යුතුකම ඉටුකිරීම (නොකියන කතාව)

622

ලෝකයේම අවධානය යොමුව ඇති ගාසාහි විශාලතම රෝහල් සංකීර්ණය ලෙස සැලකෙන අල්-ෂිෆා රෝහල පිහිටා ඇත්තේ, ගාසා නගරයට අසල්වැසි රිමාල් ප්‍රදේශයේය. ගාසාහි අල්-ෂිෆා රෝහලේ සිදුවන්නේ කුමක් ද යන්න ගැන අදහස් දක්වන එම රෝහලේ ප්‍රධානී වෛද්‍ය මුහම්මද් අබු සලාමියා අනතුරු අඟවන්නේ විදුලි ජනක සඳහා අවශ්‍ය ඉන්ධන මට්ටම ඉතා අඩු බැවින් ඉන්කියුබේටර් වැනි අත්‍යවශ්‍ය උපකරණ ක්‍රියාකරවීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, පසුගිය දින කිහිපය තුළ රෝහලට කිහිප වතාවක්ම ප්‍රහාර එල්ල වී ඇති අතර ඉන් කිහිප දෙනකු මියගොස් තවත් බොහෝ දෙනකු තුවාල ලබා තිබූ බව ය. එහෙත් අල්-ෂිෆා රෝහලට යටින් භූගතව හමාස් අණ දෙන මධ්‍යස්ථානයක් පවතින බව ඊශ්‍රායලය ප්‍රකාශ කරන අතර හමුදා ප්‍රකාශිකා ලිබී වයිස් කියා සිටියේ “අපි නිසැක වශයෙන්ම දන්නවා එතන හමාස් පාලන මධ්‍යස්ථානයක් තියෙනවා කියලා. ඒ බව සනාථ කෙරෙන වැදගත් තොරතුරු අපි ලබා දීලා තියෙනවා.” යනුවෙනි. එහෙත් රෝහල තුළ සිටින වෛද්‍යවරුන් පවසන්නේ, හමාස් සංවිධානයේ සාමාජිකයන් එහි නොසිටින බව ය. කවුරු ඇත්ත කියන්නේද යන්න ප්‍රශ්නයකි. හමාස් සංවිධානය ක්‍රියාත්මක වන්නේද මෙවැනි ස්ථාන හරහා යන්න ප්‍රතික්ෂේප කළ නොහැකි තත්ත්වයකි. එහෙත් මෙය ගාසා හි මානුෂික ඛේදවාචකය පෙන්නුම් කරන හොඳම උදාහරණයකි. නිරන්තරව බිලිඳුන් මියයන්නේ නිසි ප්‍රතිකාර නොලැබීමෙනි.

ගාසා රෝහල මතක්වන අතරතුර ලංකාවේ රෝහල් ගැන තරු විසිවෙන පුවතක් බීබීසී සිංහල සේවය මගින් පසුගියදා වාර්තා කර තිබිණි. එය අන් කවරක්වත් නොව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවට එක්වූ විදෙස් වෛද්‍යවරුන් වැඩිම සංඛ්‍යාවක් පැමිණි රටවල් 5 අතරට ශ්‍රී ලංකාවද එක්ව ඇති බවයි. ගාසා රෝගීන් ගැන නොව අපට කණගාටු හිතෙන්නේ ලංකාවේ රෝගීන්ට අත්වන ඉරණම ගැනය. නිදහස් අධ්‍යාපනයෙන් උපරිම වාසිය ලබා ගෙන ලංකාවට ටටා කියන්නේ කවුරුන්ද? ඔවුන්ට ප්‍රශ්නය බදු වැඩි කිරීමද? ලන්ඩන් රෝහල්වල සේවය කළ ද බදු ගෙවන්නට සිදුවේ. එහි බදු පැහැරහරින්නට බැරිය. 2022 වසරේදී බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට බඳවා ගත් වෛද්‍යවරුන්ගෙන් 63%ක් එනම් තුනෙන් දෙකක් විදෙස් රටවල සුදුසුකම් ලැබූ වෛද්‍යවරුන් බව එරට වෛද්‍ය මහා සභාව අනාවරණය කර තිබේ. 2021 වසරේදී මෙරටින් ගිය වෛද්‍යවරුන් සංඛ්‍යාව 400කට ආසන්න අගයක් ගෙන ඇති අතර, 2022 වසරේදී 500 ඉක්මවා තිබේ. එනම්, 2020 වසරට සාපේක්ෂව දෙගුණයක ඉහළ යෑමකි. 2012 වසරේ සිට 2020 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් බ්‍රිතාන්‍යයේ සේවයට ගිය වෛද්‍යවරුන් සංඛ්‍යාව වසරකට 250කට වඩා අඩු සංඛ්‍යාවක පැවතුණු බව බ්‍රිතාන්‍යයේ වෛද්‍ය මහා සභා වාර්තාව අනුව පෙනී යයි. දැන් ඇත්තටම ප්‍රශ්නයක් මතුව තිබේ. දැන් මෙරට බදු ගෙවන ජනතාවගේ මුදලින් වඩා හොඳින් අධ්‍යාපනය ලැබූ පිරිස අවසානයේ සේවය සලසන්නේ කාටද? තමන්ගේ අම්මා තාත්තාටද? පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාල එපා කියමින් දෙවනත් කරන පිරිස රට හැර යන වෛද්‍යවරුන් ගැන කතා නොකරන්නේ මන්ද? ඒ සදාචාරය කුමක්ද? බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවට වැඩියෙන්ම විදෙස් වෛද්‍යවරුන් එක්ව ඇත්තේ ඉන්දියාවෙනි. මෙය ඉන්දියාවට ප්‍රශ්නයක් නොවූවද මේ කුඩා දූපතට නම් ප්‍රශ්නයකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම් පවසන්නේ මෙරට රැඳී සිටින වෛද්‍යවරුන් වැටුප්, නිල නිවාස ඇතුළු ප්‍රශ්න රැසකින් පීඩා විඳින බවයි. එය ඔවුන් හැමදාම කියන්නකි. යුතුකම ඉටුකරන්නට මේ රටේම නවතින වෛද්‍ය ප්‍රජාවට නම් අපේ ගෞරවය හිමිවන බව නම් සටහන් කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment