පසමිතුරන් සමග මිතුරු වූවාද ඊශ්‍රායලයේ අයන්ඩෝම් ? ඊශ්‍රායලයේ අයන්ඩෝමයට මොකද වුණේ ?

10580

● තාක්ෂණය ගැන මිනිසා

මිනිසාට වඩා විශ්වාසය තබා ඇති කාලයක එය එතරම් යහපත් විශ්වාසයක් නොවන බව ලොවට ඔප්පු කළ ප්‍රබල ම අවස්ථාවක් ලෙස හමාස්වරුන් ඊශ්‍රායලයට පහර දෙන විට බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබා නො දුන් අයන්ඩෝමය සාක්ෂි දරයි. දහසකට අධික පිරිසක් ඝාතනය වුණු මේ අවාසනාවන්ත සිදුවීමේදී ගුවනින් රටට අයෝමය රැකවරණයක් දුන් ලෝකයට පරකාසයක් වූ අයන් ඩෝමයට මොකද වුණේ? පෘථිවියේ වඩාත් ශක්තිමත් ගුවන් ආරක්ෂක පද්ධතිය ලෙස නම් දරා තිබුණේ අයන් ඩෝමය ය. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශයට අනුව මේ තාක්ෂණික යෝධ පද්ධතියට එක්වර ගුවනින් එල්ල වන තර්ජන කිහිපයක් ම සියයට අනූවක් සාර්ථක ලෙස මැඩලමින් ක්‍රියා කළ හැකි ය. එහෙත් හමාස් ත්‍රස්තවාදීන් විසින් සිය ගණනින් රොකට් වර්ෂාවන් එල්ල කරද්දී එරට වැසියන්ට සැනසිල්ලේ සිටීමට ඉඩක් නො ලැබිණි. පසුගිය දශකයේදී ජිහාඩ් සංවිධානය එල්ල කළ රොකට් ප්‍රහාරවලින් සියයට 95.6ක සාර්ථකත්වයක් ලබා දෙමින් අයන් ඩෝමය ක්‍රියාත්මක විය. එහෙත් ඕනෑම ආරක්ෂක පද්ධතියක දුර්වලකම් තිබීමට පුළුවන. ඒ සනාතන ධර්මය අයන් ඩෝමයටත් පොදු ය.

● වරද කොතැනද?

ඔස්ට්‍රේලියාවේ යුද්ධෝපාය විශ්ලේෂණය පිළිබඳ විශේෂඥයකු වූ මයිකල් ෂූබ්‍රිජ් පෙන්වා දෙන පරිදි අයන් ඩෝමයට රේඩාර් යොදා ගනිමින් රොකට් සහ මිසයිල හඳුනාගෙන සිය අන්තර් ප්‍රතිග්‍රාහක මගින් ඒවා විනාශ කිරීමේ හැකියාව ඇත. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශයට අනුව ඊශ්‍රායලය සන්තකව අයන් ඩෝම් බැටරි 10 ක් ඇති අතර එමගින් කිලෝමීටර් 4 සිට කිලෝමීටර් 70ක දුරින් පැමිණෙන රොකට්වලින් සහ මිසයිලවලින් රැකවරණයක් ලබා දෙයි. (බැටරි යනු රේඩාර් ඒකක ය. අප දන්නා සාමාන්‍ය බැටරි නො වෙයි.) එක් බැටරියකින් වර්ග කිලෝමීටර් 155ක වපසරියකට රැකවරණය ලබා දිය හැකි ය. නගර වටා සහ ජනාකීර්ණ පෙදෙස් ආශ්‍රිතව බැටරි) ස්ථානගතකර තිබෙයි. බැටරි ආශ්‍රිතව රඳවන (ලෝන්චර්ස් . launchers) 4 ක් තිබෙන අතර අන්තර් ප්‍රතිග්‍රාහක (විනාශ කිරීමට යවන මිසයිල) 20 ක් ඇත. එල්ලවන මිසයිල ප්‍රමාණයට අනුව අන්තර්ප්‍රතිග්‍රාහක ප්‍රමාණය ද තීරණය වෙයි. එල්ලවන මිසයිල දහසකින් ආරක්ෂා වීමට නම් අන්තර් ප්‍රතිග්‍රාහක මිසයිල ද දහසක් තිබිය යුතු ය. එක් බැටරියක මූල්‍ය වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 100 ක් පමණ වෙයි. එක් අන්තර් ප්‍රතිග්‍රාහකයක මිල අමෙරිකානු ඩොලර් මිලියන 50000 කට ආසන්න ගණනකි. රෆායල් උසස් ආරක්ෂණ පද්ධතිය වාර්තා කරන පරිදි බටරි දෙකක් දැනටමත් අමෙරිකානු හමුදාවට යවා ඇත. යුක්‍රේනය ද රුසියාවෙන් ආරක්ෂා වීමට බැටරියක් සොයමින් සිටියි.

● සිතන තරම් අයන් ඩෝම් යාන්ත්‍රණය දුර්වල වුණාද ?

පසමිතුරන් සමග මිතුරු වූවාද ඊශ්‍රායලයේ අයන්ඩෝම් ? ඊශ්‍රායලයේ අයන්ඩෝමයට මොකද වුණේ ?
අයන් ඩෝමය ක්‍රියා කරන අන්දම

ඔස්ට්‍රේලියාවේ යුද්ධෝපාය විශ්ලේෂණය පිළිබඳ විශේෂඥයකු වූ මැල්කම් ඩේවිස්ට අනුව හදිසියේ ම එල්ල වූ හමාස් ප්‍රහායේදී අයන් ඩෝමයට දුර්වලතා ඇති බව පෙන්නුම් කෙරිණි. හමුදා කණ්ඩායම් වාර්තා කරන පරිදි ඊශ්‍රායලයට මිනිත්තු 20 කදී රොකට් ප්‍රහාර 5000ක් පමණ එල්ල වී තිබෙයි. එරට ආරක්ෂක අමාත්‍යාංශයේ ඇස්තමේන්තුගත කිරීම්වලට අනුව රොකට් ප්‍රහාර 2200ක් පමණ එල්ලවී ඇති අතර අයන් ඩෝමය මගින් මෙල්ල කරන ලද ගණන වාර්තා වී නැත. එහෙත් රොකට් පන්දහසකින් දෙදහස් දෙසීයයක් වාර්තා වීමෙන් පෙනී යන්නේ අයන් ඩෝමය ක්‍රියාත්මක වී ඇති වගයි. ඊශ්‍රායලයේ දකුණු, මධ්‍යම පෙදෙස්වලටත් ටෙල් අවිව් සහ ජේරුසලමටත් රොකට් ප්‍රහාර එල්ල වූ බව වාර්තා වෙයි. ෂූ බ්‍රිජ්ට අනුව මහා පරිමාණයෙන් එල්ලවන ප්‍රහාරයකදී අධි තාක්ෂණික මෙවලම් පද්ධතියක් පවා විපිලිසර වෙයි. කෙසේවුවත් අයන් ඩෝමය පැහැදිලිවම හානිය අවම කර තිබෙන බව විනාශය විෂ්ලේෂණය කරන විට පැහැදිලිවන වන බව ඔහු ගේ අදහස ය.

● අයන් ඩෝමයේ උපත

ගුවනේදීම සතුරු ප්‍රහාරක යානා වනසන අයන් ඩෝමය නිර්මාණය වීමට පිඹුරුපත් සැකසුණේ නිමක් නොමැතිව ගුවනින් එල්ලවන සතුරු ප්‍රහාරවලට පිළිතුරක් ලෙසිනි. වසර 2006 දී දෙවැනි ලෙබනන් යුද්ධයේදී රොකට් ප්‍රහාර 4000ක් පමණ එල්ලකර තිබෙන අතර ඊශ්‍රායල වැසියන් 44 දෙනකු ඒ ප්‍රහාරවලින් ඝාතනය කෙරිණි. 250000ක් පමණ වූ ඊශ්‍රායල ජනතාවක් වෙනත් ස්ථානවල පදිංචි කිරීමට රජයට සිදුවිය. වසර 2000 සිට 2008 දක්වා ගාසා තීරයට එල්ල වූ රොකට් ප්‍රහාර හේතුවෙන් දකුණු දිග ඊශ්‍රායල වාසීන් ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල විය. එවකට ආරක්ෂක ඇමැතිව සිටි අමීර් පෙරට්ස් කෙටි දුර රොකට් ප්‍රහාරවලින් ගැළවීමට හොඳම උපාය අයන් ඩෝම් බව තීරණය කළ අතර රෆායල් උසස් ආරක්ෂණ පද්ධතිය ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය සමග එක්වී අයන් ඩෝම් නිර්මාණය කිරීමට මුල පිරිණි. ඩොලර් මිලියන 210 ක් මේ සඳහා වැයවූ අතර පසුව අමෙරිකානු ආධාර ද ඒ සඳහා ලැබී තිබෙයි. 2011 සිට 2021 දක්වා අමෙරිකාව අයන් ඩෝම් ආරක්ෂක පද්ධතිය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1.6ක් ද 2022 දී අමෙරිකානු ඩොලර් බිලියනයක් ද ලබා දී ඇත.

මුලදී ඇන්ටි ක්වාසම්, ටමිර් වැනි විවිධ නම් ගුවන් ආරක්ෂණ පද්ධතියට යෝජනා වුව ද අවසන එය අයන් ඩෝම් ලෙස නම් කෙරිණි. 2011 වසරේ සිට අයන් ඩෝමයේ සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතියි. එහෙත් මෙවර ප්‍රහාරයෙන් ලෝකවාසීන්ට එහි විශ්වසනීයත්වය පිළිබඳ කුහුලක් ඉපිද තිබෙයි.

චම්පිකා දීපානි රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment