කන්න නැති රටක බැංකු කඩන්න පිටරටිනුත් ඇවිත් සුද්දන් දෙදෙනකු කෝටි ගණනක රන් භාණ්ඩ උස්සලා

877

අපේ රට මේ වනවිට බංකොලොත් රාජ්‍යයක් බවට පත්ව තිබේ. රට්ටුන්ට තුන්වේල කෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. ඒ කොයිහැටි වුවද මෙරට සුන්දරත්වයට වහ වැටුණු විදේශිකයන් එහි සුන්දරත්වය විඳ දරාගැනීම සඳහා මෙරටට පැමිණෙති. මෙරටට පැමිණෙන ඇතැම් විදේශිකයින් හිඟන සුද්දන්ය. ඇතැමුන් ගේම්කාරයන්ය. වෙනදා අපේ ඇතැමුන් විවිධ උප්පරවැටිටි යොදා ගනිමින් සුද්දන් ඇන්දවීමට කටයුතු කරනු ලැබීය. එහෙත් බංකොලොත් වී ඇති අපේ රටට පැමිණි ඇතැම් විදේශිකයන් අපේ ඇත්තන් ඇන්දවීමට කටයුතු කරති. ඇතමුන් වංචනික ලෙස මෙරට ව්‍යාපාර කටයුතුවල නිරතව සිටිති. ඇතැමුන් ඉතා සූක්ෂම ලෙස බැංකුවල ඒ. ටී. එම්. යන්ත්‍ර කඩා කෝටි ගණන් මුදල් වංචා කරති.

අප මේ කියන්නට යන්නේ බංකොලොත් රටට පැමිණි හිඟන සුද්දන් දෙදෙනකු විසින් සිදුකරනු ලැබූ රුපියල් කෝටියකට අධික මුදල් වංචා කිරීමේ සිද්ධියක් ගැනය. මෙකී විදේශිකයන් දෙදෙනා පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ හික්කඩුව, කරාපිටිය සහ බද්දේගම නගරවල පිහිටි රාජ්‍ය බැංකුවකට අයත් ඒ.ටී.එම් යන්ත්‍රවල තිබූ රුපියල් කෝටියකට අධික මුදලක් ඉතා සූක්ෂම ලෙස වංචා කරනු ලැබීය. මීට මාස කිහිපයකට පමණ ඉහතදීත් ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළෙඳ සලකට රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් පැමිණි විදේශිකයන් දෙදෙනකු කෝටි ගණනක රන් භාණ්ඩ වංචනික ලෙස රැගෙන ගොස් තිබුණි.

ඒ විතරක් නොව මීට සතියකට පමණ පෙර නාරාහේන්පිට රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයට හානිකර මුදල් ලබා ගැනීමට උත්සාහ කළ විදේශිකයන් දෙදෙනකු ගැනද අනාවරණය විය. ව්‍යාජ බැංකු කාඩ්පත් යොදාගෙන ඒ.ටී.එම් යන්ත්‍රවලින් මුදල් වංචා කරනු ලැබූ නයිජීරියානුවන් පිළිබඳවද මීට පෙර වාර්තා වී තිබුණි. වර්තමානය වන විට මෙරටට පැමිණෙන ඇතැම් හිඟන සුද්දන් විසින් සිදුකරනු ලබන වංචාවන් ඉහළයෑමේ තත්ත්වයක් ද දක්නට ඇත. ඇතැම් සුද්දන් මෙම වංචාවන් සිදුකරනු ලබන්නේ මෙරටින් පිටව යන දිනයේ දි හෝ ඊට පෙර දිනය. එම නිසා මෙකී වංචාවන්ට සම්බන්ධ විදේශිකයන් කොටුකර ගැනීමට පවා පොලිසියට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

දිනය ඉකුත් 30 වැනිදාය. එදින විදේශිකයන් දෙදෙනකු හික්කඩුව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට අයත් ඒ.ටී.එම් කුටිය වෙත පැමිණියහ. ඔවුන් කළු පැහැති කාර් රථයකින් පැමිණ සිටි අතර ඒ.ටී.එම්. කුටිය වෙත ඇතුළුවීමත් සමග එහි තිබු සී.සී.ටී.වී. කැමරා ආවරණය කිරීමට කටයුතු කරනු ලැබීය. ඒ වනවිට වෙලාව අළුයම 1.30ට පමණ වන්නට ඇත. ඒ.ටී.එම්. යන්ත්‍රය තිබූ කුටිය වෙත ඇතුළු වූ විදේශිකයන් දෙදෙනා යන්ත්‍රයේ තිබූ රුපියල් හතළිස් හයලක්ෂ අසූදහසක මුදලක් වංචනික ලෙස ලබා ගැනීමට කටයුතු කරනු ලැබීය. විදේශිකයන් දෙදෙනා ඒ.ටී.එම්. යන්ත්‍රයට හානි නොවන අයුරින් ඉතා සූක්ෂම ලෙස ව්‍යාජ රහස් අංකයක් භාවිත කොට යන්ත්‍රය විවර කරගෙන මෙකී මුදල ලබාගෙන තිබුණි.

ඉන්පසු මෙකී විදේශිකයන් දෙදෙනා කාර් රථයට ගොඩ වී ගාල්ල දෙසට කාර් රථය ධාවනය කරන්නට විය. සී.සී.ටී.වී. කැමරාවල ඒ බව සටහන් වී තිබේ. මෙකී විදේශිකයන් දෙදෙනා අළුයම 3.22ට පමණ කරාපිටිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවට අයත් ඒ.ටී.එම්. කුටිය වෙත ඇතුළත් වූහ. ඔවුන් කුටියේ තිබු සී.සී.ටී.වී. කැමරා වසා දැමීමට කටයුතු කරනු ලැබීය. විදේශිකයන් දෙදෙනා හික්කඩුවේදී කළ අයුරින්ම මෙකී ඒ.ටී.එම්. යන්ත්‍රය විවර කිරීමට කටයුතු කරනු ලැබීය. ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් ව්‍යාජ ලෙස රුපියල් දෙලක්ෂ හැත්තෑපන්දහසක මුදලක් ලබාගනු ලැබීය. මේ අතරතුරේ බැංකුවේ ආරක්ෂක නිලධාරියා ඒ.ටී.එම්. යන්ත්‍රය අසලට පැමිණියේය. මින් කලබලයට පත් විදේශිකයන් දෙදෙනා ඉංග්‍රීසි බසින් කථාකොට ඒ.ටී.එම්. යන්ත්‍රය තිබූ කුටියෙන් පිටව යනු ලැබීය. මඳ වෙලාවකට පසු ඔවුන් දෙදෙනා යළි ඒ.ටී.එම්. යන්ත්‍රය පිහිටි කුටිය වෙත පැමිණියහ. අමතක වූ දෙයක් ලබාගෙන යන අයුරින් මොවුන් දෙදෙනා ඉන් පිටව යනු ලැබීය. ඒ වනවිට බැංකුවේ ආරක්ෂක නිලධාරියට මෙකී විදේශිකයන් දෙදෙනා ගැන යම් සැකයක් ද ඇති වී තිබුණි. ඔහු ඒ.ටී.එම්. යන්ත්‍රය පිහිටි කුටිය වෙත පැමිණ අවට විපරම් කරනු ලැබීය. ආරක්ෂක කුටියේ තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය කළු පැහැති කවර යොදා ආවරණය කර තිබුණු ආරක්ෂක නිලධාරියා දුටුවේය. ඔහු කාර් රථයේ අංකය සටහන් කරගෙන තිබුණද ඒ පිළිබඳ පොලිසිය විසින් කරනු ලැබූ විමර්ශනයේ දි එය වැරදි අංකයක් බවට අනාවරණය විය. ආරක්ෂක නිලධාරියා පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ කාර් රථය තුළ විදේශිකයන් දෙදෙනාට අමතරව රියැදුරු හා තවත් අයෙකු එහි සිටි බවය.

ආරක්ෂක නිලධාරියාගේ පැමිණීම නිසා විදේශිකයන් දෙදෙනාට ඒ.ටී.එම්. යන්ත්‍රයේ තිබූ මුළු මුදලම ලබා ගැනීමට නොහැකි විය. එහි කෝටියකට අධික මුදලක් තිබු බව පොලිසිය විසින් කරනු ලැබූ විමර්ශනවලදි අනාවරණය වී තිබුණි. ඔවුන්ට ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් ලබා ගැනීමට හැකිවූයේ රුපියල් 2,75000ක මුදලකි. ඉන්පසු මෙකී විදේශිකයන් දෙදෙනා කාර් රථයෙන් බද්දේගම නගරය වෙත පැමිණියහ. ඒ වනවිට වෙලාව අළුයම 4.00 ට පමණ වන්නට ඇත. බද්දේගම නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවට අයත් ඒ.ටී.එම්. යන්ත්‍රය තිබූ කුටිය වෙත ඇතුළු වූ විදේශිකයන් දෙදෙනා යන්ත්‍රයේ තිබූ රුපියල් ලක්ෂ 57ක මුදලක් ඉතා සූක්ෂම ලෙස ලබාගනු ලැබීය.

ඒ.ටී.එම්. යන්ත්‍රවලට කිසිදු හානියක් සිදුනොකොට එම යන්ත්‍රවල තිබූ රුපියල් එක්කෝටි හයලක්ෂ පනස්පන් දහසක මුදලක් විදේශිකයන් දෙදෙනා විසින් ලබාගෙන තිබුණි. මොවුන් මුලින්ම ඒ.ටී.එම්. යන්ත්‍රයේ ප්ලාස්ටික් අගුල ඉතා සූක්ෂම ලෙස විවර කිරීමට කටයුතු කරනු ලැබීය. ඉන්පසු යන්ත්‍රයේ කී බෝඩ් එක පිටතට පැමිණි පසු විදේශිකයන් දෙදෙනා විසින් පරිගණකයක් මගින් ව්‍යාජ රහස් අංකයක් යොදාගෙන යන්ත්‍රය හැක් කිරීමට කටයුතු කරනු ලැබීය. ඒ.ටී.එම්. යන්ත්‍රය හැක් කිරීමත් සමග එය ක්‍රියාකරනු ලබන්නේ විදේශිකයින් විසින් ලබාදෙන විධාන වලට අනුව වන අතර මොවුන් මේ අයුරින් මෙම මුදල් වංචාකොට ඇති බව පොලිසිය විසින් සිදුකරනු ලැබූ විමර්ශනවලදි අනාවරණය වී ඇත. ඒ.ටී.එම්. යන්ත්‍රවලින් වංචනික ලෙස මුදල් ලබාගත් විදේශිකයන් දෙදෙනා රුසියානුවන් දෙදෙනකු බවට පොලිසිය සැකකරයි. ඔවුන් වයස අවුරුදු තිස් ගණන්වල පසුවන තරුණයන් දෙදෙනකු බවට පොලිසිය විසින් සිදුකරනු ලැබූ විමර්ශනවලදි අනාවරණය වී ඇත.

මෙකී වංචාවට සම්බන්ධ විදේශිකයන් දෙදෙනාගේ ඡායාරූපද පොලිසිය සතුව පවතින අතර මෙකී මුදල් වංචාව පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ද විමර්ශනයක් ආරම්භ කොට ඇත. එමෙන්ම මේ පිළිබඳ පරිගණක අපරාධ විමර්ශන අංශය හා අපරාධ විමර්ශන අංශය එක්ව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇත. මීට අමතරව විදේශිකයන් දෙදෙනා කොටුකර ගැනීම සඳහා ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් හා හික්කඩුව, බද්දේගම, යන පොලිසි මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment