මාලදිවයින සහ චීනය අතරේ ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට පසුගිය මාර්තු 04 වැනිදා චීනයේදී අත්සන් තැබුණි. මාලේ ආරක්ෂක අමාත්‍ය මොහොමඩ් ගසාන් මවුමුන් සහ චීන ආරක්ෂක අමාත්‍යාංශයේ මේජර් ජෙනරාල් ෂැං විසින් හමුදා ආධාර ගිවිසුමකට අත්සන් කර තිබේ. මාලදිවයින චීනය සමග අත්සන් කළ ගිවිසුම හරහා “මාරාන්තික නොවන” යුද උපකරණ සහ අවශ්‍ය පුහුණුව නොමිලේ ලබා දීමට නියමිතය. මෙම ගිවිසුම නිසා මාලදිවයිනේ ස්වාධීනත්වය සහ ස්වයං පාලනය ශක්තිමත් කරන බව ජනාධිපති මොහොමඩ් මුයිසු අවධාරණය කර තිබිණි. කඳුළු ගෑස් සහ ගම්මිරිස් ඉසින වැනි මාරාන්තික නොවන උපකරණ මාලේ රාජයට බිජිං වෙතින් ලබා දෙනු ඇත. එහෙත් මෙම ආරක්ෂක ගිවිසුම හේතුවෙන්, මාලදිවයිනේ ස්වාධිපත්‍ය සම්පූර්ණයෙන් අවදානමට ලක් වී ඇති බවට මාලදිවයින විපක්ෂ දේශපාලන කණ්ඩායම්, මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසුට චෝදනා කර තිබේ. මොහොමද් මුයිසු ඉන්දියාවෙන් ඈත් වී, චීනයට වඩ වඩාත් ළං වීම සම්බන්ධයෙන් විපක්ෂයේ අප්‍රසාදය පළවී තිබේ. නමුත් මේ ජනපතිවරයා ඉන්දියානු හමුදා එරටින් පිට කර ඇති අතර තුර්කියෙන් ඩ්‍රෝන යානා මිලදී ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබේ. මොහොමඩ් මුයිසු ජනපති ධුරයට පත්ව මුලින්ම ගියේ තුර්කියට ය. පසුව චීනය බලා ගියත් ඉන්දියාවට ගියේ නැත. යන දිනයක් හෝ ප්‍රකාශ කර නැත. ඇත්තෙන්ම ඩ්‍රෝන ගිවිසුම දිල්ලි බලධාරීන් කලබලයට පත්කර ඇත. මාලදිවයින සතු මුහුදු කලාපය නිරීක්ෂණය සඳහා මීට පෙර ඉන්දියාවේ සහය ලබා ගෙන තිබුණද දැන් තුර්කි ඩ්‍රෝන යානා උපයෝගී කරගෙන සම්පූර්ණ මුහුදු කලාපය නිරීක්ෂණය කරනු ඇත. චීන – ඉන්දීය බල ගැටුමේ මාලේ දූපතේ නාටකය වඩා හොඳින් රංග දැක්වෙන බව නම් පෙනේ.

පසුගිය ජනවාරි මාසයේ සිය චීන සංචාරය නිමවා නැවත සිය රට බලා පැමිණි මාලදිවයින් ජනපති මොහොමඩ් මුයිසු ප්‍රකාශ කර සිටියේ කුමක්ද? “මාලදිවයින කුඩා විය හැකි නමුත් එයට හිරිහැර කිරීමට කිසිම රටකට බලපත්‍රයක් ලබා දී නැති බවයි”. මෙය කෙළින්ම ඉන්දියාව එල්ල කර ගැසූ පහරකි. එහිදී ඔහු මෙසේ ද ප්‍රකාශ කර තිබිණි. ඉන්දියන් සාගරයේ අපට කුඩා දූපත් තිබුණත් වර්ග කිලෝමීටර් 900,000ක විශාල ආර්ථික කලාපයක් අපට තිබෙනවා. මාලදිවයින යනු මෙම සාගරයේ විශාලතම කොටස ඇති රටවලින් එකක් මෙම සාගරය නිශ්චිත රටකට අයත් නොවේ. ඉන්දියානු සාගරය එහි පිහිටා ඇති සියලුම රටවලට අයත් අපි කාගේවත් ගෙවත්තේ නැහැ. අපි ස්වාධීන සහ ස්වෛරී රාජ්‍යයක්.”

මාස කිහිපයක සිට ඉන්දීය සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දීය පුරවැසියන් මාලදිවයිනේ සංචාරය වර්ජනය කළ යුතු බවට වෙනම ප්‍රචාරණයක් දියත් වේ. ඉන්දීය විදේශ ඇමැති ජයිෂන්කර් මුම්බායි නුවරදී තම රටවැසියන්ට ඉදිරි සංචාරය සඳහා ලංකාව තෝරාගන්නා ලෙස ප්‍රකාශ කර තිබුණේ මේ නිසාය. ඉන්දියාවේ මාලදිවයින් විරෝධය ලංකාවට වාසියකි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී එරටට අයත් ලක්ශාදීප් දූපතේ සංචාරයෙන් පසුව දෙරට අතර මත ගැටුමක් ඇති විය. මේ කතාව කුමක්ද? ඉන්දීය දූපත් දාමයක් වන ලක්ෂාද්වීප්හි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ ඡායාරූප ඇතුළත් අගමැති නරේන්ද්‍ර මෝදි විසින් තබන ලද එක්ස් (මීට පෙර ට්ව්ටර්) සටහනට ප්‍රතිචාර වශයෙන් මාලේ රාජ්‍යයේ නියෝජ්‍ය ඇමැතිවරුන් තිදෙනෙක් සැර ප්‍රතිචාර දක්වා තිබිණි. අගමැති මෝදි විසින් තබන ලද සමාජ මාධ්‍ය සටහනට මල්ෂා ෂරීෆ්, මරියම් ෂිඋනා සහ අබ්දුල්ලා මහ්සූම් මජිඩ් යන නියෝජ්‍ය ඇමැතිවරුන් තිදෙනා ප්‍රතිචාර දක්වා තිබුණේ ඉන්දීය අගමැතිවරයා “කවටයෙක්”, “ත්‍රස්තවාදියෙක්” සහ “ඊශ්‍රායලයේ රූකඩයක්” ලෙස හඳුන්වමිනි. මේ ප්‍රතිචාර නිසා මේ තිදෙනා ධුරවලින් නෙරපා හරින ලෙසට දැඩි ලෙස ඉල්ලීම් යොමු වී තිබුණ ද, මාලදිවයින් මාධ්‍ය සඳහන් කළේ, එම නිලධාරීන් තිදෙනාගේ රාජකාරී තාවකාලිකව අත්හිටුවීම පමණක් සිදු කර ඇති බව ය. එය සිදු වූයේ පසුගිය ජනවාරි 07 වැනිදාය. මරියම් ෂිඋනා ඉන්දියාව ගොම ගොඩක් සමග ද සංසන්දනය කර තිබිණි. මෙය මාලේ දූපතේ ඉන්දීය විරෝධය වඩා හොඳින් පැහැදිලි වන අවස්ථාවකි. ඇත්තෙන්ම අගමැති මෝදි ලක්ෂද්වීප් වෙත ගියේ එය වඩා හොඳ ගමනාන්තයක් බව ඉන්දියානුවන්ට දැන්වීම සහාය. මාලේ නොව ලක්ෂද්වීප් තෝරා ගැනීම වෙනුවෙන් එම පණිවුඩය නිකුත් කර තිබිණි.

ඉන්දියාවේ ඇස් රතු කරමින් චීනයෙන් මාලදිවයිනට කඳුළු ගෑස්

2013 සිට 2018 දක්වා ජනාධිපති ධුරය දැරූ අබ්දුල්ලා යමීන් චීන හිතවාදියකු වූ අතර ඔහු බලයෙන් පන්නා දැමීමට මූලික වූයේ ඉන්දියාවයි. අබ්දුල්ලා යමීන් යටතේ මාලදිවයින චීනයට සමීප වූ අතර චීනය සහ සෙසු ලෝකය අතර මාර්ග, දුම්රිය සහ නාවික සම්බන්ධතා ගොඩනැගීම සඳහා ජනාධිපති ෂී ජින්පින්ග්ගේ ‘මහා තීරය සහ මාර්ග මුලපිරීම’ සමග සම්බන්ධ විය. මෙය ඉන්දියාව කෝපයට පත්කරන්නක් විය. වර්තමානයේ ඉන්දීය මාධ්‍ය චීන හිතවාදී මොහොමඩ් මුයිසු සමාන කරන්නේ ලංකාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාටය. බ්‍රාහ්මණයන් රාජපක්ෂ ආණ්ඩුවට කොහෙත්ම කැමති වූයේ නැත. දැන් මාලේ ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණ අරඹා තිබේ. හිටපු ජනපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි විසින් දියත් කළ “පළමුව ඉන්දියාව” ප්‍රතිපත්තිය එතරම් ජනප්‍රිය නොවීමට එක් හේතුවක් වූයේ ඉන්දියාව මාලදිවයින් රජය වෙත ලබා දුන් “තෑගි” වටා ගොඩ නැගුණු මහජන කෝපය යි. 2010 සහ 2013 වසරේදී ලැබුණු හෙලිකොප්ටර් දෙකක් සහ 2020 ලැබුණු කුඩා ගුවන් යානයක් එම තෑගි අතර විය. දිල්ලි ආණ්ඩුව පැවසුවේ, මෙම යානා සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සහ හදිසි අවස්ථාවලදී රෝගීන් ගෙන යෑම සඳහා භාවිත කිරීමට නියමිත බව ය. නමුත් 2021 වසරේදී මාලදිවයින් ආරක්ෂක බළකාය පැවසුවේ, ඉන්දීය ගුවන් යානා ක්‍රියා කරවීමේ සහ නඩත්තු කිරීමේ කටයුතු වෙනුවෙන් ඉන්දීය හමුදා නිලධාරීන් 75 දෙනකු පමණ රට තුළ සිටින බව ය. මෙය එරට වැසියන්ගේ බලවත් කෝපයට හේතු වූ අතර ඉන්දියාව පලයන් මැයෙන් සිය දේශපාලන ව්‍යාපාරය ගෙන ගිය ජනපති මොහොමඩ් මුයිසු දැන් ඉන්දීය හමුදා එරටින් පිටකර තිබේ. චීන-මාලදිවයින් ආරක්ෂක ගිවිසුම අත්සන් කිරීමෙන් දිනකට පසුව එනම් මාර්තු 6 වැනිදා ඉන්දියාව මාලදිවයිනට ආසන්නයේ මිනිකොයි දූපතේ ජටායු නම් නව නාවික කඳවුරක් ආරම්භ කරන ලදී. මෙම දිවයින ඉන්දියාවේ නිරිතදිග වෙරළට ඔබ්බෙන් පිහිටි ලක්ෂද්වීප් දූපත් සමූහයේ කොටසකි.

මාලදිවයින චීනයට සමීපවීමට එරෙහිව දිල්ලියේ අලුත්ම උපාය මේ ජටායු කඳවුරෙන් පැහැදිලි වේ. මෙම නාවික කඳවුර ආරම්භ කිරීමේ උත්සවයේදී ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් හරි කුමාර් කියා සිටියේ වර්තමාන භූ දේශපාලන වර්ධනයන් සැලකිල්ලට ගනිමින් ඉහළ අධීක්ෂණයක හදිසි අවශ්‍යතාවය හඳුනා ගැනීම ඉතා වැදගත් බවයි. එය චීනයට දුන් පණිවුඩයකි. එසේම මුරුසියේ එක් දූපතක ඉන්දියාවේ මූල්‍ය ආධාර සහිත ගුවන් පථයක් සහ ජැටියක් විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි. අප්‍රිකාවට ආසන්න බටහිර ඉන්දියන් සාගරයේ පිහිටි මෙම ස්ථානය ඉන්දියාවට මූලෝපායික වශයෙන් වැදගත් වේ. ඉන්දියානු සාගර කලාපයේ වඩා ප්‍රබල ආරක්ෂක හවුල්කරුවා ලෙස ඉන්දියාව මතුව ඇති බව කියමින් ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං පුරසාරම් දොඩන්නේ චීනයට පණිවුඩයක් දීම සඳහා ය. “ඉන්දියන් සාගර බලයට බවට අපි සහතික වී තිබෙනවා.” යනුවෙන් ඉන්දීය ඇමැතිවරයා සඳහන් කර තිබිණි. එහෙත් මේ සියල්ල සඳහා ඇමරිකාවේ සහය දිල්ලියට ලැබේ. ඉන්දියාව ඕමානයේ ඩුක්ම් වරායට සැපයුම් ප්‍රවේශයක් ද ලබාගෙන ඇත්තේ චීන ආධිපත්‍යට එරෙහිව තමන්ගේ බලය බේරාගැනීමට ය.

advertistmentadvertistment
advertistmentadvertistment