අස්වැසුම සමීක්‍ෂණයට කෝටි 1000 ක් වැය කරලා

112

සමෘද්ධි විනාශයට එරෙහි ජාතික ව්‍යාපාරය

අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ සමීක්‍ෂණ සඳහා රුපියල් කෝටි දහසකට වැඩි මුදලක් වැය කර ඇතැයි සමෘද්ධි විනාශයට එරෙහි ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු සංජීව ධම්මික මහතා ඊයේ (12 දා) පැවසීය.

ප්‍රතිලාභ ලබාදීමට පවුල් ලක්‍ෂ 37 ක් සමීක්‍ෂණයට ගත් බවත් එක් පවුලක් වෙනුවෙන් රුපියල් 300 බැගින් වැය කිරීමට සිදුවීම නිසා මෙම කෝටි දහසකට වැඩි මුදල වැයවී ඇති බවත් ඊයේ (12 දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ධම්මික මහතා පැවසීය.

අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමට සමීක්‍ෂණ සිදු කළත් එය ද අසාර්ථක වී ලක්‍ෂ 12 ක පමණ පිරිසක් තෝරාගෙන තිබෙනවා. තවත් වැඩිහිටි ඇතුළු අනෙකුත් සහනාධාරලාභීන් ද සමග ලක්‍ෂ 16 කට පමණ පිරිසකට ප්‍රතිලාභලාභීන් සීමාවෙනවා යැයි ද ඔහු කීවේය.

මෙවැනි තත්ත්වයක් තිබියදී අස්වැසුමෙන් සමෘද්ධි අරමුදලට හානි නොවන බවට සමෘද්ධිලාභීන් මෙම 27 වැනිදාට පෙර දැනුවත් කිරීම සඳහා රුපියල් ලක්‍ෂ 340 ක් වැය කිරීමට උත්සාහ කරන බවත් එය වහා නතර කරන ලෙස ඉල්ලා සිටින බවත් ධම්මික මහතා කීය.

දැනුවත් කිරීමේ වැඩසටහනේදී සමෘද්ධි බැංකු 1089 ක්, සමෘද්ධි බැංකු සමිති 335 ක්, කුඩා කණ්ඩායම් 450,000 ක්, ප්‍රජාමූල සංවිධාන 30,000 ක් දැනුවත් කිරීමට සැලසුම් කර ඇතැයි ද ධම්මික මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment