රට පැන්න පාතාලයෝ 50ක් ශ්‍රී ලංකාව නටවති

468

දැල එළන්න මෙලෝ කල්පනාවක් නෑ

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට පාතාලය මෙහෙයවන පාතාල නායකයන් 50කට ආසන්න පිරිස අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු නොකරන තාක්කල් මෙරට පාතාල අපරාධ මර්දනය කිරීම කළ නොහැකි බව පොලිස් ප්‍රධානීහු පවසති.

මෙරට පාතලයේ නම් දරා සිටින දරුණු ගණයේ අපරාධකාරයන් 50කට ආසන්න පිරිසක් ඩුබායි රාජ්‍යයේ ආරක්‍ෂිතව වාසය කරමින් මෙරට පාතාලය සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවමින් සිටිති.

මෙම පාතාල නායකයන් මෙරටට ගෙන්වීමට රාජතාන්ත්‍රික මට්ටමින් කටයුතු කළ යුතු වුවත් මේ වනතුරුත් එවැනි කිසිදු ක්‍රමවේදයක් පිළිබඳව සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බවද උසස් පොලිස් නිලධාරීහු කියා සිටිති.

එමෙන්ම බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍රකර ගනිමින් ශීඝ්‍රයෙන් ඉහළ යන පාතාල අපරාධ මර්දනය කිරීම සඳහා නිසි සැලසුමකට අනුව බුද්ධි ඒකක පිහිටුවා පාතාල මර්දනය විශේෂ ඒකක යොදාගෙන දිගින් දිගට ම මෙහෙයුම් ක්‍රියාත්මක කළ යුතු බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කියා සිටියේය.

බුද්ධි අංශ ආරංචි මාර්ග පවසන අන්දමට මේ වනවිට මෙරට පාතාලයේ ප්‍රබලතම නායකයන් ලෙස හඳුන්වන කොස්ගොඩ සුජී, මන්නා රමේෂ්, කරන්දෙණියේ සුද්දා, කරන්දෙණියේ රාජු, හීනටියන මහේෂ්, ඇතුළු දරුණු පාතාල අපරාධකාරයෝ 50කට ආසන්න පිරිසක් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිති.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment