හිඟන පාත්‍රයට තවමත් ඩොලර් වැටී නැත…! අඹ පැනයේ සිට ඩොලර් පැනය දක්වා

289

දේශපාලන මෙන්ම සමාජ, ආර්ථික හා සංස්කෘතික වසයෙන්ද බරපතළ කඩා වැටීමකට ලක්ව, ඒ පිළිබඳ මතු වී තිබෙන වාද විවාද සංවාද සියල්ලම මොහොතකට යටපත් කිරීමට පොසොන් උදාවටත් එයින් පිබිදුණු ජනතාවටත් හැකි වූ බව සැබෑවකි. එහෙත් එය හෝරා කීපයකට හෝ දින කීපයකට පමණක් සීමා වූ අස්වැසිල්ලක් බවද සඳන් කළ යුතුය. අදට වසර දෙදහස් ගණනකටත් පෙර මෙරටේ අසාමාන්‍ය ආධ්‍යාත්මික පෙරළියකට මෙන්ම භෞතික සංවර්ධනයකටද හේතු වූ ඒ පොසොන්දා සිදුවූ මහින්දාගමනයෙන් ජාතියට දායාද කළ සියල්ල නොවුවත් වැඩි ප්‍රමාණයක් අද වනවිට විනාශ වී ගොසින්ය. එදා මිහිඳු හිමියන් විසින් නගන ලද අඹ පැනයට පිළිතුරු දෙමින් දෙවනපෑතිස් නිරිඳුන් පළකළ පැණසර බව රාජ්‍ය තාන්ත්‍රික විලාසය ඩොලර් ප්‍රශ්නයට යට වී සිටින වත්මන් නිරිඳුන්ගෙන් අපේක්‍ෂා කළ නොහැකිය. එසේම එකල දඹදිව ලෙස ප්‍රකටව තිබුණු නූතන ඉන්දියාව, පෙරදිග මුතුඇටය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාව දෙස බැලූ ආකාරයත්, මේ රට පිළිබඳව ඔවුන් තුළ වූ ගාම්භීර චිත්‍රයන් අද ඉන්දීය නායකයන් තුළ තිබේද යන්නත් ප්‍රශ්නයකි. ඉන්දීය ඉතිහාසයේ පමණක් නොව ලෝක ඉතිහාසයේද සුවිශිෂ්ට අධිරාජ්‍යයකු ලෙස පිළිගත් ධර්මාශෝක හෙවත් අසෝක ලංකාවට දායාද කළේ තමන්ගේ ආධ්‍යාත්මය පරිවර්තනයකට ලක් කළ අසිරිමත් බුදුදහමත් ඒ හා බැඳුණු සාරධර්ම පද්ධතියත්ය. බුදුදහම හුදු ආගමක් පමණක් නොවන බව වටහා ගත් මේ ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා ඒ ගාම්භීර පණිවුඩය ලොවේ රටවල් ගණනාවකටම ලබා දීමට ක්‍රියා කළේය. එහිදී අසෝක අධිරාජයා ලංකාවට දැක්වූ සුවිශේෂ ගෞරවය සංකේතවත් වූයේද තම පුත්‍ර මිහිඳු හිමියන්ව ඒ සද්කාරයට තෝරා ගත් ආකාරය නිසාමය.

ලංකාවට ලොවම මවිත කළ සදාචාර පදනමක් මෙන්ම විස්මිත රාජ්‍යයක් ගොඩනගා ගැනීමටත් හැකි වූයේද මහින්දාගමනයෙන් සිදුවූ අභිනව සංස්කෘතික හා සභ්‍යත්ව වර්ධනය නිසා බව විද්වත්හු අවධාරණය කරති. ඒ ආධ්‍යාත්ම ප්‍රකාශනයේ විචිත්‍ර පරිච්ඡේදයක් ලෙස එදා අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැගුණු සමාජ, ආර්ථික සංස්කෘතික හා සෞන්දර්ය කලාව අදත් ලොවටම තහවුරු කරයි. එනිසා ලාංකික ඉතිහාසය මෙන්ම දේශපාලනය විමර්ශනය කරන කිසිවෙකුට ඒ මහින්දාගමනයත් එයින් විකසිත වූ ලාංකික සංස්කෘතික ආධා්‍යාත්මයත් බැහැර කළ නොහැකිය. ලංකාව පසුකාලීනව මුහුණ දුන් ආක්‍රමණ මෙන්ම අවසාන දසක කීපය තුළ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යටත් විජිත බවට පත්වීමද ඒ අසෝක දායාදයට බරපතළ අලාභහානි සිදු කළ බවද රහසක් නොවේ. මෙරටේ ස්ථාපිතව තිබුණු සංස්කෘතික වටිනාකම් මෙන්ම බෞද්ධ දර්ශනයෙහි ආභාසයෙන් උත්කර්ෂයට පත්වූ සමාජ දේශපාලන ආර්ථික හා සංස්කෘතියද ඒ ආක්‍රමණ නිසා අප්‍රමාණ විකෘතීන්ට ලක්වූ බවද නිසැකය. එහෙත් ඒ විකෘතීන් ප්‍රකෘති තත්ත්වයට පත් කර ගත නොහැකි වූයේ ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් නිදහස්ව මෙරටේ පාලනය භාරවූ දේශපාලන ප්‍රභූ පන්තියට පුළුල් හා ගැඹුරු දැක්මක් නොවූ නිසා බවද කිව යුතුය.

1948න් ආරම්භ වී අද දක්වා (2022) පැමිණි ඒ දේශපාලන, සමාජ ආර්ථික හා සංස්කෘතික ප්‍රවාහයේ බරපතළම කඩා වැටීම වර්තමාන පාලන සමයේදී දැක ගත හැකිය. අපට පෙනීයන ආකාරයට එදා බුදුදහම තුළින් අප ලැබු උදාරත්වය සංස්කෘතික හා ආධ්‍යාත්මික සුපෝෂණය, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, නීතියේ හා යුක්තියේ අභිමානය, සමානාත්මතාව ආදී සියල්ලම නාය යමින් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් යනු මතුපිටින් සංවාදයට ලක්වන දෙයක් බවට අද පත්ව තිබෙන අතර එහි වගකීම නිදහසින් පසු මෙරට පාලනය කළ සියල්ලෝම භාරගත යුතු වෙති. නීතිය යනු මුළුමහත් රටවැසියා පමණක් නොව ඉහළම පාලකයා ඔහුගේ කාර්ය මණ්ඩල හා රාජ්‍ය නිලධාරීන්ද යටත් විය යුතු පදනම වුවත් අද එය දැඩි පසුබෑමකට ලක්ව තිබේ. රාජ්‍යයට හෙවත් එය භාරව සිටින පාලකයන්ට අවශ්‍ය වී ඇත්තේ ඒ නීතිය යටපත් කිරීමට බව සනාථ කළ හැකි නිදසුන් අප්‍රමාණව තිබේ. රටක් ආරක්‍ෂා වන්නේ නීතියේ ආධිපත්‍යයට දක්වන ගෞරවය තිබෙන තාක් පමණි. ජේ. ආර්. ජයවර්ධනගේ සිට රාජපක්‍ෂවරුන් දක්වා දිවෙන මෙරටේ පාලනය කිසිසේත්ම ලෝකයේ පිළිගත් ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායන්ගෙන් හෝ එදා මහින්දාගමනයෙන් අපට දායාද කළ දර්ශනය ඔස්සේවත් ගොඩ නැගුණු එකක් නොවේ. ජවර්ධනගේ පටු ආත්මාර්ථකාමී බලයට සරිලන පරිදි ගොඩනගාගත් 1978 ව්‍යවස්ථාව ජනසම්මතයට කෙතරම් පටහැනි වුවද කිසිවෙක් එය වෙනස් කිරීමට ඉදිරිපත් නොවූහ. වරින්වර දේශපාලන වේදිකාවලදී නම් එබඳු බිරුම් හඬවල් ඇසුණි. එහෙත් යථාර්ථය නම් ඒ දූෂිත ප්‍රවාහය තව තවත් වැඩෙමින් ගලා ගිය බවය. අදටත් ගලා යමින් තිබෙන බවය.

හිඟන පාත්‍රයට තවමත් ඩොලර් වැටී නැත…! අඹ පැනයේ සිට ඩොලර් පැනය දක්වා

රාජ්‍ය පාලනය පිළිබඳ හින්දු මතවාදවලට බලපෑ කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රයෙහි සඳහන් වන “මැකියාවේලී දර්ශනය තහවුරු කෙරෙන බලය සඳහා බලය අවශ්‍යය” යන සංකල්පය බුදුන් වහන්සේ ප්‍රතික්‍ෂේප කළහ. දේශපාලනය ධාර්මික ව්‍යාපාරයක් විය යුතු බව බුදුහු වදාළහ. දසරාජ දහම් පිළිවෙත රජුන් විසින් අනුගමනය කළ හැකි නම් එබඳු පාලනයක් උතුම් බවද උන්වහන්සේ අවධාරණය කළහ. රාජ්‍යයක යුතුකම රටවැසියා සුඛිත මුදිත කිරීම බවද එදා උන්වහන්සේ ඇසුරු කළ කෝසල, බිම්බිසාර වැනි රජවරුන්ටද පෙන්වා දුන්හ. එසේම එකල පාලකයන්ට ළංව සිටි බමුණන්ගේ උපදේශය වූයේ රටට හා රජවරුන්ට සමෘද්ධිය ලබා ගැනීමට යාග පූජා සිදු කළ යුතු බවය. එහෙත් ඒ මතය ප්‍රතික්‍ෂේප කළ බෞද්ධ උපදේශය වූයේ සමෘද්ධිය ලබා ගැනීමට මෙන්ම අපරාධ දුරු කිරීමට එකම මාර්ගය ආර්ථික සංවර්ධනය බවය. මේ බුදුන් වහන්සේ විසින්ම දේශනා කරන ලද ආර්ථික සංවර්ධනයට අදාළ වූ විශ්ලේෂණයක සංක්ෂිප්තයකි.

“සමෘද්ධිය ලබා ගැනීමත්, අපරාධ දුරු කිරීමත් ඉටු කර ගත හැක්කේ සම්පූර්ණ වසයෙන් රැකියා සැපයීම සම්බන්ධයෙන් සහතික වීමෙන්ද එමගින් ආර්ථිකය සංවර්ධනය කිරීමෙන්ද පමණය… රජතුමනි ඔබතුමාගේ රට උවදුරෙන් මිරිකුණේ වෙයි. කොල්ලකනු ලැබීමෙන් පීඩාවට පත්ව තිබේ. ව්‍යාප්ත වී සිටින මංකොල්ලකරුවෝ ගම්ද නගරද කොල්ලකති. ඔවුන් නිසා මාර්ග උපද්‍රව සහිත වේ. මෙසේ උවදුරුවලින් රට පෙළමින් සිටියදී රජතුමා අලුත් අයබදු පනවන්නේ නම් ඇත්ත වසයෙන් රජතුමා නොකට යුත්තක් කරන්නේය. මේ සොර උවදුර නිග්‍රහයට පත් කිරීමෙන් නෙරපීමෙන් දඩ ගැසීමෙන් හා බැඳ දැමීමෙන් මරණයට පත් කිරීමෙන් මම ඔවුන් වහා මැඩ පවත්වමියි රජතුමා සමහර විට සිතිය හැකිය. එහෙත් ඔවුන්ගේ මේ දාමරික ක්‍රියා සතුටුදායක පරිද්දෙන් නවතා දැමිය හැකිය. දඬුවම් නොලබා බේරුණු ඉතිරි පිරිස් රාජ්‍යය උවදුරෙන් පෙළීම නොකඩවා කරගෙන යනු ඇත. එහෙත් මේ උවදුර මුළුමනින්ම අවසන් කිරීම සඳහා අනුගමනය කිරීමට එක ක්‍රමයක් සංවිධානය කළ යුතුව තිබේ. ඔබතුමාගේ රාජ්‍යයෙහි යම් ක්‍රමයක් සංවිධානය කළ යුතුව තිබේ. ඔබතුමාගේ රාජ්‍යයෙහි යම් කෙනෙක් ගොවිතැන් කිරීමට හා ගවයන් රැකදීමට උත්සාහ කරත්ද ඔවුන්ට රජතුමා බත්ද බිජුවට ද දෙත්වා ෟ ඔබතුමාගේ රාජ්‍යයෙහි යම් කෙනෙක් වෙළඳාම සඳහා උත්සාහ කරත්ද ඔවුන්ට රජතුමා ප්‍රාග්ධනය දෙත්වා ! ඔබතුමාගේ රාජ්‍යයෙහි යම් කෙනෙක් රාජ්‍ය සේවයෙහි යෙදෙන්ට උත්සාහ කරත්ද ඔවුන්ට රජතුමා බත් වැටුප් දෙත්වා! ඒ මිනිස්සු තම තමන්ගේ කටයුතුවල යෙදීමෙන් රජතුමාගේ රට නොපෙළත්. රජතුමාගේ ආදායමද වැඩි වන්නේය. රජතුමාගේ රට සන්සුන් වන්නේය. සාමකාමී වන්නේය. ජනතාව තමන් කෙරෙහි සතුටු සිතින් යුක්තව සිය දරුවන් උරහිසෙහි නටවමින් නිවෙස්වල දොරටු නොවසා බියෙන් සැකෙන් තොරව වසත්.”

ඉහත දැක්වූ උපදේශය නූතන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට වුවද කිසිසේත්ම බැහැර කළ නොහැකිය. දියවන්නාවේ කිසි දිනක මෙබඳු සංවාදයක් ඇසී නැත. දේශපාලන වේදිකාවලද මෙබඳු සාධනීය විශ්ලේෂණ සිදුවී තිබේද? ප්‍රජාතන්ත්‍රවාද යනු හුදෙක් වැඩි දෙනෙකුගේ අභිමතය පරිදි සිදුවන පාලනයක් පමණක් නොව සදාචාර ප්‍රතිපත්ති හා ධාර්මිකත්වය මත පදනම් වූ බහුතරයකගේ අභිලාෂය විය යුතු සත්‍යයවාදී සාමුහිකත්වයක ඵලය බවද බුදුදහම පෙන්වා දී තිබේ. බුදුන් වහන්සේ අනුදැන වදාළ වජ්ජීන්ගේ පාලනය, ලිච්ඡවීන්ගේ විශිෂ්ටත්වය ඒ ප්‍රජාතන්ත්‍රවාදය මත ගොඩ නැගී තිබුණකි. එහෙත් අද අපට අපේ දේශපාලන නායකයන් විසින් ඉතිරි කොට තිබෙන පාලනය කෙබඳු එකක්දැයි අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ජයවර්ධනගෙන් ඇරඹුණු ඒ දේශපාලන සාහසිකත්වය ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද යුග පසුකරමින් ගෝඨාභය තෙක් ඇදී ආවකි.

කෙසේ හෝ ජනාධිපති ගෝඨාභය අද ඒ දූෂිත ක්‍රමය, තවදුරටත් නඩත්තු කරමින් සිටින බවට ගාලුමුවදොර විරෝධතාකරුවෝ පමණක් නොව ඔහුගේ දේශපාලන ව්‍යාපාරයෙහි පාර්ශ්වකරුවන්ගෙන් සමහරුද චෝදනා කරති. ජනාධිපති ගෝඨාභය සමග වේදිකාවල මොරදුන් වියත් මගද අද දියවී ගියාක් මෙනි. පසුගිය දිනක රූපවාහිනී සංවාදයකට එක්වූ මහාචාර්ය චරිත හේරත් ප්‍රකාශ කළේත් ඒ වියත් මගට තමන්ව ඇතුළත් කර ගැනීම ප්‍රතික්‍ෂේප කළ බවකි. අද නම් මේ වියත් මග නියෝජනය කරන්නෝ කවරහුදැයි අපි නොදනිමු. එහෙත් ජනාධිපති ගෝඨාභයට මුහුණ දීමට සිදුව තිබෙන විවේචනවලට පමණක් නොව ඇතැම් අසාර්ථක ක්‍රියාන්විතයන්ටද ඒ වියත් මග නමින් සිටි හරක් රැළ වගකිවයුතු බවද නිසැකය.

කෙසේ හෝ අද තිබෙන්නේ එදා ජනවරම ලබා දුන් රාජපක්‍ෂ පාලනය නොව වෙනත් දේශපාලන විකෘතියක් බව බොහෝ දෙනෙක් කියති. ඒ අනුව අද පාලනය කෙරෙන්නේ ගෝඨාභය – රනිල් හවුලකි. ගාලුමුවදොර විරෝධතා කුණාටුවට හසුවූ මැදමුලන රාජපක්‍ෂ රුකෙහි ප්‍රබල අතු අද බිඳී ගොසින්ය. කුඩා ශාඛාද ගිලිහී ඇත. ඒ මොනවා වුවත් ජනාධිපතිවරයාගේ ඇරයුම පිළිගෙන කඩා වැටුණු ආර්ථික සමාජ දේශපාලනය යළි නගා සිටුවීමට පැමිණි අගමැති රනිල්ටද මෙතෙක් ජනතාවට සුළු සහනයක් හෝ සලසා දීමට නොහැකිවී තිබේ. ගාලුමුවදොර විරෝධතාකරුවෝ තවමත් ගෝඨා ගෝ හෝම් සටන් පාඨය බිම දමා නැති වුවත් කිසියම් ඉවසීමකින් (අනුමතියක් නොවේ) අද සිදුවන දේශපාලන ක්‍රියාදාමය දෙස බලා සිටිත් ද? අපට වැටහෙන ආකාරයට නම් තවමත් සමස්තයම අවුල් ජාලයකි. අගමැති රනිල් විවිධ මාධ්‍යවේදීන් හමුවී කරනු ලබන ප්‍රකාශවලට අමතරව රටේ ප්‍රශ්න විසඳන දේශපාලන සිතියමක් සකස් කර ගත් බවක් නම් නොපෙනේ. මේ කැබිනට් මණ්ඩලය ගැන බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ අලුත් බෝතල්වලට පරණ වයින් පිරවූ හමගිය උපමා කතාවය. එහි තේරුම නම් මේ කිසිවකුට රටේ අර්බුදවලට විසඳුමක් නැති බවය.

පසුගිය දිනක හිටපු ඇමැති දැන් ස. ජ. බයෙන්ද ඉවත්වී ස්වාධීනව සිටින පාඨලී චම්පික කීවේද මේ විශාල ඇමැති මණ්ඩලය හෝ එයට තවත් රාජ්‍ය ඇමැතිවරුන් එක් කිරීම හෝ නිෂ්ඵල බවය. ඔහුගේ යෝජනාව මන්ත්‍රීවරුන් සියල්ලම දායක කරගත් කමිටු මගින් විසඳුම් සොයා ගත යුතු බවය. දැන් ඉන්ධන හිඟය උග්‍රය. භූමිතෙල් පවා නැත. ගෑස් අර්බුදය අහසට නැග තිබේ. ඖෂධ හිඟය මිනිස් ජීවිත බිලිගන්නා තත්ත්වයට වර්ධනය වී තිබේ. ඒ පිළිබඳ මාධ්‍යවල පළවූ හද කම්පාකරවන පුවත්ද බොහෝය. ඖෂධ නොමැතිවීම නිසා අනුරාධපුර මධ්‍ය මහා විiාලයේ සිසුවකුට අත්වූ ගොරතර මරණය අපේ සෞඛ්‍ය බලධාරීන් තුළ කෙබඳු ප්‍රතිචාරයක් ඇති කළේදැයි නොදනිමු. එහෙත් මෙය අතිශය සංවේගදායක පුවතකි. මිදුලේ සෙල්ලම් කරමින් සිටි ඒ දරුවා සර්පයකු දෂ්ට කිරීමෙන් අනතුරුව අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත. රෝහලේ සර්ප විෂට දෙන ඖෂධ නොවීය. දරුවාගේ පියා බෙහෙත් තුන්ඩුව රැගෙන අනුරාධපුර නගරයම පීරා නියමිත ඔසුව සෙවූ නමුත් එය හමු නොවීය. ඔහු පෙරළා එනවිට දරුවා මිය ගොසින්ය. මේ ඔහු හඬ හඬා පැවසූ දුක්බර කතාවේ හදවතට රිදුම් දෙන වැකි කීපයයි.

“මං අඬ අඬා මුළු නුවරම බේත් හෙව්වා. මමයි දරුවයි එකම එක ඩොලරයක්වත් හොරකම් කරලා නෑ. ඒත් ඇයි අපට මෙහෙම උනේ.”

මෙයට පිළිතුරක් කිසිවෙකුට දිය හැකිද? රෝගීන් බෙහෙත් නැතුව මියැදෙන රටකට සෞඛ්‍ය සේවයක් කුමටදැයි අසනු හැර අපට වෙන කළ හැකි දෙයක්ද නැත. සත්තකින්ම අද ජනජීවිතය කෙතරම් අනාරක්‍ෂිතද? අසරණද? ඩොලර් හොරු, ජාතික සම්පත් වැනසූ හොරු අද සුවසේ සිටිති. අද ඉන්ධන, ගෑස් ආදිය ලංකාවට රැගෙන එන නැව්වලටවත් ගෙවීමට ඩොලර් නැත. ඇතැම්විට ඒවාට තවත් කෝටි ගණනක් (ලංකාවේ මුදලින්) රැඳවුම් ගාස්තු ලෙස ගෙවීමට සිදුවන බවද වාර්තාවේ. මොකක්ද මේ හිඟන රට යැයි අපි නොඅසමු. මේ රට හිඟන රටක් බවට පත්කළ දේශපාලන තක්කඩියෝත් උන්ට උඩ ගෙඩි දුන් බඩ ගෝස්තරවාදී අමනයෝත් ඒවාට වගකිව යුතු නොවෙත්ද?

අගමැති රනිල් හිඟන පාත්‍රය අතැතිව බලා සිටියත් එයට ඩොලර් එකක්වත් වැටෙන මගක් තවම නැත. පාර්ලිමේන්තුවේ කාරක සභාවලින් හෙළිවන්නේද මෙරට කෑ අමන නිලධාරීන්ගේ අන්තර් ජාතික ගැහිලි ගැනය. බොහෝ දෙනෙක් පට්ට ගසන්නේ පාර්ලිමේන්තුවේ 225ය. එහෙත් මේ වෘත්තීය මහත්හොරුන්ගේ හොරකම් මංකොල්ලකෑම්, ගසාකෑම් මොන තරම් තුච්ඡද? අලජ්ජීද? මෙරට අඳුරේ තැබූ විදුලි බල මණ්ඩලයේ සමහරු අද ආතතියෙන් පෙළෙතියිද වාර්තාවේ. මහ බැංකුවේ වාර්තා ද ඊට දෙවැනි නැත. පාර්ලිමේන්තු කාරක සභා ඉදිරියේ කිසිදු හිරිකිතයකින් තොරව ඒ මහ බැංකුවේ හිතුවක්කාරකම් වමාරන කිසිදු නිලධාරියෙකුට හෝ දඬුවම් දීමටවත් ක්‍රමයක් අපේ පාලන අධිකාරියට තිබේද. ඒ සියලු විනාශයන් දේශපාලනඥයන්ගේ අමනකම් ගොන්කම් හා තකතීරුකම් බව නිසැකය. එහෙත් එයට ලක්‍ෂ 220කට වන්දි ගෙවීමට සිදුවීම අපට තිබෙන ප්‍රශ්නයයි.

ජනාධිපති ගෝඨාභය කියන්නේ අසමත් වාර්තාව සමග ගෙදර යාමට බැරි බවය. එය අධිෂ්ඨානශීලී ප්‍රතිචාරයකි. එහෙත් ඔබට ඒ සමත් වාර්තාව ලබා ගැනීමට මේ නඩයත් සමග හැකි යැයි සිතන්නෙහිද. ඔබේ කණ්ඩායමේ වැඩි දෙනෙකුට තිබෙන වාර්තා යහපත් නැත. පොහොට්ටුවම ගත්තත් එහි බහුතරයකින් පළ වන්නේ හුදු ගොන් බවම පමණි. විපක්‍ෂ සම්බන්ධයෙන් වුවද තත්ත්වය මෙයම වේ. දේශපාලන බල්ටිකාරයන් හොර මැරකම් ගසාකෑම් ගැන චූදිතයන් ආදී විවිධ වර්ගයේ අපතයෝ අද මේ හැම තැනකම බහුලව සිටිති. රාජ්‍ය සේවයේ තත්ත්වයද කිසිසේත් යහපත් නොවේ. දේශපාලන චෞර වළල්ලත් උන් වටකරගත් ව්‍යාපාරික හා රාජ්‍ය සේවයේ හිවල්ලුත් සමග මේ දූෂිත ක්‍රමයම පෙරළා දමනතෙක් රටටත් ජනතාවටත් අනාගතයක් තිබේදැයි ගාලුමුවදොර විරෝධතාකරුවන් නගන ප්‍රශ්නය මොනතරම් සාධාරණද?

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment