ස්වාධීන කොමිෂන්වල බැරි බැරියාව තදටම

112

රජය විසින් පත්කර ඇති ස්වාධීන කොමිෂන් සභාවල කාර්යක්ෂමතාවය ඉතා දුර්වල මට්ටමක පවතින බව එම කොමිෂන් සභා සම්බන්ධව සිදුකළ විගණකාධිපති වාර්තාවලට අනුව හෙළිවී තිබේ.

රාජ්‍ය සේවා, අල්ලස් හෝ දූෂණ සහ පොලිස් යන ස්වාධීන කොමිෂන් සභා ඉතා දුර්වල කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇතැයි ද විගණකාධිපති වාර්තාවලට අනුව හඳුනාගෙන ඇත.

මෙම තත්ත්වය මත රාජ්‍ය සේවයේ උසස්වීම් ලබාදීම, නව පත්වීම් සිදුකිරීම සහ මාරු කිරීම් ආදී කටයුතු ප්‍රමාදවී තිබේ.

මෙම කොමිෂන් සභා මගින් අදාළ ක්‍රියාමාර්ග දින 45 ක් තුළ සිදුකළ යුතු වුවත් ඇතැම් පත්වීම් ලබාදීම සඳහා වසර 05 ක් පමණ ගතවී ඇති බවට හෙළිවී ඇත.

මේ සම්බන්ධව විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසුවේ ස්වාධීන යැයි පවසන මෙම කොමිෂන් සභාවල බොහෝ නිලධාරීන් කටයුතු කරන්නේ තමුන් කිසි කෙනෙකුට වගකියන්නේ නැති පිරිසක් ලෙස බවයි. එනිසා රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට මෙම කොමිෂන් සභාවල ක්‍රියාකලාපය බාධාවක්වී ඇති බව ද ඔහු පැවසීය.

මෙම කොමිෂන් සභාවලට පත්වන රජයේ විශ්‍රාම නිලධාරීන් බොහෝ දෙනෙකු කටයුතු කරන්නේ මෙය තම විශ්‍රාම දිවිය ගැට ගසා ගැනීමට ලැබුණු තනතුරක් ලෙස සිතා යැයිද, එනිසා ඔවුන් ඉතා අලස අයුරින් මෙම කොමිෂන් සභාවල කටයුතු කරන බව පෙනී ගොස් ඇතැයි ද ඔහු පැවසීය.

ඔවුනගේ මෙම ක්‍රියාකලාපය නිසා රාජ්‍ය සේවයේ නියුතු බොහෝ පිරිසකට නිසි කලට උසස්වීම් නොලැබීම, ස්ථාන මාරුවීම් ලබාගැනීමට නොහැකිවීම නිසා ඔවුන් දැඩි අසාධාරණයකට ලක්ව ඇතැයිද ජගත් කුමාර මහතා සඳහන් කළේය.

තමා මේ සම්බන්ධව පාර්ලිමේන්තුව දැනුවත්කර ඇති බවත් ස්වාධීන කොමිෂන් සභා සියල්ල පාර්ලිමේන්තුවට වගකිවයුතු බවත් ඔවුනට තම සිතැඟි පරිදි කටයුතු කිරීමට බලයක් නැති බවත් ජගත් කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment