නඩු දානකොට රක්ෂණේ ඉඩම් බෙදනකොට දේවාලේ ඉඩම්… මේක හතර බීරි කතාවක්

හල්දුම්මුල්ල . සොරගුණේ කුඩා කතරගම දේවාලයට අයත් යැයි කියන නින්දගමක ඉඩම් අවභාවිතය පිළිබඳ අලකලංචිය ගැන මීට පෙර දවසක කතා කළෙමු. අපි ඊට එදා කිව්වේ “සොරගුණේ සොර ගුහාවක්” කියාය. ඊට හේතුව සොරගුණේ කුඩා කතරගම දේවාලයේ නින්දගමක් යැයි කියමින් වනාන්තර ඉඩම් අක්කර 6500 ක් නැවත නැවත…. නැවත නැවත… නැවත නැවත…. දේශපාලන හිතවතුන්ට හා ව්‍යාපාරිකයන්ට බෙදා දීම ගැනය. එම බෙදාදීම බදු දීමක්ද, සින්නක්කර අයිතියට දීමක්ද යන්න ගැන අප කියන්නට යන්නේ නැති නමුත්, මේ යට මහා ජාවාරමක් ක්‍රියාත්මක වන බව අපි කීවෙමු. ඒ මෙම නින්දගමට මුවාවී ඉඩම්වල වැට මායිම් තවදුරටත් පුළුල් කර අන්තිමට විකුණා හෝ බදුදී ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අධි සංවේදී ඉඩම් වන නිසාය. එය එසේ නොවන්නේනම් එසේ නොවේ යැයි සාක්ෂි සහිතව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරිය විසින්ද, හල්දුම්මුල්ල අඩවිය භාර අඩවි වන නිලධාරිවරයා විසින් හා වැඩිමනත් වන සංරක්ෂණ දෙපාර්තමේතුව නිල කරුණු දැක්වීමක් කළ යුතු බව අපි කියන්නෙමු. එම නිසා “සොරගුණේ කුඩා කතරගම දේවාලයේ නින්දගම රටටම හෙණයක් මෙන්ම පිළිලයක් බව අපි එදා පෙන්වා දුන්නෙමු.

එහෙත් අද අප කතාකරන්නේ සොරගුණේ සොරගුහාව ගැන නොව, ඊටත් වඩා ලොකු සොරගුහාවක් ගැනය. හෙවත් අද අපට කතාකරන්නට සිදුව ඇත්තේ, සොරගුණේ දේවාලයේ නින්දගම් ඉඩම් අර්බුදයේ “බඩිය” ගැන නොව, එම අර්බුදයේම “මෙගා” එක ගැනය. මේ කතාකරන “මෙගා” ඉඩම් මගඩිය වාර්තාවන්නේ මහා කතරගම දේවාලයේ නින්දගමක් යැයි කියන තණමල්විල කිවුල්ආරෙනි.

“මහත්තයෝ නඩු දානකොට මේවා ෆොරස්ට් එකෙයි, වනජීවී එකෙයි ඉඩම්. බෙදනකොට මේවා කතරගම දේවාලයේ ඉඩම්…. ප්‍රාදේශීය ලේකම්ට කිව්වත් වැඩක් නෑ. නිලධාරීන් ඔක්කොම නීතිය නමනවා තදේටම… මොකක්ද මහත්තයෝ මේකේ තියෙන සාධාරණය. දැන් කොළඹ සල්ලිකාරයන්ට වනාන්තර ඉඩම් ටික බෙදනවා. බෙදනවා විතරක් නෙමෙයි මේ දැනුත් අක්කර සිය ගාණක් ඩෝසර් කරනවා. හරියටම අලිමංකඩේ ඉඩම් මේ ඩෝසර් කරන්නේ. අලි ඔක්කොම ගම්වදිනවා.

අපි රජයේ ඉඩම් අල්ලගත්තා කියල අපේ කීපදෙනකුට දැන් නඩු දාලා. සමහරුන්ට රුපියල් 69,500 ගානේ උසාවියෙන් දඩත් ගැහුවා. මෙන්න ඊට පස්සෙ නෙළුව.මීගස්වැව කිලෝ මීටර් 10 ක අලි වැට වනජීවී එකෙන් ගලවාගෙන ගියා. කණු පේන්ට් කරලා ගෙනල්ල හයිකරනවා කියල. දැන් ඒ වැට මායිමෙන් ඇතුලෙ තිබ්බ වනාන්තර අක්කර සිය ගණන් ඩෝසර් කරනවා. පාරම්පරික හේන්වලින් අපි අයින් කළා. හරක්ට ඉල්ලුව තණ පිට්ටනිත් නෑ. වනජීවී එක කොහොමද විදුලි වැට ගලවලා ඉඩම් ඩෝසර් කරන්න දෙන්නේ. මේක උන්ටම ගිය රට මහත්තයෝ…..”

මේ තණමල්විල, කිවුල්ආර, කිතුල්කොටේ, බෝදාගම පාරම්පරික හේන් ගොවීන්ගේ සහ කිරි ගොවීන්ගේ අඳෝනාවයි.

මෙම ගොවීන්ගේ දුක්ගැනවිල්ල පිළිබඳව වැඩිදුර සොයා බලන්නට පසුගියදා අපි තණමල්විල, කිවුල්ආර, කිතුල්කොටේ, බෝදාගම යන ප්‍රදේශවල සංචාරයක නිරත වූයෙමු. එම සංචාරය සංවිධානය කරන ලද්දේ “පරිසර යුක්ති කේන්ද්‍රය . ක්‍ැබඑරු ත්‍දර ෑබඩසරදබපැබඑ න්‍මිඑසි” විසිනි. මෙම සංචාරයේදී අප මාධ්‍ය කණ්ඩායම ගොවීන් විසින් කිවුල්ආර ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට පළමුව එක්විය. එහිදී කිරි ගොවි සහ හේන් ගොවි නියෝජිතවරු මෙන්ම ප්‍රජා සංවිධාන නියෝජිතයෝද මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළහ.

මෙහිදී උද්ගතව ඇති මීගස්වැව අලි රක්ෂිතයේ ඉඩම් අර්බුදය ගැන පළමුව කරුණු පැහැදිලි කරන ලද්දේ කිවුල්ආර “පුබුදු” ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති එච්. එම්. කුලරත්න ගොවි මහතාය.

“අලි . මිනිස් ගැටුම අපිට ලොකු ප්‍රශ්නයක්. වගා පාලුකරනවා වගේම, මිනිස් ජීවිත දවසෙන් දවස නැතිවෙනවා. හේන් ගොවිතැන කරන්නේ දහසකුත් අභියෝග මැද. ජීවිත අවදානමේ තියාගෙන. බොහොම අමාරුවෙන් ඉල්ලලා ගත්ත විදුලි වැට, නෙළුව ඉඳන් මීගස්වැවට කිලෝ මීටර් 10 ක් තිබ්බ වැට වනජීවී එකෙන් හදිසියේ ගලවාගෙන ගියා. කිව්වෙ කණු පේන්ට් කරලා ආපහු වැට ගහනවා කියල. දැන් මොකද වෙලා තියෙන්නේ, වැට තිබ්බ මායිමෙන් ඇතුළෙ අක්කර සිය ගණනක් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට, දේශපාලන හිතවතුන්ට දීල. දැන් කියනවා මේවා කතරගම දේවාලේ ඉඩම්ලු. තණමල්විල ප්‍රාදේශීය ලේකම්ට කිව්වත් වගේ වගක් නෑ. අපි කියන්නෙ තිබ්බ විදිහට වහාම විදුලි වැට ගහන්න. ගහල අලි එන එක නවත්වන්න. පාරම්පරික හේන් ගොවියාගේ, කිරි ගොවියාගේ ඉඩම් ටික ආපහු දෙන්න. ඒ ඉඩම් ටික මංකොල්ල කන්න එපා කියන එකයි.” කුලරත්න ගොවි මහතා කියන්නේය.

මේ පාරම්පරික කිරි ගොවියකු වන ඩබ්ලිව්. ජයන්ත ගේ කතාව මෙසේය.

අලි වැට ගලවා මීගස්වැව වනය ඩෝසර් කරයි…

“අවුරුදු ගාණක් හේන් ගොවීන්, කිරි ගොවීන් භුක්ති වින්ද ඉඩම් තමා මේ නඩු දාල අයින් කරල, කැලෑව ඩෝසර් කරලා කොළඹ පැත්තෙ ලොකු ලොකු පුද්ගලයන්ට දීල තියෙන්නේ. කළින් අලි වැට නඩත්තු කළේ අපි. කිලෝමීටර් 10.15 බයිසිකල් වලින් ගිහින් අපි අලි වැට බැලුවෙ. ඊට පස්සෙ මුර කුටියෙ යතුර වන ජීවී එකේ භාරයට ගත්තා. ටික දවසක් යනකොට විදුලි වැටේ සෝලර් පැනල් එක නැති වුණා. බැටරිය අතුරුදන් වුණා. ඊට පස්සේ වැට කිලෝ මීටර් 10 ක් ම අතුරුදන් වුණා. දැන් ගිහින් බලන්න විදුලි වැටේ මුර කුටිය විතරයි තියෙන්නේ. අනික කොහොමද විදුලි වැටෙන් ඇතුලෙ අක්කර 2000 ක් විතර ඩෝසර් දාල එළිකරන්නේ. කවුද මේවා කරන්නේ. අපි කරනකොට වන රක්ෂණේ ඉඩම්. නැත්නම් වනජීවී එකේ ඉඩම්. එළිකරනකොට කියනවා දේවාලේ ඉඩම්ලු. දෙයි හාමුදුරුවන්ටම පෙනෙන්න ඕන මහත්තයෝ මේ අසාධාරණ වැඩ. කතරගම දේවාලේ ඉඩම් හැමතැනම තියනවද. අනික දේවාලේ ඉඩම්වලටද මෙච්චරකල් වනජීවී එකෙන් වියදම් කරලා අලි වැට ගහල තිබ්බේ” ජයන්ත කියයි.

“නීතිය පුදුම විදිහට නමන නිලධාරීන් පිරිසක් මහත්තයෝ මේ ප්‍රදේශයේ ඉන්නෙ. මොකද මේවා තණමල්විල ප්‍රාදේශීය ලේකම්වරයා දන්නෙ නැද්ද..? කළින් මේ ඉඩම් වන රක්ෂණ ඉඩම්, වන ජීවී ඉඩම් කිව්ව නිලධාරීන් කෝ දැන්…? මේවා කතරගම මහා දේවාලයේ ඉඩම් වුණේ කොහොමද එකපාරටම. ජනාධිපතිතුමා රටේ වනගහනය 32% ක් කරන්න කතා කරනවා. ඒත් රටේ වනාන්තරවලට වෙන දේවල් බලන්න එන්න කියන්න තණමල්විලට, කිවුල්ආරට. අපි පෙන්වන්නම් නිලධාරීන් නීතිය නමල වනාන්තර කාබාසිනියා කරන හැටි. දෙමෝදර වැව වටේම ඉඩම් දීල. වැව ඉස්මත්තේ ජල පෝෂකයේ ඉඩම් දීල. අලි 100 ක් විතර වතුර බොන්න ආපු වැව. අද අලින්ට ඒකට එන්න බැහැ. ඔක්කොම වටේ අල්ලගෙන. කොළඹ පැත්තෙ සල්ලි කාරයෝ හෝටල්, නිවාඩු නිකේතන ගහනවා. අපේ හේන් ඉඩම් බිල්ලට දෙනවා. අනික වන රක්ෂණ ඉඩම් කොහොමද එකපාරටම දේවාලේ ඉඩම් වුණේ. මෙතන ප්‍රශ්නයක් නැද්ද මම අහන්නෙ මහත්තයෝ… ෆොරස්ට් එකෙන් නඩු දාපු ඉඩම් ආපහු දේවාලේ ඉඩම් කියල සුද්ද කරන්නේ කොහොමද කියන්නකෝ. අපිට මේවා කියන්න කෙනෙක් නෑ. ඒකයි පරිසර යුක්ති කේන්ද්‍රයේ මහත්තුරුන්ට අපේ ප්‍රශ්නේ කිව්වෙ….” කිවුල්ආර සමන් ශාන්ත එසේ කියයි.

ගොවීන්ගේ මේ දුක්ගැනවිල්ලට සවන් දුන් අපි මීළඟට තීරණය කළේ සිද්ධියට අදාළ ස්ථාන පරීක්ෂාවක් සිදුකිරීම සඳහාය. ඒ අනුව “පරිසර යුක්ති කේන්ද්‍රය” මගින් අපට සපයා දුන් ප්‍රවාහන පහසුකම් ඔස්සේ ගොවීන් සමග බෝදාගමට නුදුරු කිවුල්ආරේ අදාළ හානියට ලක්වෙමින් පවතින වන ඉඩම් නිරීක්ෂණය සඳහා අපි එක්වීමු. සැබෑය. මේ වන විට විදුලි වැට ගලවා ඇත. දැන් එහි විදුලි වැටක් නැත. සෝලාර් පැනල ගසා තිබූ මුර ගෙය අද තනිවම වන වැදෙමින් පවතී. ගොවීන් කියන පරිදි වැට ගලවාගෙන ගොස් ඇත්තේ උඩවලව වන ජීවී කලාපයට අයත් ගල්කොටුකන්ද වන ජීවී අඩවි ආරක්ෂක කාර්යාලය මගිනි. අනතුරුව විදුලි වැටෙන් ඇතුළත පිහිටි වනාන්තර ඉඩම් දැන් විශාල වශයෙන් ඩෝසර් දමා හෙළි කර ඇති අතර, එම ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිදහස්කර තණමල්විල ප්‍රාදේශීය ලේකම් භාරයට ලබාගෙන ඇති බව කියනු ලැබේ. දැන් එම ඉඩම් අක්කර සිය ගණනක් හෙළි පෙහෙළි කර ඇත්තේ වැටක් නැති කැලෑවෙන් අලි ගම්වදින පසුබිමකය. නමුත් දැන් මීට කතරගම දේවාලේ නින්දගම් ඉඩම් බෙදීමක් ලෙස ප්‍රසිද්ධ වී ඇති අතර, ඊට දේවාලයේ ඉඩම් භාරව කටයුතු කරන බණ්ඩාර නැමැත්තෙක් සම්බන්ධ බවටද ගොවීහු කරුණු කියති.

“මේ මම හිටිය හේන් ඉඩම. අවුරුදු 20 ක් විතර මම වගා කළා. මෙතන උළු හෙවිල්ලලා හදපු ගේ කෑල්ල තිබුණා. අර තියෙන්නෙ මහත්තයෝ. ඒක පෙරළලා දාල මේ ඉඩම වෙන සල්ලි කාරයෙකුට දීලා. විදුලිය ඉල්ලලා ලිවුම් අත්සන් කළේ අපි. අන්තිමට විදුලිය ගෙවල් නැති කැලේටත් ඇදල අපේ ඉඩම් පැහැරගෙන දැන් ඉඩම් බෙදනවා. ඒවා දේවාලේ ඉඩම්ලු. දැන් මගේ ඉඩමේ විදුලි වැටක් ගහල එයා ගේකුත් හදනවා අර බලන්න මහත්තයෝ” කියමින් දෑසට කඳුළු නංවාගෙන තවමත් ඩෝසර් දමා සුද්ධ කරන තමා වගාකළ ඉඩම දෙසට අත දිගුකරමින් එක් ගොවි මහතෙකු අපට කීවේය.

සැබෑය. ඔහුගේ පැරණි ඉඩම පසුකර මද දුරක් යනවිට අප දුටුවේ මහා වන සංහාරයකි. ඩෝසර් දමා අලි කැලෑව පතුරු ගසා දමා ඇත. තණමල්විල ප්‍රාදේශීය ලේකම්වරයා හෝ වන රක්ෂණ, වන ජීවී රක්ෂණ ලොක්කෝ.පොඩ්ඩෝ මේවා දුටුවේදැයි අප දන්නේ නැත. නමුත් අප නෙත් මානයේ නම් ඇත්තේ මහා වන විනාශයක් හා ඉඩම් කොල්ලයකි. ගොවීන් කියන පරිදි පෙර එහි ගසා තිබුණු විදුලි වැට දැන් එහි නැත. හේන් ගොවීන් රැසකට වන රක්ෂණයෙන් හා වන ජීවී රක්ෂණයෙන් නීති ක්‍රියාමාර්ග ගත් ඉඩම්ද ඇත්තේ මෙහිය. ගොවීන් එකිනෙකා තමන්ගේ ඉඩම් තිබුණු තැන් අපට පෙන්වූයේ සෝසුසුම් මැදය. කොටින්ම අධිකරණයට පමුණුවා ලක්ෂ තුනකට වඩා දඩ මුදල් අයකරගත් අනවසර වගා යැයි කියන ලද ඉඩම් සියල්ල තිබුණු තැන් දැන් සම්පූර්ණයෙන්ම ඩෝසර් කර කොළඹ පැත්තේ වෙනත් ව්‍යාපාරිකයන්ට ලබාදී ඇත.

නමුත් ප්‍රශ්නය වන්නේ මෙම ඉඩම් රජයෙන් තම භාරයට පවරාගන්නා ලද ඉඩම් නම්, ඊට තණමල්විල ප්‍රාදේශීය ලේකම්වරයා කරුණු කිව යුතු වීමය. නැතහොත් කතරගම දේවාලය හෝ එහි ඉඩම් අංශය භාරව සිටිනවා යැයි කියන බණ්ඩාර නැමැත්තා හෝ කරුණු කිව යුතු වීමය. මේ දෙකම නැති නම්, වන සංරක්ෂණ හා වන ජීවී සංරක්ෂණ යන ආයතන දෙකම මීට කරුණු කිව යුතුව ඇත.

අප විසින් කරන ලද ස්ථානීය පරීක්ෂාව අනුව, විදුලි වැට ගලවා ඇති බවත්, එම විදුලි වැට තිබූ සීමාවෙන් ඇතුළත වනාන්තර අක්කර සිය ගණනක් දැනටමත් ඩෝසර් යොදවා එළිකර ඇති බවත් අප පසක් කරගන්නා ලදී. එසේම, පාරම්පරික හේන් ගොවීන් ඔවුන්ගේ නිවාස කඩා ඉවත්කර වෙනත් අයට මහා පරිමාණ වශයෙන් ඉඩම් ලබාදීමක් කර ඇති බවටද කරුණු අනාවරණය කරගන්නා ලදී.

දැන් අපට ප්‍රශ්න වැලක් තිබේ, එනම්, ඉහත දැක්වූ පරිදි, සොරගුණේ නින්දගම සේම කතරගම දේවාලයේ නින්දගමක් මෙහි පවතින්නේද යන්නත්, මෙසේ ඉඩම් වෙන්දේසියක් කර ඇත්තේ දේවාලයේ යැයි කියන ඉඩම්ද, එසේ නම් එම නින්දගමේ ප්‍රමාණය කොපමණද, එහි මායිම කුමක්ද, යන්නත් තණමල්විල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කරුණු පහදන්නේද යන්නය. එසේ නොවන්නේ නම් මේ ඉඩම් තම භාරයට පත්කරගත් ඉඩම්ද යන්න හා විදුලි වැට ගලවා අලින්ට මිනිස් ජනාවාස වෙත පැමිණෙන්නට මාර්ගය විවෘත කර නටන මේ නාඩගම කුමක්ද යන්නත් තේරෙන බසින් රටට කියන ලෙස අප තණමල්විල ප්‍රාදේශීය ලේකම්වරයා, වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ වන සංරක්ෂක ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටින්නට කැමතිය.

එසේම, මෙම ඉඩම් බෙදීමේ ව්‍යාපාරය පිටුපස කතරගම මහා දේවාලයේද නම කියැවෙන බැවින් එහි ඉඩම් අංශ නිලධාරීන් හෝ එහි බස්නායක නිලමේවරයාගෙන් කරුණු පැහැදිලි කිරීමක්ද අපි ඉදිරියේදී පළ කිරීමට සූදානම්ව සිටින්නෙමු.

****

නීතිය ඇයි දෙවිදියක්

අලි වැට ගලවා මීගස්වැව වනය ඩෝසර් කරයි…

අද මේ ප්‍රදේශයේ හේන් වගාකළ ඉඩම් පවා විවිධ පුද්ගලයන්ට පවරා දී ඇති බව කිව යුතුයි. උඩවලව රක්ෂිත සීමාව වටා ඉදිකර තිබූ අලි වැට ගලවා දමා එම සීමාවට ඇතුල් වී වනය විනාශ කර තිබෙනවා. මෙයින් සිදුව තිබෙන්නේ අලි ගම් වදින එකයි. අලි වැට ඉදිකර තිබෙන්නේ ආරක්ෂාවට නමුත් මේ සිදුවෙමින් පවතින්නේ විනාශයක් බව කිව යුතුයි. සමහර ඉඩකඩම් කලින් හේන් වගා කළ ගොවීන්ගේ. ඒවා බලෙන් පවරා ගෙන අද වන විට ඉඩම් ඩෝසර් කරනවා. සමහර ඉඩම්වල ස්ථීර ගොඩනැඟිලි පවා ඉදිකරලා. ඉඩම් පිහිටි දිශාවට විදුලිය ලබාදීමටද කටයුතු කරමින් සිටිනවා. ඒ ඉඩම් වටා අලි වැටවල් (විදුලි වැට) ඉදිකර තිබෙනවා. මිනිසුන් හේනක් වවා ගත්තොත් එය වැරදිනම් මේ අයගේ ජීවනෝපාය සලසා ගන්නේ කොහොමද? කියන ප්‍රශ්නය මතුවනවා. මේ ප්‍රදේශවල අලි ගම් වදින එකට විසඳුමක් මේ වන විට දී තිබෙනවාද? පරිසර යුක්ති කේන්ද්‍රය මේ ගැන සෙවිල්ලෙන් ඉන්නේ.

ඒ වගේම කතරගම දේවාලයට අයත් ඉඩම් වශයෙන් පවසා මේ වනාන්තර සහිත ඉඩම් බදු දිය හැකිද? මේ වන ඉඩම්වල ප්‍රේරණ කලාපයක් තිබෙනවා. අද උඩවලව . කිවුල් ආර එක් ප්‍රේරණ කලාපයක් එළි කරනවා. වෙනත් රජයේ වනාන්තර වන බිම්ද මෙහි පවතිනවා. ඒවාද එළිකර ඇති බව පෙනෙනවා. මෙහෙම වනාන්තර සහිත බිම් වනසා දැමිය හැකිද කියන ප්‍රශ්නය මතුවනවා. මිනිස්සු කැලේ කපනවානම් ඒවාට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ නීතියම ඇයි දෙවිදියක්. තව පාර්ශ්වයකට නීතියක් නෑ. වහාම මේ ගැටලුව

ගැන වගකිව යුත්තන් සොයා බැලිය යුතු බවට පරිසර යුක්ති කේන්ද්‍රයේ මතයයි. එසේ නොවුන හොත් ඉදිරියේදී මේ හා සම්බන්ධයෙන් කටයුතු කරන්න සිදුවනවා.

2030 වසර වන විට තිරසර සංවර්ධන ඉලක්ක (SDG goals) සාක්ෂාත් කර ගැනීමට නියමිතයි. ඉලක්කගත 32% ක් වන වන ගහනය සපුරා ගැනීමට මෙහෙම ගියොත් පුළුවන්ද කියන දේ ගැන බැරෑරුම්ව සිතා බැලිය යුතුයි

දිලෙන පාත්‍රාගොඩ
විධායක අධ්‍යක්ෂ පරිසර යුක්ති කේන්ද්‍රය

ජගත් කණහැරආරච්චි
පරිසර යුක්ති කේන්ද්‍රය මගින් සංවිධානය
කරන ලද සංචාරයක් ඇසුරෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment