යුද ආධාර ලබා දීම පිළිබඳව පරස්පරතා රාශියක් ඇත.

විශේෂයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයාට යුක්‍රේනය වෙනුවෙන් යුද ආධාර පැකේජ අනුමත කර ගැනීමේදී ඇමෙරිකානු කොන්ග්‍රසයේ ප්‍රතිවිරෝධතාවන්ට මුහුණ දීමට සිදුව ඇත. තවමත් ලෝකයේ අංක එකේ යුද දේශපාලනික බලවතා ලෙස වැජඹෙන ඇමෙරිකාවට තම මිතුරු කඳවුර ආරක්ෂා කර ගැනීමේ ප්‍රබල වගකීමක් ඇත. යම් ආකාරයකින් ඇමෙරිකාව ඊට අපොහොසත් වන්නේ කවදාද එදින සිට ඔවුන්ගේ දශක තුනක ගෝලීය බලයද විසිරී යනු ඇත. ලෝකය පුරා තම මිතුරු පාර්ශ්වයන්ට යුද ආධාර ලබා දීමෙන් ඇමෙරිකාව බලාපොරොත්තු වන්නේ එකී රටවල්වල ආරක්ෂාව තහවුරු කිරීම පමණක්ම නොවේ. තම ප්‍රබල සතුරන් හමුවේ ශක්තිමත් ප්‍රොක්සි හමුදාවන් පවත්වා ගැනීමෙන් තමන් වෙත එක එල්ලේ එල්ලවන අභියෝගයන්ද සමනය කරගත හැකිය.

බයිඩන් මහතාට යුක්‍රේනය පමණක් නොව ඊශ්‍රායලය හා තායිවානය වෙනුවෙන්ද එක වර පෙනී සිටීමට සිදුව ඇත. මෙම රටවල් තුන වෙනුවෙන් වෙන් කරන ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 95ක යුද ආධාර පැකේජය මාස ගණනාවක් තිස්සේ එක්සත් ජනපද ව්‍යවස්ථාදායකයේ විවාදයට ලක්ව ඇත. මෙම මුදලින් ඩොලර් 60ක්ම වෙන් කර ඇත්තේ යුක්‍රේනය වෙනුවෙනි. කෙසේ වුවත් අදාළ ආධාර පැකේජය ඇමෙරිකානු සෙනට් සභාව විසින් පසුගියදා අනුමත කරන ලදි. ඒ ඇමෙරිකාවේ අනාගත උපායමාර්ගික අවශ්‍යතාව සැළකිල්ලට ගනිමිනි. එසේ වුවත් එයට තවමත් ඇමෙරිකානු කොන්ග්‍රසයේ අනුමැතිය ලැබී නැත. රිපබ්ලිකන් පක්ෂයේ බහුතර බලය සහිත කොන්ග්‍රසය අදාළ ආධාර පැකේජය ලබා දීම පිළිබඳව තවමත් විවාද කරමින් සිටියි.

රුසියා - යුක්‍රේන යුද්ධය තීරණාත්මක තෙවන වසරට

යුක්‍රේනයට තම ඉදිරිපෙළ හමුදා ශක්තිමත් කිරීමට නම් බටහිර ආධාර අත්‍යවශ්‍යය. ජනාධිපති සෙලෙන්ස්කි අදාළ රටවල සංචාරය කරමින් හා නායකයන් සමඟ සංවාද කරමින් ආධාර සඳහා වෙහෙසෙමින් සිටියි. ඔහුගේ තර්කය වන්නේ තම මිතුරන් යුක්‍රේනය අතහැරිය හොත් යුක්‍රේනයේ පැවත්ම අවසාන වනු ඇති බවයි. එසේම එයින් මිතුරන්ගේ පැවැත්මද අභියෝගයට ලක්වනු ඇති බවයි.

රුසියානු හමුදාවේ ඉදිරි ගමනට ඉඩ සලසමින් පසුගියදා යුක්රේන හමුදාවට විනාශ වූ අවිඩිව්කා නගරයෙන් ඉවත් වීමට සිදුවිය. එය යුක්‍රේනයේ චිත්ත ධෛර්‍යය හීන් කිරීමක් වන අතර රුසියාවට වාසිසහගත තත්ත්වයක් නිර්මාණය වීමකි. කෙසේ වෙතත් කලාපයේ සමුද්‍ර ආධිපත්‍යය අත්පත් කර ගැනීම සඳහා වූ රුසියාවේ ආශාවට යුක්‍රේන නාවික හමුදාව දැඩි බාධාවක්ව පවතී. ඔවුන් විටින් විට රුසියාවට එරෙහිව මූලෝපායික ප්‍රහාර ගණනාවක් එල්ල කර ඇත. තවමත් කළු මුහුදට මුහුණ ලා තම මායිම රඳවා ගැනීමට යුක්‍රේනය සමත්ව ඇත.

තවද 2024 යනු රුසියාවට මෙන්ම ඇමෙරිකාවටද ජනාධිපතිවරණ වසරකි. රුසියානු ජනාධිපතිවරණයේදී පුටින් මහතාට අභියෝග කළ හැකි කිසිවකු පෙනෙන තෙක් මානයකවත් නැත. කෙසේ නමුත් ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී යුක්‍රේනයට ප්‍රබලම පිටුබලය සපයන වත්මන් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පිළිබඳව සැක සංකා මතුව ඇත. ඔහුට ලැබීමට නියමිත රිපබ්ලිකන් ප්‍රතිවාදියා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බව පෙනෙන්නට තිබේ. මේ හිතුවක්කාර මහල්ලන්ගේ සටනින් ට්‍රම්ප් මහතා ජයගත හොත් යුක්‍රේන හිතවාදී ඇමෙරිකානු උපායමාර්ගය වෙනස් වනු ඇත. ට්‍රම්ප් මහතා දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ පැය විසි හතරකින් යුද්ධය නිමා කර ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් ආරක්ෂා කර දෙන බවයි. ට්‍රම්ප් හා පුටින් අතර ඒ තරම් නොහොඳ නෝක්කාඩුවක් නැති බැවින් රුසියාව රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයකින් ගැටුම් නිමා කිරීමේ ප්‍රවේශයකට එළඹෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

රුසියාවටත් අභියෝග රැසක්

යුද්ධය හේතුවෙන් රුසියානු ජනාධිපතිවරයා අභ්‍යන්තරික වශයෙන් දුර්වල වීමක් නිරීක්ෂණය නොවේ. රුසියානු හමුදාවට එරෙහිව කැරැල්ලක් ආරම්භ කළ වැග්නර් අතුරු හමුදාවේ නායක යෙව්ගිනි ප්‍රිගොෂින් අභිරහස් ලෙස මරණයට පත්විය. දේශපාලනික වශයෙන් ජනාධිපතිවරයාට යම් තරමකින් හෝ අභියෝගයක් එල්ල වූයේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගෙනි. අත්අඩංගුවේ පසු වූ නවාල්නි ද පසුගිය දා මරණයට පත්විය. මේ මරණ දෙකම ජාත්‍යන්තරව සැකයට භාජනය වුවද පුටින්ට එයින් හානියක් නැත. දැවැන්ත රුසියානු රාජ්‍යයේ ඔහුට අභියෝග කළ හැකි කිසිවකු මේ වන විට නැත. රුසියානු ජනාධිපතිවරයා දීර්ඝකාලීන යුද්ධයකට සූදානම් වන ලෙස තම රට වැසියන්ට මීට පෙරද දන්වා තිබුණි. ඔහු ඒ සඳහා හොඳින් සූදානම්ව ඇත. ජනාධිපතිවරයා පවසන්නේ තම අරමුණු ඉටුකර ගත් පසු යුද්ධය අවසන් වනු ඇති බවයි.

රුසියා – යුක්‍රේන යුද්ධය ලෝක ආර්ථිකයට එල්ල කරන ලද බලපෑම සුළු පටු නැත. යුද්ධය හා කොරෝනා වසංගතයේ සෘජු බලපෑම තුන්වන ලෝකයේ බොහෝ රටවල්වලට දරාගැනීමට අපහසු විය. එකී රටවල ආර්ථිකය සෝදාපාළුවට පත් වූ අතර ඒ හේතුවෙන්ම දේශපාලනයද අස්ථාවර විය. නමුත් යුද්ධය නිසා වඩාත්ම බලපෑමට ලක්ව ඇත්තේ රුසියානු ආර්ථිකයයි. දශක තුනක් තිස්සේ වර්ධනය වූ දැවැන්ත දේශපාලන බලය හේතුවෙන් පුටින් මහතාගේ පැවැත්ම තවමත් අභියෝගයට ලක් නොවූවද රුසියානු ආර්ථිකය ඇතුළතින් ඉරිතලා යමින් ඇති බව විශ්ලේෂකයෝ පවසති. යුද ක්‍රියාකාරකම් මැද වුවද ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීමට පැරණි සෝවියට් දේශයට හැකි විය. වර්තමාන රුසියානු ආර්ථිකය පවා සම්බාධකවලට ඔරොත්තු දීමේ විශ්මිත හැකියාවක් පෙන්නුම් කරයි. තවදුරටත් එය යුද පදනම මත පවතිනු ඇත. නමුත් මේ ප්‍රවනතා කිසිවක් ආර්ථික විභවයන් ඵලදායී ලෙස භාවිතා කිරීමක් නොවේ. රුසියාවද ඇමෙරිකාව මෙන්ම ආයුධ සැපයීම හරහා ජාත්‍යන්තර වශයෙන් විශාල ලාභයක් අත්පත් කරගත්තද එකී ආයුධවල දුර්වල ක්‍රියාකාරීත්වය පිළිබඳව විවේචන එල්ල වී ඇත. මෙකී හේතු නිසා රුසියාවට දිගුකාලීන ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. යුද්ධය දිගින් දිගටම ඇදී යෑම රුසියාවේ අනාගතයට ඒ තරම් සුබදායී නොවේ. මොස්කව් පාලනය දැන් උපාය මාර්ගික ලෙස දුර්වල වී ඇතැයි බටහිර විශ්ලේෂකයෝ තර්ක කරති. යුක්‍රේනය තුළ පවතින බටහිර හිතවාදී පාලනය ඉවත් කිරීම පුටින් මහතාගේ මූලික අභිප්‍රාය වුවද දැන් ඔහු ඉදිරියේ වෙනස් ආකාරයේ නවතම අභියෝග රාශියක් නිර්මාණය වී ඇත. යුක්‍රේනය ආක්‍රමණය කිරීමට පුටින් මහතා තීරණය කිරීමත් සමඟම ඔහුගේ අසල්වැසියන් තුළ භීතියක් ඇති විය. පසුගිය වසරේ ෆින්ලන්තය නේටෝ යුද සන්ධානයට එක්වූයේ එහි 31 වන සාමාජිකයා වශයෙනි. ෆින්වරුන්ගේ නේටෝ සම්ප්‍රාප්තිය හුදෙක් යුරෝපාකරයේ තවත් එක් රටක් රුසියාවට එරෙහිව බලමුළු ගැන්වීමක් වශයෙන් පමණක් සැලකිය නොහැක. ෆින්ලන්තයේ නේටෝ සාමාජිකත්වය හේතුවෙන් රුසියාව හා නේටෝව අතර වැට මායිම දෙගුණයකින් දිගු විය.

එය දෙපාර්ශ්වයටම විශාල අභියෝගයකි. තවද මේ හේතුවෙන් යුරෝපයේ ආරක්ෂක භූ දර්ශනයේ විශාල වෙනසක් ද සිදුවිය. යුක්‍රේනය සමග තීරණාත්මක යුද්ධයට ප්‍රමුඛත්වය දී ඇති රුසියාවට තම දොරකඩටම නේටෝ වැට මායිම දිගුවීම බරපතළ හිසරදයක් වනු ඇත. ෆින්ලන්තය බොහෝ කාලයක් නොබැඳි මධ්‍යස්ථ ස්ථාවරයක සිටි අතර එවැනිම ස්ථාවරයක සිටි ස්වීඩනයද නුදුරේදීම නේටෝව හා එක් වීමට නියමිතය.

රුසියාව මේ වන විටත් විශාල ජීවිත ප්‍රමාණයක් හා ධනස්කන්ධයක් යුද්ධය වෙනුවෙන් පූජා කර ඇත. බොහෝ තරුණයන් යුද්ධය වෙනුවට රුසියාවෙන් ඉවත් වීම තෝරාගෙන ඇත. දශක හතක් පමණ කාලයක් ලෝකයෙන් අඩක් පාලනය කළ සෝවියට් රතු අධිරාජ්‍යයේ වර්තමාන අනුප්‍රාප්තිකයා රුසියාවයි. පුටින්ගේ මූලිකම අභිප්‍රාය නැවතත් පැරණි රුසියානු අධිරාජ්‍යය ගොඩනැංවීමයි. එවැනි නායකයකු නැවත පසුපසට යනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. ඒ නිසා පවත්නා අභියෝගයන්ද සැලකිල්ලට ගෙන ජයග්‍රාහී මානසිකත්වයෙන් යුද්ධයට විරාමයක් තැබීමට රුසියාවට හැකි වේනම් එය රුසියාවේ මෙන්ම සෙසු ලෝකයේද ජයග්‍රහණයකි.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment