රටේ දහදෙනෙක්ගෙන් හයදෙනෙක් බංකොලොත්!

265

ආර්ථික අර්බුදයත් සමග මෙරට ජනගහනයෙන් මිලියන 12.3ක ජනතාවක් අවදානම් ආර්ථික මට්මමේ

ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථික වශයෙන් සියයට 82ක් අවදානමට ලක් වෙලා

ආර්ථික වශයෙන් වැඩිම අවදානමට ලක්ව ඇති දිස්ත්‍රික්කය පුත්තලම අඩුවෙන් ලක්ව ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කය

ආර්ථික පීඩනය දරාගැනීමට නොහැකිව රට්ටුන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති. කොටින්ම කිවහොත් හාල් ඇටයේ සිට සෑම භාණ්ඩයකම මිල රෝකට්ටුවක වේගයෙන් වැඩිවී තිබේ. ජලබිල, විදුලිබිල හා දුරකථන බිල වැඩිවන්නේ විදුලි වේගයෙනි. ගෑස්, ඉන්ධන මිලද වැඩිවී ඇති අතර ජීවන වියදම ඉහළ යෑම හමුවේ රට්ටුන් ආර්ථික වශයෙන් දැඩි අවධානමකට ලක්ව සිටිති. ඇතැම් පවුල් තම බඩවියත සරිකර ගැනීම සඳහා දැඩි අරගලයක නිරතව සිටිති. තුන්වේල කෙසේ වෙතත් එක වේලකින් හෝ සප්පායම් වී දරුවන්ගේ අධ්‍යාපනයට මුල්තැන දීමට බොහෝ දෙනකු කටයුතු කරති. ඒ විතරක් නොව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාද විශාල වියදමක් දැරීමට රටවැසියන්ට සිදුවී ඇත. පාසල් උපකරණවල මිල දරාගැනීමට නොහැකි අයුරින් වැඩිවී තිබේ. උපකාරක පංතිවල ගාස්තු ද වැඩිවන්නේ විදුලි වේගයෙනි. ඖෂධ මිලද ජනතාවට දරාගැනීමට නොහැකි අයුරින් වැඩිවී තිබේ. ලැබෙන ආදායමට වඩා දහ පහළොස් ගුණයකින් වියදම වැඩිවී ඇති අතර සියලු කුණු බෙංගාල බොක්කට දමනවා වාගේ සියලු බර ජනතාව මත පටවා ඇඟ බේරාගැනීමට පාලකයන් කටයුතු කරති. ජනතාවට කිසිදු සහනයක් නැත. නාස්තිය, දූෂණය ඉහවහා ගියා රාජ්‍ය සංස්ථා හා රාජ්‍ය ආයතනවල පාඩුව පියවා ගැනීමට වන්දිගෙවීමට සිදුවී ඇත්තේ මෙරට බදු ගෙවන ජනතාවටය.

කොටින්ම කිවහොත් රටේ ඇතිවී තිබෙන ආර්ථික පීඩනය ජනතාවට දරාගැනීමට නොහැකිව ඔවුහු දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති. ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ ස්වාභාවික උපද්‍රවවලින් ද රට්ටුන් දැඩි පීඩාවට ලක්ව සිටිති. ආර්ථික අර්බුදයේ බලපෑම කෙතරම්ද යන්න පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වන්නේය.

ආර්ථික අර්බුදයත් සමග මෙරට ජනගහනයෙන් මිලියන 12.3ක ජනතාවක් අවදානම් ආර්ථික මට්මමේ පසුවන බැව් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2022-23 වර්ෂ සඳහා නිකුත් කරන ලද ජාතික පුරවැසි සමීක්ෂණය නම් වූ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වන්නේය. මෙම තොරතුරු අනාවරණය වන්නේ පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභා රැස්වීමේ දීය. මෙරට ජනගහනය මිලියන 22.16කි. මෙම වාර්තාවට අනුව මෙරට ජනගහනයෙන් සියයට 55.7ක් අවදානම් ආර්ථික මට්ටමේ පසුවෙති. මෙම වාර්තාවට අනුව මෙරට සෑම පුද්ගලයන් 10 දෙනකුගෙන් 6 දෙනෙක් ම ආර්ථික වශයෙන් අවදානමට ලක්ව සිටිති. ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථික වශයෙන් සියයට 82ක් අවදානමට ලක්ව ඇත. ආර්ථික වශයෙන් වැඩිම අවදානමට ලක්ව ඇති දිස්ත්‍රික්කය පුත්තලම් දිස්ත්‍රික්කය වන අතර එහි ප්‍රතිශතය සියයට 71.8කි. ආර්ථික අවදානමට අඩුවෙන් ලක්ව ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කය වන අතර ප්‍රතිශතයක් වශයෙන් ගත් කළ එය සියයට 41.5කි.

පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය, අයවැය හිඟය, ගෙවුම් ශේෂ අර්බුද, මෙරට දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන වේගය සෘණ 7.8 දක්වා අඩුවීම මෙම තත්ත්වය වර්ධනය වීම සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබේ. අධ්‍යාපනය, සෞඛ්‍ය හා ස්වාභාවික විපත්, ජීවන මට්ටම යන අංශ තුන යටතේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් මෙකී අවදානම් තත්ත්වය පෙන්වා දී තිබුණි. දැනට මෙරට පුද්ගලයන් 10 දෙනකුගෙන් 06 දෙනකු ආර්ථික වශයෙන් අවදානම් කාලපයේ සිටියද තවත් වසරක් යනවිට මෙය පුද්ගලයන් 10 දෙනකුගෙන් 08 දෙනකු දක්වා වර්ධනය වියහැකි බව පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලි චම්පික රණවක මහතා පවසන්නේය. ඔහු පවසන්නේ ආර්ථික වශයෙන් අවදානම් තත්ත්වයේ පසුවන ජනතාව උදෙසා විධිමත්, ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් සකස් කළයුතු බවය. මෙකී වාර්තාව මගින් පාසල් දරු දැරියන්ගේ පාසල් පැමිණීම, සෞඛ්‍යය, ජලය, ආහාර, විපත්වලට මුහුණ දීම හා ඒ සඳහා, අනුගත වීමේ හැකියාව, ජීවන තත්ත්වය, දේපළ, විරැකියාව, සරිලන රැකියාවක් නොමැති වීම, ණයගැති භාවය ඇතුළු කරුණු 12 ක් සලකා බලා තිබුණි.

රජය මගින් ආර්ථික වශයෙන් දැඩි අවදානමට ලක්ව ඇති පවුල් සඳහා සමෘද්ධි වැඩසටහනට අමතරව අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කොට තිබේ. අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සඳහා ප්‍රතිලාභීන් තෝරාගනු ලැබුවේ 2002 අංක 24 දරන සුබසාධන ප්‍රතිලාභ පනතට අනුවය. සුභසාධන මණ්ඩලය මගින් මෙම සමීක්ෂණය සිදුකරනු ලැබීය. මේ සඳහා ලැබී තිබූ අයැදුම්පත් සංඛ්‍යාව මිලියන 3.7කි. දත්ත ලබාගැනීම පවුල් මිලියන 3.5කින් සිදුකරනු ලැබීය. අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස තෝරාගත් පවුල් සංඛ්‍යාව මිලයන 1.79කි. කෙසේ වුවද අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනද අවුල් ජාලයක් බවට පත්ව තිබුණි.

මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස තෝරාගත් ලක්ෂ 17 ක පිරිසකගෙන් ලක්ෂ 11 ක පමණ පිරිසකට ප්‍රතිලාභ ගෙවීම් සිදු කර තිබේ. බැංකු ගිණුම් විවෘත කිරීම ප්‍රමාදවීම, අභියාචනා සහ විරෝධතා, එකම ජාතික හැඳුනුම්පත් අංකය දෙවරක් හෝ කිහිපවරක් ඇතුළත් වීම, බැංකු ගිණුම් අංක සහ ජා.හැ. අංක නොගැලපීම, එකම ගිණුම් අංකය විවිධ පුද්ගලයන් විසින් ලබා දීම වැනි දහසකුත් වූ කරුණු කාරණා නිසා ලක්ෂ 05ක් වූ ඉතිරි පිරිසට ප්‍රතිලාභ ලබාදීම ප්‍රමාද වී තිබුණි. කෙසේ වුවද මෙකී අඩුපාඩු සකස්කරගෙන මෙම මස 31 වැනිදින වනවිට ලක්ෂ 05ක් වූ අනිකුත් ප්‍රතිලාභීන් සඳහා ප්‍රතිලාභ ගෙවීම් සිදුකළ හැකි බව රජය සඳහන් කරන්නේය.

ඒ විතරක් නොව මෙරට දිළිඳු බව තුරන් කිරීම සඳහා බලයට පත්වූ රජයන් විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය. හිටපු ජනාධිපතිවරයකු වූ ආර්. ප්‍රේමදාස මහතා දිළිඳුකම මෙරටින් තුරන් කිරීම සඳහා ජනසවිය වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. 94 දී බලයට පත්වූ චන්ද්‍රිකා රජය විසින් දිළිඳුකම පිටුදැකීම සඳහා සමෘද්ධි වැඩසටහන හඳුන්වාදෙනු ලැබීය. මේ වනවිට මෙරට සමෘද්ධි ව්‍යාපාරය ආරම්භකොට වසර 29ක් ගතවී ඇත්තේය. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ දැක්ම හා මෙහෙවර වන්නේ, වසර 2030 වනවිට දුගී බවෙන් තොර, සවිබල ගැන්වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහිකිරීමට කටයුතු කරන පුරෝගාමී ආයතනයක් බවට පත්වීමයි., ඒ විතරක් නොව සමෘද්ධි දෙපාර්තමේන්තුවට පැවරී ඇති ප්‍රධානතම කාර්ය වන්නේ සමෘද්ධිලාභී දිළිඳු පවුල් ලක්ෂ 17ට සමෘද්ධි සුභසාධනය සලසමින් ඔවුන් ආර්ථික වශයෙන් සවිබලගැන්වීමය. මෙරට දිළිඳුකම මුලින් උපුටා දැමීම සඳහා එම පවුල් සවිබලගැන්වීම, ඔවුන්ගේ ජීවනෝපය සංවර්ධන කටයුතු සඳහා ප්‍රජාමූල බැංකු 1089ක් දිවයින පුරා ස්ථාපිත කොට ඇත. ඒ විතරක් නොව සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ සමාජ හා ආර්ථික සංවර්ධනය උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් මෙකී දෙපාර්තමේන්තුවේ තවත් අරමුණකි. සමෘද්ධි පවුල් සවිබලගැන්වීම, සමාජ ආරක්ෂණ හා සමාජ සුභසාධන, ජීවනෝපාය සංවර්ධන, ආදි විවිධ සමෘද්ධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ සිටින සමස්ත සේවක සංඛ්‍යාව 25,481කි.

ඒ කොයිහැටි වුවද රජය විසින් ඉකුත් වසර හතර තුළ (2019-2022) සමෘද්ධි ලාභීන් සවිබල ගැන්වීම සඳහා විවිධ සමෘද්ධි සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලයන 1260ක් වැයකර තිබේ. එහෙත් 95 වර්ෂයේදී හඳුනාගත් සමෘද්ධිලාභීන් 312,307 දෙනකු 2023 වර්ෂය වනවිටද සවිබල ගැන්වීමකින් තොරව තවදුරටත් සහනාධාර ලබමින් පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වන්නේය..

මෙම සමෘද්ධිලාභීන් හඳුනාගෙන වසර 29ක් ගතවී ඇතත් සවිබලගැන්වීමකින් තොරව තවදුරටත් සහනාධාර ලබමින් පවතින බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2020,2021,2022 යන වර්ෂවල පිළිවෙළින් 1958ක්, 18629ක්, හා 21,189 දෙනකු වාර්ෂිකව සවිබල ගැන්වූ සමෘද්ධි සහනාධාර ලාභීන් ලෙස හඳුනාගෙන තිබුණි. කෙසේ වුවද සමෘද්ධි ලාභීන් සවිබලගැන්වීම සඳහා රජය විසින් සිදුකරනු ලබන ව්‍යාපෘතිවලට සාපේක්ෂව ඉකුත් වර්ෂ තුන සවිබලගැන්වීම අවම මට්ටමක පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. නිශ්චිත ඉලක්කයකට අනුව සවිබලගැන්වීම සිදුකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

මේ පිළිබඳ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු මගින් විගණනයට සඳහන් කොට ඇත්තේ සමෘද්ධි සහනාධාර ලබන පිරිස අතර වැඩිහිටි, ආබාධිත, නිදන්ගත රෝග, ආදියෙන් පෙළෙන සවිබල ගැන්විය නොහැකි පවුල් විශාල සංඛ්‍යාවක් සිටින බවය රටේ පැවති කොවිඩ් වසංගතය ආර්ථික අර්බුදය හමුවේ සවිබලගැන්වීමේ කටයුතු මන්දාගාමීව සිදුවුවද 2022 වර්ෂයේ සිට සවිබලගැන්වීමේ කටයුතු වැඩිවී ඇති බවය. 2023 වර්ෂයේ සිට එක් වසරකට එක් ග්‍රාම නිලධාරීන් වසමකින් අඩු ආදායම්ලාභීන් එක් අයකු බැගින් සවිබලගැන්වීමට කටයුතුකර ඇති බවද ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත.

කෙසේ වුවද ඇතැම් සමෘද්ධිලාභීන් සමෘද්ධි ව්‍යාපාරය හරහා ක්‍රියාත්මක වන වැඩසටහන් තුළින් සිය ආදායම් තත්ත්වය වැඩිකරගෙන ඇත. එහෙත් එම ප්‍රතිලාභීන් ලැබෙන සමාද්ධි සහනාධාරය ඇතුළු ප්‍රතිලාභ අත්හැරීමට සූදානම් නැත. සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙක් බහුතරයක් යැපුම් මානසිකත්වයෙන් පසුවන අතර ඔවුන් කුමන හෝ උප්පරවැට්ටියක් දමා උත්සාහ කරන්නේ සමෘද්ධි සහනාධාරය රැක ගැනීමටය. වැරදිලාවත් සමෘද්ධි සහනාධාරපත ඉවත් කිරීමට කටයුතු කළහොත් දේශපාලනඥයන්ද තම බලය වෙනුවෙන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිති. ඒ ඒ කාලවලදී බලයට පත්වූ රජයන් විසින් සමෘද්ධි ව්‍යාපාරය හා දිළිඳුකම පිටුදැකීම සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන් දේශපාලනීකරණය කොට ඇත. මේ නිසා සමෘද්ධි ලාභීන් සවිබලගැන්වීම එතරම් ලේසිපහසුකාරියක් නොවනු ඇත.

එමෙන්ම මෙකී ආර්ථික අර්බුදය හමුවේ මෙරට සෞඛ්‍ය අංශයට එල්ලවී ඇති බලපෑම ද සුළු පටුනොවේ. රෝගී ජනතාවට අවශ්‍ය රෝගී සත්කාරක සේවවන් නියමිත පරිදි පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත මෙකී අර්බුදය හමුවේ. රෝගී ජනතාව විවිධ වූ ගැටලු හා දුෂ්කරතාවයන්ට ලක්ව සිටිති. මෙකී ආර්ථික අර්බුදය ඖෂධ, ශල්‍ය උපකරණ භෞතික හා මානව සම්පත්වල හිඟකම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතළ කඩාවැටීමට ලක්වෙමින් ඇත්තේය.

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වන්නේ මෙරට ළමා ජනගහනයට අනුව එක් ළමා රෝග ඇඳකට ළමුන් 724 දෙනකු සිටින බවය. වයස අවුරුදු 15ට අඩු ළමුන් සංඛ්‍යාව 8,466,465කි. මේ වනවිට ඇති ළමා ඇඳන් සංඛ්‍යාව 11,693කි. ළමා වාට්ටුවලට ඇතුලත්කොට ඇත්තේ අවුරුදු 12ට අඩු ළමුන් බැවින් ඒ අනුව එක් ළමා ඇඳකට ළමුන් 724 දෙනකු සිටින බව විගණනය මගින් අනාවරණය කොට ඇත. දිස්ත්‍රික්ක අතර ළමා ජනගහන ව්‍යාප්තියට සමගාමීව ළමා ඇඳන් බේදා හැරීම සිදුකළ යුතුය. එහෙත් රත්නපුර, කෑගල්ල, ත්‍රිකුණාමලය, කුරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව, වවුනියාව, මාතලේ, යන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලවලට අයත් රෝහල් සඳහා ළමා රෝග ඇඳන් ප්‍රමාණවත් නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ගම්පහ, කළුතර, නුවරඑළිය සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලවලට අයත් රෝහල්වල ළමා ඇඳන් ප්‍රමාණවත් නොවීම බරපතළ ගැටලුකාරී තත්ත්වයක් බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ විතරක් නොව මෙරට ප්‍රසව හා නාරිවේද එක් ඇඳකට සිටින කාන්තාවන් සංඛ්‍යාව 984කි. එම විගණන වාර්තාවට අනුව මෙරට ඇති මුළු ප්‍රසව හා නාරිවේද ඇඳන් සංඛ්‍යාව 14,572කි. වයස අවුරුදු 15ට වැඩි මුළු කාන්තාවන් සංඛ්‍යාව 14,342,549කි. ඒ අනුව මෙරට ප්‍රසව හා නාරිවේද ඇඳකට සිටින කාන්තාවන් සංඛ්‍යාව 984ක් බව විගණනය මගින් අනාවරණය කොට ඇත. ප්‍රසව හා නාරි ඇඳන් බේදාහැරීම දිස්ත්‍රික්ක අතර ව්‍යාප්ත කාන්තා ජනගහනයට සමාන්තරව සිදුවී නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ප්‍රසව හා නාරිවේද ඇඳන් සංඛ්‍යාව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල 11ක් සඳහා ප්‍රමාණවත් වී නොතිබුණි. ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල ප්‍රමාණවත් තරම් ප්‍රසව හා නාරිවේද ඇඳන් නොමැතිවීම බරපතළ ගැටලුකාරී තත්ත්වයක් බවද විගණන වාර්තාවේ තවදුරටත් සඳහන් වේ..

එමෙන්ම වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ මරණ සංඛ්‍යාව සජීවී දරු උපත් දහසකට 12.3 ක් වැනි අගයක් දක්වා අහිතකර ලෙස වර්ධනය වී තිබුණි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිරසර දර්ශකයට අනුව වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ මරණ සංඛ්‍යාව 2030 වර්ෂය වනවිට සජීවී දරු උපත් දහසකට 07ක් වැනි අගයකට පවත්වා ගැනීමට ඉලක්කකොට තිබුණි. 2021 වර්ෂයේ දෙසැම්බර් 31 දින වනවිට 10.5ක් පැවති එම අගය 2022 වර්ෂයේ දෙසැම්බර් 31 දින වනවිට 12.3 වැනි අගයක් දක්වා අහිතකර ලෙස වර්ධනය වී තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම මාතෘ මරණ අනුපාතයද සජීවී උපත් ලක්ෂයකට 29.5ක් වැනි අගයක් දක්වා ද, නවජ මරණ අනුපාතය සජීවී උපත් දහසකට 6.8ක් දක්වා ද අහිතකර ලෙස වර්ධනය වෙමින් තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ආර්ථික අර්බුදය නිසා රට බංකොළොත් වී ඇත. මෙරට පාලකයින් විසින් ගනු ලැබූ වැරදි තීන්දු තීරණ නිසා රට බංකොළොත්භාවයට පත්ව තිබූ අතර අවසානයේ ඒ සඳහා වන්දිගෙවීමට සිදුවී ඇත්තේ රට්ටුන්ටය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment