අයි.එම්.එෆ්. සාකච්ඡාවලට විපක්‍ෂයටත් දොර අරී

115

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමග සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත අවස්ථාව සලසා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව ජනාධිපති කාර්යාලයේ හෙට (11 දා) පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, දෙමළ ජාතික සන්ධානයේ නායක සිවඥානම් ශ්‍රීධරන් යන මහත්වරුන්ට ජනාධිපතිවරයා ආරාධනා කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එසේම ඔවුන් සමඟ කැමති ඕනෑම අයකුට ද සහභාගි වීමට අවස්ථාව සලසා දී ඇතැයි ද පැවසෙයි. මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට ද සහභාගි වන ලෙස දැනුම් දී ඇතැයි ද ජනාධිපති මාධ්‍ය කියා සිටියි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිත බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment