සුජාතා ජීවන විල මැද 81 වැනි වියට

91

හෙළ ගී කෙත සුපෝෂණය කළ ප්‍රවීණ ගායනවේදනී සුජාති අත්තනායක මහත්මියගේ 81 වැනි ජන්ම දිනය අදට (12 දා) යෙදී තිබේ.

කැලණිය වෙදමුල්ල මහ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය 1950 දී ‘මල් සේ දිලේවා’ සිය මුල්ම ගීතය ගුවන් විදුලිය වෙනුවෙන් ගායනා කළාය.

1956 දී ‘සොහොයුරෝ’ චිත්‍රපටයෙන් සහයට පසුබිම් ගායනයට පිවිසි සුජාතාවෝ 1965 ‘යටගිය දවස’ චිත්‍රපටය වෙනුවෙන් ස්වර්ණ හංස සම්මානය හිමිකර ගත්තාය.

පරසතුමල් හී ‘පරවුණු මල් වල සුවඳ අතීතේ’ ගීතයෙන් යළිත් සම්මානිත වූ ඇය එදා මෙදා තුර සිනමාවත්, ගීතයත් තම මියුරු හඬින් වර්ණවත් කළාය.

ආසියා හින්දි සේවය වෙනුවෙන් නේපාල ගීතයක් ගැයූ ඇය ප්‍රථම ද්‍රවිඩ ඒකපුද්ගල ගී ප්‍රසංගය පැවැත් වූ සිංහල ගායිකාව මෙන්ම ඉස්ලාම් ඒකපුද්ගල ගී ප්‍රසංගයක් ද පැවැත් වූ සිංහල ගායිකාව ද ඇය වූවාය.

නවරත්න අත්තනායක මහතා සමග 1966 වසරේ දී යුග දිවියට එළැඹී ඇයගේ දෙටු පුත් කපිතාන් චානක අත්තනායක මවුබිම වෙනුවෙන් දිවි පිදූ විරුවෙකි.

සුජාතාවන් ගුවන් විදුලියට ගැයූ මුල්ම ගීතය (මල් සේ දිලේවා) සිසිර කුමාර මාණික්කආරච්චි ලියා තිබූඅතර ඒ. ජේ. කරීම් සංගීතවත් කර තිබිණි.

දහස් ගණනක ගීත අපේ ගීත කලාවට දායාද කළ ප්‍රවීණ ගායනවේදිනී සුජාතා අත්තනායකට ‘දිවයින’ සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කර සිටිමු.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment