මුතුරාජා තායිලන්තයේ ඡන්ද පොරොන්දුවකුත් වුණා- පාර්ලිමේන්තුවේදී හෝ කනගාටුව පළ කරමු- ඩලස් අලහප්පෙරුම

571

අලුත්ගම කන්දෙ විහාරයේ සිටි මුතුරාජා හස්තියා සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වයට තමන් රට වෙනුවෙන් තායිලන්ත රජයට කනගාටුව පළ කළ බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවසීය. එම සිදුවීම නිසා දෙරට අතර ඇති මිත්‍රත්වයේ කිසිදු පළුදුවීමක් සිදු නොවුණු බවද හෙතෙම කීවේය.

එහිදී ඇති වූ කතා බහ මෙසේය.

ඩලස් අලහප්පෙරුම මහතා – පසුගිය මාසයේ සිට අපේ රටට බරපතළ අපකීර්තියක් ලබන්න වුණා මුතුරාජා හස්තියා සම්බන්ධයෙන්. තායිලන්තයේ මැතිවරණ වේදිකාවේදීත් මේ ගැන කතා වුණා. එය මැතිවරණ පොරොන්දුවක් බවටත් පත් වුණා. දළදා මාලිගාවට පරිත්‍යාග කරපු මේ හස්තියාව අලුත්ගම කන්දෙ විහාරයට දී තිබෙනවා. එතැනදී හස්තියාට සිදු වූ නොසලකා හැරීම් ගැන රෙයාර් සංවිධානය විසින් පැමිණිල්ලකුත් කළා. නමුත් පියවරක් ගත්තේ නෑ. ඉන් පසුව ඒ සංවිධානය තායිලන්ත තානාපති කාර්යාලයට පැමිණිලි කළා. ලෝකයේ බොහෝ රූපවාහිනී නාලිකාවල මේ ගැන ප්‍රචාරය වුණා. අපි රටක් වශයෙන් මේ වනතෙක් අඩුම තරමේ කනගාටුවවත් ප්‍රකාශ කර නෑ. දැන් ඒ සතා නැවත තායිලන්තයට ගෙනියන්න සූදානම් කර තිබෙනවා. පාර්ලිමේන්තුව ලෙසවත් මේ ගැන කනගාටුව ප්‍රකාශ කරමු.

වනජීවී ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය –

අපි මේ හස්තියාව තාවකාලිකව මේ වන විට දෙහිවල සත්ත්වෝද්‍යානයේ රඳවාගෙන සියලු බෙහෙත් සහ කෑම බීම ලබා දීම උපරිම වශයෙන් කරගෙන යනවා. තායිලන්ත තානාපතිතුමා හමුවෙලා මේ සතාව නැවත ගෙනියන්න එපා කියලා කිව්වා. මේ සතාව සන්නසකින් පවරා දුන් පසුව ඒ ගැන සොයා බැලීමක් කරන්නේ නෑ. තාවකාලිකව හෝ හාමුදුරුවන් කැමති කරගෙන අපි ඒ සතාට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. එම හස්තියා ලැබුණු පසු හිටපු ජනාධිපතිනියයි මේ පන්සලට දීලා තියෙන්නේ. රටට කරන ගෞරවයක් ලෙස අපි මේ වන විට කළ හැකි උපරිම සත්කාර කළා. නමුත් තායිලන්තය හස්තියා යළි ගෙනයන්න දැඩිව ඉල්ලනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස – සන්නසකින් භාර දුන්නාම ඒ අයිතිය පන්සල සතුයි කියලා අලි ඇතුන් සම්බන්ධයෙන් වනජීවි එකට අත හෝදගන්න බෑ. මා යෝජනා කරනවා මාසයකට වතාවක් හෝ ගිහින් යම් කිසි දෙයක් කරන්න. මේ සතුන් අපේ පෙරහැර සංස්කෘතියට වැදගත්. පශු වෛද්‍ය සංචිතයක් හදලා අලින්ට රැකවරණය ඇතුළු අනෙකුත් පහසුකම් ලැබෙනවාද කියලා විමසීමක් කළොත් හොඳයි. එහෙම කිසිම වැඩසටහනක් කෙරෙන්නේ නෑ. දැන් සිටින පශු වෛද්‍යවරුනුත් රට හැර යන තත්ත්වයක් තිබෙන්නේ.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා– රටකින් රටකට ලබා දුන්නු ත්‍යාගයක් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය තිබෙන්නේ. මම අහන්නේ අගමැතිතුමා රට වෙනුවෙන් ඒ රටට කනගාටුව ප්‍රකාශ කරනවාද? නැද්ද?

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා-

මම ගිය මාසයේ තායිලන්ත සංචාරයේ දී එරට අග්‍රාමාත්‍යතුමා සමග කළ සාකච්ඡාවේදී අපේ රට වෙනුවෙන් ඒ කනගාටුව ප්‍රකාශ කළා. ඒ ගැන කිසිම අවශ්‍යතාවකුත් දැක්වූවේ නෑ. යොදාගත්ත කාලසටහන අනුව මුතුරාජා ඉදිරි දවස්වලදී තායිලන්තය කරා ගමන් කරනවා. ඇමැතිතුමිය කිව්වා වගේ ඒ විධිවිධාන පරිදි අපේ නායක ස්වාමීන් වහන්සේත් අවශ්‍ය ලියකියවිලි භාර දීලා තිබෙනවා ඒ සාත්තු කිරීම හා නිරෝගී තත්ත්වයට පත් වූ පසු යළි අපට ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධව. තායිලන්තයයි, ශ්‍රී ලංකාවයි අතර තිබෙන මිත්‍රත්වය, සුවිශේෂ මිත්‍රත්වයක් බව යළිත් ප්‍රකාශ කළා. ඒ සතා ඒ ගමන් කරන විශේෂ ආරක්ෂක කූඩුව සකස් කරලා තියෙනවා. මේ සංචාරයේදී තායිලන්ත රජතුමා හමුවීමට හැකිවුණා. ශ්‍රී ලංකාවට බොහෝම විරල අවස්ථාවක්, ආසියාවේ නායකයන් අතර ලැබුණු. ඒ නිසා අපේ මිත්‍රත්වය ඉතාම තහවුරුයි. අන්‍යොන්‍ය එකඟතාවයෙන් වැඩ කරන්නට එකඟ වුණු හැම කාරණාවක් ගැනම දෙරට අතර ඒ විශ්වාසය ඇති වී තිබෙනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment