පාඩු පියවන්න ගන්නේ රටේ ජනතාවගේ සල්ලි

37

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්ත

මූල්‍ය විනය ගැන නොදන්න අය රට පාලනය කරනවා!

කැබිනට් මණ්ඩලය වැඩි කරලා වැඩක් නෑ!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා අනුමත කරන ලද ණය මුදලේ පළමු කොටස නිදහස් කිරීමත් සමග මෙරට ආර්ථික සහ දේශපාලන ක්‍ෂේත්‍රයන් තුළ විවිධ පරිවර්තනයන් සිදුවීම ආරම්භ වී ඇත. එම පරිවර්තනයන් පිළිබඳව විවිධ පාර්ශ්වයන් විවිධ අර්ථකථන දක්වා ඇති අතර ඒ පිළිබඳව අප සමගි ජනබලවේගයේ ස්ථාවරය එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්තන මහතාගෙන් විමසා සිටියෙමු. ඒ සම්බන්ධයෙන් වික්‍රමරත්ත මන්ත්‍රීවරයා පළ කළ අදහස් පහත පරිදි වේ.

ප්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරන ලද ණය මුදලේ පළමු වාරිකය පසුගිය සතියේදී ලැබුණා. එම මුදල ලැබීමත් සමග ආර්ථිකය තුළ සිදුවන වෙනස්කම් පිළිබඳව විවිධ අර්ථකථන ඉදිරිපත් වී තිබෙනවා. ඒ පිළිබඳව ඔබගේ විග්‍රහය කුමක්ද?

පිළිතුර – අපි බංකොලොත් රටක්. මීට ප්‍රථම අපේ රට බංකොලොත් වෙලා නැහැ. අපට ණය ගෙවා ගන්න බැරිවී තිබෙනවා. ඒ වගේම ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වලින් අපේ රට පහළටම වැටිල තිබෙනවා. කවදාවත් නොවුණ විධියට භූමිතෙල් ටික, ඉන්ධන ටික, ගෑස් ටික ලබාගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ වගේම විදුලිය කපා හැරියා. මහරගම පිළිකා රෝහලට ගියත් එම රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබාගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ වගේම ලක්ෂ 5 කට පමණ රැකියා අහිමි වී තිබෙනවා. ආහාර මිල සියයට සියයකින් වැඩිවී තිබෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය දෙසැම්බර් මාසයේදී උද්ධමනය සියයට හැත්තෑවයි. එය මේ වන විට සියයට පනස්පහට පමණ පහත බැස තිබෙනවා.

එහෙත් ආදායම වැඩිවෙලා නැහැ. එම තත්ත්වය නිසා රුපියල් 100,000 ක පඩියක් ලැබුණත් එය මේ වන විට 50,000 ක මට්ටමට පත්වී තිබෙනවා.

ආණ්ඩුව ඇතිවෙලා තිබෙන ප්‍රශ්නවලට විසඳුමක් ලෙස බදු අය කිරීම වැඩි කරලා තිබෙනවා. එම නිසා මිනිසුන්ගේ ජීවන තත්ත්වය තවත් පහළට වැටිලා තිබෙනවා. මෙම තත්ත්වයෙන් කොහොමද එළියට එන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාව නිසා දැන් මෙරට මූල්‍ය විනයක් සහිතව කටයුතු කිරීමට සූදානම් කියලා පණිවුඩයක් වනවා. අපි මෙම තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ වැරදි ප්‍රතිපත්ති සහ වැරදි මූල්‍ය කළමනාකරණය නිසා. රටේ ජනාධිපති කෙනෙකු සිටියා එතුමා ආර්ථිකය ගැන හෝ මුදල් පිළිබඳව කිසි දෙයක් දන්නේ නැහැ. එම ජනාධිපතිවරයා අගමැතිවරයෙකු පත් කළා එතුමාත් ආර්ථිකය හෝ මුදල් පිළිබඳව කිසිදෙයක් දන්නේ නැහැ. ඒ වගේම මුදල් ඇමැතිවරයෙකුත් පත් කළා එතුමාත් ආර්ථිකය හෝ මුදල් පිළිබඳව කිසිදෙයක් දන්නේ නැහැ. වෙනත් රටවල්වලත් ආර්ථිකය පිළිබඳව විශේෂඥයන් නොවන ජනාධිපතිවරු අගමැතිවරු පත්වෙලා තිබෙනවා. නමුත් මේ රටේ සිදුවූ දේ සිද්ධ වෙලා නැහැ. ඒ වගේම නිලධාරීන් විසින් ලබාදුන්නේත් වැරදි උපදේශ. මුදල් ලේකම් මහබැංකුවේ අධිපති වගේ නිලධාරීන් තමයි වැරදි උපදෙස් දුන්නේ.

එම හේතු සාධකයන් නිසා තමයි ජනතාවට මෙම පීඩනය විඳින්න සිද්ධ වෙලා තිබෙන්නේ. එම නිසා දැන් අහන්න සිද්ධ වෙලා තිබෙන මූලික ප්‍රශ්නය තමයි වැරදි තීරණ ගැනීම නිසා ආර්ථිකය විනාශවීම සම්බන්ධයෙන් වගකීමක් නැද්ද කියන එක. කාටද ඒ සම්බන්ධයෙන් වගකීම තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් මේ රට තුළ සංවාදයක් ඇති විය යුතුයි.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම මූලධර්මයක් ලෙස හොඳයි. එම ගිවිසුම නිසා කිසිම මූල්‍ය විනයක් නොතිබුණු රටක් කිසියම් මූල්‍ය විනයක් ඇතිව කටයුතු කිරීමට එකඟ වූ බව ඒ මගින් පැහැදිලි වනවා. ඒ තමයි එම ගිවිසුමේ තිබෙන හොඳ. නමුත් එම ගිවිසුමේ අපට එකඟවිය නොහැකි කරුණු තිබෙනවා. ආණ්ඩුව ඇති වී තිබෙන ආර්ථික අර්බුදය විසඳන්න හදන්නේ රජයේ බදු ආදායම වැඩිකරලා. 2015 දී අපේ ආණ්ඩුව වගකීම බාරගන්න කොට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට දහයයි. අපි වසර දෙකහමරක් තුළ එම ආදායම ක්‍රමානුකුලව සියයට දහතුන දක්වා වැඩිකර ගත්තා. ඒ සඳහා අපි අලුත් ආදායම් බදු පනතක් ගෙන ආවා. තාක්ෂණය භාවිත කළා. ඒ වගේම 965000 ක්ව තිබූ බදු අය කරන සංඛ්‍යාව ලක්ෂ 15 දක්වා වැඩි කර ගත්තා. ඒ වගේ ක්‍රමානුකූල විධිවලින් තමයි අපි බදු ආදායම වැඩි කර ගත්තේ. එහෙත් මේ රජය බලයට ඇවිත් එය සම්පූර්ණයෙන්ම නතර කළා. එම නිසා රටේ ආදායම බිලියන 600 කින් අඩු වූවා. එම නිසා රට බංකොලොත් වූවා. මේ වන විට රටේ ආදායම සියයට අට දක්වා අඩු වූවා. එම ආදායම වැඩිකර ගත යුතුයි. ඒ පිළිබඳව අපට ප්‍රශ්නයක් නැහැ.

එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ එම බද්ද අය කර ගන්නේ කාගෙන් ද කියන එක පිළිබඳව තමයි. ආණ්ඩුව දැන් අත්සන් කරලා තිබෙන ගිවිසුම අනුව නම් වැඩියෙන්ම බර වැටිලා තිබෙන්නේ දුප්පත් ජනතාව මත සහ අඩු ආදායම් ලාභීන් මත තමයි. දුප්පත් ජනතාව බලාගැනීම සඳහා සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් අවශ්‍යයි. නමුත් ඒ සඳහා මූලිකත්වය නොදී බදු අයකර තිබෙනවා. එම කටයුත්ත සමෘද්ධි වැඩසටහනෙන් කරන්න බැහැ. සමෘද්ධිය කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව හදපු දේශපාලන ක්‍රමයක්. මේ රට විනාශ කරන දේවල් තමයි කළේ. දැන් සමෘද්ධිය ලැබෙන අයගෙන් සියයට හැටකට එය නොලැබිය යුතුයි. ඒ වගේම එම සහනාධාරය ලැබිය යුතු සමහර අය එම ලැයිස්තුවල නැහැ. එම සහනාධාර ලැබිය යුතු නිසි අය තෝරා එම මුදල දෙගුණ තෙගුණ කළත් කමක් නැහැ. එහෙම කළොත් තමයි සමාජ ආරක්ෂණ ක්‍රමයක් ඇති වන්නේ. සමෘද්ධි නියාමකයන් තමයි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. දැන් කියනවා එම කටයුත්ත ග්‍රාම නිලධාරීන් ලවා කරන බව. එම වෙනස කරා කියලා වැඩක් වන්නේ නැහැ. අපි කියන්නේ විද්‍යාත්මක ක්‍රමයකට අනුව සහනාධාර ලැබිය යුතු අය තේරිය යුතු බව තමයි. පේරාදෙණිය විශ්වවිද්‍යලයේ මහාචාර්යවරු සඳහන් කරලා තිබෙනවා. විදුලිය එකක 30 වඩා අඩුවෙන් පාරිභෝජන කරලා තිබෙනවා නම් එම නිවසේ ශීතකරණයක්වත් නොමැති බව. ඒ අනුව ඔවුන්ට අනිවාර්යයෙන්ම සහනාධාර ලබාදිය යුතු බවත් සඳහන් කරලා තිබෙනවා. ඒ ආකාරයේ විද්‍යාත්මක ක්‍රමයකට අනුව කටයුතු කරන්න කියන එක තමයි අපි කියන්නේ.

මෙම ගිවිසුමේ තිබෙන ගැටලුව තමයි බදු අය කිරීමේ සීමාව. අපි කියන්නේ එම සීමාව වැඩි කරන්න කියලා. මෙම ක්‍රමයට අනුව ලක්ෂ 3 ක් පඩි ගන්න අය ඉහළම බදු සීමාවට යනවා. අපි කියන්නේ එම සීමාව තම පුළුල් කරන්න කියන එක තමයි. මොකද ජනතාව පළමුවෙන්ම ජීවත්විය යුතුයි. එහෙම වුණොත් තමයි අනෙක් දේවල් කරන්න පුඵවන් වන්නේ. ඔය ගිවිසුමේ තිබෙනවා 2025 දී ඉඩම් අයිති අයගෙන් තෑගි දෙන අයගෙන් උරුම ලබන අයගෙන් බදු අය කරන බව. ඒ කියන්නේ ධනය තිබෙන අයගෙන් බදු අය කරන්නේ 2025 දී. නමුත් මෙම ගිවිසුමෙන් සාමාන්‍ය අයට පීඩනය දැන්ම එල්ල වී තිබෙනවා. ආණ්ඩුවේ ආදායම ඉහළ යායුතුයි. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් විවේචනය තිබෙන්නේ කාගෙන්ද එය අයකරන්නේ කියන එක පිළිබඳව තමයි.

ප්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගන්නා ලද ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ජන්දය විමසීමක් සිදුකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර – ආණ්ඩුව යම් වෙනස් කිරීමක් කරනවා කියලා එකඟ වූයේ නැතිනම් අපට ඊට පක්ෂව ජන්දය දෙන්න බැහැ. මොකද ආණ්ඩුව ඔය තීරණ ගැනීමට පෙර අපිව ඊට සම්බන්ධ කර ගත්තේ නැහැ. ඒ අය තීරණ අරගෙන දැන් කියනවා අපිට ජන්දය දෙන්න කියලා. අපේ සහය අවශ්‍ය නම් අපත් සමග සාකච්ජා කිරීමට පුළුවන් වෙන්න ඕනී.

ප්‍රශ්නය – ලාභ ලබන රජය සතු ආයතන විකුණන බවට චෝදනා එල්ල වී තිබෙනවා. ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා ණය ගෙවීම සඳහා මුදල් අවශ්‍ය නිසාත් රජය විසින් ව්‍යාපාර නොකළ යුතු නිසාත් එම ආයතන විකුණන බව. ඒ පිළිබඳව සමගි ජන බලවේගයේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර – ආරක්ෂාව ආහාර සුරක්ෂිතතාව, විදුලි සුරක්ෂිතතාව, මූල්‍ය ක්‍ෂේත්‍රය යන ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් ආණ්ඩුවට යම් පාලනයක් තිබිය යුතුයි. එයින් අදහස් වන්නේ එම ක්‍ෂේත්‍රවලට පෞද්ගලික අංශවලට එන්න බැහැ කියන එක. පුද්ගලික අංශයට ආයෝජකයන්ට මුල්තැන දෙන්න ඕනි. රජයට යම් ක්‍ෂේත්‍රයක අයිතියක් අවශ්‍ය නම් රජයට පුළුවන් එම ක්‍ෂේත්‍රයේ මුදල් ආයෝජනය කිරීමට. ආණ්ඩුව ආයතන පාලනය කරන්න ගිහිල්ල පාඩු ලබලා එම පාඩුව පියවන්න ජනතාවගේ මුදල් යොදවනවාට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. මෙරට රාජ්‍ය ආයතන තිබුණේ සියයයි. නමුත් වසර 15 ක් තුළදී රාජපක්ෂ පාලනය එම සංඛ්‍යාව 245 දක්වා වැඩිකළා. එම නිසා ඇතිවූ පාඩුව ට්‍රිලියන ගණනක් වනවා. ඒ සඳහා වැය වූයේ දුප්පත් ජනතාවගේ බදු මුදල්.

ප්‍රශ්නය – ඉදිරියේදී කැබිනට් මණ්ඩලයේ සංශෝධනක් සිදුකරන බව වාර්තා වනවා. ඒ සමගම සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු 20 ක් පමණ ආණ්ඩුවට එක් වන බවත් වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර – අමූලික බොරුවක්. කැබිනට් මණ්ඩලය විශාල කරන්න එපා කියලා කියන්න ඕනි. සුදුසු අයට සුදුසු තැන දෙන්න. නුසුදුසු අය ඉන්නවා නම් ඉවත් කරන්න. ඔය බොරු කතා වලට නම් උත්තර දීලා වැඩක් නැහැ.

සාකච්ජා කළේ
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment