ආර්ථික අර්බුදය හමුවේ රජය ගත් නිවැරදි ක්‍රියාමාර්ග ගැන ජාත්‍යන්තර විශ්වාසය ලැබිලා – අගමැති දිනේෂ් ගුණවර්ධන

205

ආර්ථික අර්බුදය හමුවේ රජය ගත් නිවැරදි ක්‍රියාමාර්ග නිසා ජාත්‍යන්තර විශ්වාසය ලැබී ඇති බවත් මේ නිසා නිසි කළමනාකරණයක් යටතේ සාර්ථක ඉලක්කවලට පහසුවෙන් ළඟා විය හැකි බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (28 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාව පිළීබඳ පැවති විවාදයට එක් වෙමින් අගමැතිවරයා මේ බව කීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද කීය.

එදා පැවැති තත්ත්වය වෙනස් කරමින් ආණ්ඩුව අත්‍යවශ්‍ය සේවා යථාවත් කිරීමටවත් වගා කටයුතු යළි ආරම්භ කිරීමටත් කටයුතු කළා.

අපේ රජයේ ක්‍රියා මාර්ග නිසා ජාත්‍යන්තරයේ විශ්වාසය ඇතිවී ඔවුන්ගේ සහය ලැබෙමින් පවතිනවා. රැකියා ලක්‍ෂ ගණන් අහිමි විය හැකි බවට විවිධ අය අනාවැකි කීවත් රාජ්‍ය සේවකයන් එක් අයෙකුවත් අපි එළියට දැම්මේ නැ. ලොව අන් රටවල්වල රාජ්‍ය රැකියා පවා ලක්‍ෂ ගණන් අහිමි වුණේ අපේ එකඟත්වයෙන් රට ආරක්‍ෂා කළා.

2023 පළමු කාර්තුවේ ලක්‍ෂ 4 ඉක්මවා විදේශ සංචාරකයන් ගෙන්වා තියෙනවා. එය නිසි ලෙස කළමනාකරණය කළොත් පෙර තිබූ ඉලක්කවලට පහසුවෙන් ළඟාවී අවශ්‍ය ආදායම ලබාගත හැකියි.

බදු පැනවීම නිසා ජනතාවට යම් ගැටලු ඇතිවී තියෙනවා.

අයි.එම්.එෆ්. ගිවිසුම මගින් අපේ රට මුළු ලොවටම විවෘත කර තිබෙනවා. ආයෝජනවලට ඉන්දියාව, බංග්ලිදේශය අපට විශාල ලෙස උපකාර කළා. ජාත්‍යන්තර සහාය තුළ ගමන් කිරීමට මූල්‍ය අරමුදල් ගිවිසුම උපකාරී වෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක (ජාජබ)- මෙම යෝජනාවට අපි විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරනවා. මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තු එකඟතාවකින් තොරව ණය නොගෙවීමට තීරණය කරනවා. ඒ වගේම මූල්‍ය අරමුදලේ ගිවිසුම අත්සන් කරන තෙක්ම පාර්ලිමේන්තුව දැනුවත් කරන්න කිව්වත් දැනුවත් කළේ නෑ. එකඟතාවකට එනවා නම් එකඟ විය යුත්තේ කුමක්ද කියලා කලින් කිව යුතුයි. එහෙත් ඒ කිසිවක් සිදුවූයේ නෑ.

ඒ වගේම ජනපතිවරයා වියරුව කටයුතු කරනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දේපළ පවරා ගන්නවාලු. ආචාර්යවරුන්ගේ සාධාරණ ඉල්ලීමක් පවතිනවා. ඒත් ජනපතිවරයා උමතුව කටයුතු කරනවා. කොටස් වෙළෙඳ පොළ වසා දමනවා කියා තර්ජනය කරනවා. බැංකුවලට තර්ජනය කරනවා.

2021 හා සැසඳීමේදී අපනයන ආදායම සියයට 11 කින් අඩුවෙලා. සීනි, කිරිපිටි භාවිතය විශාල ලෙස අඩුවෙලා. පලතුරු සියයට 52 කින් ආනයනය අඩුවෙලා. ගොඩනැඟිලි ද්‍රව්‍ය ආනයන වියදම අඩුවෙලා. පරිභෝජනය අඩුවෙලා. ආනයන අඩුවෙලා. ඩොලර් බිලියන 11 කින් ආර්ථිකය හකුලලා. එහෙනම් ආර්ථිකයේ වර්ධනයක් කියන්නේ කොහොමද? අපි විදෙස් ණය මේ වනතෙක් ගෙවා නෑ. ඩොලර් බිලියන 5.3 ක් ණය ගෙවා නෑ. එහෙනම් අපි ස්ථාවරයි කියන්නේ කොහොමද? මෙය මතුපිටින් හදපු ආරෝපණයක් විතරයි. ලැබෙන මුදලින් ආර්ථිකය පවත්වාගෙන යාමක් පමණයි සිදුවන්නේ.

අපේ රටේ ඩොලර් හිඟය ඇති වුණේ ආර්ථික දේහයේ ක්‍රියාකාරීත්වය නිසයි. ආර්ථිකය හැකිලුනා. ණය අරගෙන මේ ණය ගෙවන්න බැහැ. ණය කපා හරී කියා බලාගෙන ඉන්නවා.

අයවැය පරතරය අඩු කර ගැනීමට වැඩි ආදායම් තව වැඩිකර ගන්න ආණ්ඩුවට සිදුවෙනවා. මේ නිසා ජනතාව දරාගත නොහැකි ජීවන බරක් ලැබෙනවා.

අද වෘත්තිකයන් රට හැර යනවා. සීමා සහිත පුහුණුව ලබා ගන්න වෛද්‍ය උපාධි ලබාගත් ශිෂ්‍ය පිරිසක් ඇවිත් නෑ. රෝහල් අඩාල වෙලා.

ටි්‍රලියන 30 ක් දේශීය ණය තියෙනවා. මින් 12.8 ක් රජය කලින් අරන් තියෙන ණය. අනිත්වා ඩොලර් ණය. මහ බැංකුව, ලංකා බැංකුව, ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව, අර්ථ සාධක අරමුදල, ඊ.පී.එෆ් ණය අරගෙන දැන් ණය කපා හරින්න හදනවා. රුපියල් කෝටි 9000 ක් කපා හරින්න යනවා. ඒ කැපුවත් වෘත්තීය සමිති පාරට එනවා. මේ ණය කපන්නැයි බැංකුවලට තර්ජනය කරනවා.

රාජ්‍ය ආයතන විකුණන්නේ ආර්ථික උපාය මාර්ගවලට නොවේ. ආණ්ඩුවේ අරමුණ ඒවා විකුණා ජීවත් වීමයි. ලංකා හොස්පිටල් ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව, ටෙලිකොම්, ලිට්‍රෝ යන ලාභ ලබන ආයතන විකුණන්නේ මඩිය තරකර ගන්න. අද අපට ආර්ථික දේහයේ පරිවර්තනයක් අවශ්‍යයි. ඒ සඳහා ක්‍රමවත් සැලැස්මක් අවශ්‍යයි.

මේ අවුරුදු 4 ඇතුළත තවත් ඩොලර් බිලියන 20 ක් ණය ගන්න සැලසුම් කර තියෙනවා. ණය ගෙව්වත් ණය කැපුවත් ප්‍රමාණය අඩු වෙන්නෙ නෑ. ඩොලර් ටි්‍රලියන ගණන් ණය අරන් රට හදන්න බැරිවූ අප ඩොලර් බිලියන 2 ක් ණය අරන් රට හදනවාලු. මොන බොරුද මේවා. මේ දේශපාලන සංස්කෘතිය ගැන වෙනස් නොකර ආර්ථිකය හැදීම ගැන කතා කිරීම මිථ්‍යාවක්. මේ ගිවිසුම මහ පොළොවේ යථාර්ථයට විසඳුමක් නොවෙයි.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් (ටීඑන්ඒ) : මූල්‍ය අරමුදලේ දින 3ක විවාදය අනවශ්‍ය විවාදයක්. රුපියල් මිලියන 25.25ක් දවසකට පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට වැය වෙනවා. මේ විවාදය කිසි වැදගත්කමක් නෑ. ගිවිසුම මේ වනවිට අත්සන් කර ඉවරයි. ගිවිසුම අත්සන් කරන්න පෙර විවාද කළානම් හොඳයි. නමුත් දැන් අත්සන් කර ඉවරයි. අපි මේ ඡන්දයට ඉන්නේ නෑ.

ගිවිසුම ගැන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට හරි අවබෝධයක් නැති බව ඔවුන් කරන කතාවලින් පේනවා. මූල්‍ය අරමුදල සමග ඉතා අඩු කාලයකින් රටවල් අත්සන් කළත් අපේ රටට විශාල කාලයක් ගතවුණා. අපි ගිවිසුමේ කොන්දේසි ඉටුකරලයි ගිවිසුම අත්සන් කළේ. අපිට කොටස් වශයෙන් මුදල් ලැබෙන්නේ. අවසාන ගෙවීම අපට ලැබෙන්නේ 2027 මාර්තු මාසයේදී.

රට මේ තත්ත්වයට ඇදලා දැම්මේ රටේ විශේෂඥයන් කියන දේ අහන්නේ නැතිව දේශපාලකයන් ඔවුන්ට ඕන දේ කළ නිසයි.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් (සජබ) : අයිඑම්එෆ් එක බිල්ලෙක් වෙන්න බැහැ. මොකද රටවල් අටක් හැර හැම රටක්ම සාමාජිකයන්.

ආර්ථික න්‍යායන් බටහිර මොඩලයේ න්‍යායන්. රටකට ඔක්කොම හරියනවාද කියා සලකා බැලිය යුතුයි. ආණ්ඩුව දැනගත යුතුයි රටට අවශ්‍ය දේ තෝරා ගන්න.

අයිඑම්එෆ් එකට ගිහින් ගොඩගිය රටවල් තියෙනවා. තායිලන්තය, ඉන්දුනීසියාව, ජෝර්දාන්, මෙක්සිකෝව, ඉන්දියාව, කොරියාව ගොඩගිය රටවල්. ටැන්සානියාව අසාර්ථක වුණා. ග්‍රීසිය අද වනතුරු අරමුදල උපකාර කළත් අසාර්ථකයි. ආජන්ටිනාව අසාර්ථකයි. ඩොලර් බිලියන 90කට වඩා ඔවුන්ට ණය දුන්නා. ලංකාව 16වතාවක් මූල්‍ය අරමුදලට ගියා. 2005 අයිඑම්එෆ් එකට ගිහින් ඩොලර් බිලියන 2.5ක ලොකු ණයක් ගත්තා. නමුත් ඒ ආණ්ඩුවට මූල්‍ය විනයක් නොතිබූ නිසා සාර්ථක වුණේ නෑ. චීන ණය අරන් සුදු අලි ව්‍යාපෘති කළා. ඒ නිසා රට කඩා වැටුණා. ආණ්ඩුව හරියට මූල්‍ය විනයක් ඇති කළේ නෑ.

අයිඑම්එෆ් එකට විතරක් දොස් කියලා වැඩක් නෑ. 2005 හිටපු ආර්ථික ඝාතකයා තමයි 2020ත් ආවේ. අදත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වීම පමණයි සිදුව ඇත්තේ. අනෙක් සියල්ල ඉන්නවා.

වාමාංශික, ජාතික මාමක පිරිස් 2004 සිට ආණ්ඩුවල සිටියා. ඔවුන්ගේ ක්‍රියාවන් ජාති මාමක, වාමාංශික නෑ. හැම දේටම විරුද්ධ වුණා. ඒ නිසා රටට අවාසි තීන්දු තීරණ තමයි රටේ ක්‍රියාත්මක වුණේ. මේ තීරණ අයිඑම්එෆ් කොන්දේසිවලට වඩා බරපතළයි.

අද ගිවිසුම අනුව විදේශිකයන්ට බදු සහන දෙන්න එපා කියලා තියෙනවා. ඒත් පසුගිය ආණ්ඩු ෂැංග්‍රිලා හෝටලයට හා තවත් ව්‍යාපෘතිවලට බරපතළ බදු සහන දුන්නා. කොළඹ වරාය පර්යන්තය විකුණුවා. ඔවුන්ට විශාල ලෙස බදු සහන දුන්නා. මන්නාරමේ සුළං විදුලි ව්‍යාපෘතියට බදු සහන ඇතිව අදානිට දුන්නා. මේවා මහා අපරාධ. අපේ ශ්‍රී ලංකාවේ සමාගම්වලට බදු ගහන ගමන් විදෙස් සමාගම්වලට විශාල ලෙස බදු සහන දෙනවා.

මේ වැරදි වැඩ තවම කරන ආණ්ඩුවලට සහය දෙන්න පුළුවන්ද? තවම ඉන්නේ පරණ සෙට් එකම තමයි. අර්බුදය ඇතිවෙන්න පෙර සිටම අපි මූල්‍ය අරමුදලට යන්න කිව්වත් ගණන් ගත්තෙම නෑ. බැසිල් රාජපක්ෂ, මහ බැංකු අධිපති අපිව සමච්චලයට ලක් කළා. මාර්ග සිතියමකට අනුව යන්න ගිහින් කතා කරන්න කියලා අපි කිව්වා. ඒත් රජය

ඇස්වසාගෙන ගිහින් කතා කරලා අත්සන් කළා. රජය එකඟ වූ සමහර කොන්දේසි ජනතාවට දරා ගන්න බැහැ. සමහර කොන්දේසි ප්‍රායෝගික නෑ.

බදු එකවරම බින්දුවේ සිට සියයට 12 දක්වා ආයතනවලට බදු ගැහුවා. ඒ බදු ගහන ගමන් විදෙස් ආයෝජනවලට සහන දුන්නා.

විදේශ ඇමැති අලි සබ්‍රි : මූල්‍ය අරමුදලට වඩා වෙන විකල්පයක් කවුරුවත් මේ වනතෙක් ඉදිරිපත් කළේ නෑ.

අපි එදා ආණ්ඩුවට බල කළා මූල්‍ය අරමුදලට යායුතුයි කියලා. නමුත් අදෘෂ්‍යමාන බලවේගයක් එය නවත්වාගෙන හිටියා. අපට කළ හැකි උපරිම බල කිරීම අපි කළා.

විවේචනය කරන කවුරුත් කිසිම ප්‍රශ්නයකට විසඳුම් ඉදිරිපත් කරන්නේ නෑ.

අඩුම බදු ගෙවීමේ ප්‍රතිශතයක් තියෙන්නේ ශ්‍රී ලංකාවේ. ඒ බදු දැල ශක්තිමත් කිරීමට හා බදු හිල් වසා දැමීමට කිසිම විසඳුමක් ඉදිරිපත් කරන්නේ නෑ.

අපි ණය ගෙවීමට වැඩපිළිවෙළක් හදනවා. ඒ වගේම ඩොලර් බිලියන 14ක් පමණ ණය කපා හැරීමට යෝජනා වී තිබෙනවා. අපි ඩොලර් උපයා ගැනීමේ උපාය මාර්ග සියල්ල මේ වනවිට ඉදිරියට ගෙන යමින් පවතිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment