ජනපති පුදුම කළ ඇමතිගේ දේශනය

1069

පෙට්‍රල්, ඩීසල් හා ගෑස් හිඟය නිසා මුළුමහත් රටක්ම අවුලෙන් අවුලට පත් දින කිහිපයක් ලෙස පසුගිය සතිය ගෙවී ගියේය. ගෑස් පුරවන ලද නෞකාවක් පැමිණ දින ගණනාවක් තිස්සේ කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා තිබුණත් ඒ සඳහා ගෙවීමට විදේශ විනිමය නොමැතිකමෙන් රටේ පවතින ගෑස් අර්බුදයට විසඳුමක් නොවීය.

අපහසුවෙන් මුදල් ගෙවමින් රටට ලබාගත් ඉන්ධන තොග රට පුරා ඇතිව තිබූ අධික ඉල්ලුම සපුරාලීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවූ නිසා පසුගිය දිනවල ඉන්ධන පිරවුම්හල් ඉදිරියේ දිවා රැයේ තැනුණු පෝලිම් ද සුළුපටු නොවීය.

ඒ අතරතුර රටපුරා වෙළෙඳසල්වල දේශීය සහල් සම්බන්ධයෙන් ඇතිව තිබූ හිඟයට ද රජය උත්තර සෙවිය යුතු විය. දවසින් දවස ඉහළ යන හාල් මිලට උත්තරයක් ලෙස රජය පාලන මිලක් නියම කිරීම හේතුවෙන් කඩ සාප්පුවල තිබූ සහල් තොගද අතුරුදන් වීමෙන් පොදු ජනතාව වෙත පැටවුණු ජීවන බර හා පීඩාව දෙගුණ තෙගුණ විය. අවසානයේ ජනතාවට පාලන මිලට තබා වැඩි මිලටවත් සහල් නොවීය.

රටේ තත්ත්වය එබඳු උණුසුම් වාතාවරණයක පවතිද්දී ජනාධිපති අගමැති ප්‍රමුඛ මැති ඇමැතිවරු මේ සඳහා කඩිනම් විසඳුම් සොයන්නට විවිධ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරන්නට වූහ. විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රාජ්‍ය තාන්ත්‍රික වශයෙනුත් පුද්ගලික හිතවත්කම් භාවිතයෙනුත් රට තුළ පවතින ඩොලර් හිඟයට විසඳුම් සොයන්නට උත්සාහ කළේ දැනට රට තුළ පවතින සියලු ප්‍රශ්නවල කේන්ද්‍රය උග්‍ර විනිමය හිඟය වී තිබූ නිසාය.

පසුගිය සතියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රටේ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන අලුත්ම තත්ත්වය විමසීමට ඇමැති කංචන විජේසේකර සමග කතාබහ කර සාගල රත්නායකට ද කතා කළේ ඊළඟට ගතයුතු පියවර කුමක් ද කියා සාකච්ඡා කරන්නටය. ඉන්ධන හා ගෑස් ගැටලුව සම්බන්ධීකරණය කිරීමට අග්‍රාමාත්‍යවරයා වැඩ පවරා තිබුණේ සාගල රත්නායකට ය.

ගෑස් අර්බුදය ගැන සාගල දුන් තොරතුරුවලට සවන් දුන් අගමැතිවරයා වහාම ලිට්‍රෝ ගෑස් සමාගමට නව සභාපතිවරයකු පත් කරන්නැයි උපදෙස් දුන්නේය. ඒ අනුව 2019 ට පෙර ලිට්‍රෝ සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයකුව සිටි මුදිත පීරිස්ට මෙම වගකීම බාරදීමට තීන්දු විය.

අගමැතිවරයා සාගලට දැනුම් දුන්නේ පත්වීමේ ලිපිය දීමට පෙර ලිට්‍රෝ සමාගමේ සැබෑ තත්ත්වය ගැන ඔහුව දැනුම්වත් කර වගකීම බාර ගැනීමට කැමති නම් පමණක් එය පවරන ලෙසය. මුදිත පීරිස් ඊට කැමැත්ත පළ කළේ ලිට්‍රෝහි සැබෑ තත්ත්වය ඔහු දන්නා බව පවසමිනි.

පසුව මුදිත පීරිස් පළමු රාජකාරිය ලෙස ලිට්‍රෝ සමාගමේ පැරණි සැපයුම්කරුවා වූ ඕමාන් ට්‍රේඩින් සමාගමට කතා කොට ඔවුන්ට නැවතත් ගෑස් සැපයුම් කොන්ත්‍රාත්තුව ලබාදීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කර තිබුණි. නව සභාපතිවරයා මේ ගැන අගමැතිවරයා ඇතුළු පිරිස දැනුම්වත් කිරීමට ද අමතක නොකළේය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉන්ධන වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 500 ක ණයක් අගමැති රනිල් ඉන්දියන් රජයෙන් ඉල්ලා තිබූ අතර ඊට අදාළව තොරතුරු සොයා බලන ලෙසට ද අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

● දේශපාලනයට පිවිසෙන අලුත් අමුත්තෙක්

මේ අතරතුර හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නික්ම යෑමෙන් පසුව දේශපාලනයට පිවිසෙන අලුත් අමුත්තකු ගැන ලොකු කතාබහක් පසුගිය දිනවල දේශපාලන කරළියේ පැතිර ගියේය. ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා දේශපාලනයට පිවිසෙන්නට නියමිත බවට කතාව පැතිර යද්දී ඒ බව සනාථ කරමින් ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ද ලැබගත් පුවත ප්‍රචාරය විය. ඒ අනුව ධම්මික පෙරේරා පිවිසෙන්නේ රජයේ යම් ආර්ථික මර්මස්ථානයක වගකීම් සහිත තනතුරක් සඳහා බවට වූ සමාජ මතය වඩ වඩාත් තහවුරු විය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ විදේශ අමුත්තන් කිහිප දෙනෙක් ද මුණගැසී රටේ පවතින ප්‍රශ්නය ගැන සාකච්ඡා කළේය. විදේශ තානාපතිවරුන් කිහිපදෙනෙක් ද හමු වන්නට ඔහුට අවශ්‍ය විය.

ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් ඇතුළු නිලධාරීන් පිරිසක් අග්‍රාමාත්‍යවරයා මුණ ගැසිණි. ඊට පෙර අගමැතිවරයා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනී බිලින්කන් සමඟ දුරකතන සංවාදයක ද නිරත විය. එහිදී ශ්‍රී ලංකාවේ තත්ත්වය පැහැදිලි කර දීමට අගමැතිවරයා කටයුතු කළ අතර මෙරටට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීමට ද එකඟතාවය පළ කළේය.

ඇමරිකානු තානාපතිනිය ද අගමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී සඳහන් කළේ ඇමරිකානු රජය සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන දැනුම් දෙන බවය. ඉන් පසුව ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ ඇමරිකානු රජය මෙරටට ඩොලර් මිලියන 120 ක මූල්‍ය පහසුකමක් සපයන බවය.

● ජනාධිපති ගෝඨා කනස්සල්ලෙන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ කාර්යබහුලව සිටියේය. එහිදී ඔහුගේ අවධානය දැඩිව යොමු වූ කාරණා කිහිපයක්ද තිබිණි.

විදුලිබල මණ්ඩලයේ සභාපති ෆර්ඩිනැන්ඩස් මහතා පසුගිය දිනක රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව හමුවට පැමිණ මන්නාරමේ යෝජිත සුළං විදුලි බලාගාරය සම්බන්ධයෙන් කරන ලද හෙළිදරව්ව පසුගිය සතියේ අපේ දේශපාලන කරළිය උණුසුම් කරන කාරණාවක් විය.

ලංකාවේ දේශපාලන කණ්ඩායම්වලට පමණක් නොව, මෙය ඉන්දියාවේ දේශපාලන කතිකාව දක්වාද පැතිර ගොස් තිබීම නිසා ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලකින් පසු වූයේය.

එබඳු ව්‍යාපෘතියක් රජයේ විනිවිද පෙනෙන කාර්ය පටිපාටියකින් පවරා දෙනවා මිස කිසිවෙකුටත් වාසිදායක පදනමකින් පවරා දෙන්නට තමන් කිසිදු උපදෙසක් දී නොමැති පසුබිමක මෙවන් වගකිව යුතු සංවේදී කාර්යභාරයක් ඉටුකරන රාජ්‍ය නිලධාරියෙක් එබඳු වගකීම් විරහිත ප්‍රකාශයක් කිරීම ගැන ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ කර සිටියේය.

ජනාධිපති මාධ්‍ය අංශය ජනාධිපතිවරයාගේ එම ස්ථාවරය ලිඛිතවම මාධ්‍ය වෙත දන්වා තිබෙනු අපට පසුගිය සතියේ දැකගත හැකි විය.

ඒ හැරුණු විට ජනාධිපතිවරයාගේ දැඩි අවධානයක් යොමුව තිබුණේ මේ දිනවල රට මුහුණ පා තිබෙන අර්බුදය ගැනයි. ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් හා ගෑස් සම්බන්ධයෙන් රටේ තිබෙන ඉහළ ඉල්ලුම සපුරාලීම කෙලෙසවත් රජයට පහසු වූයේ නැත.

ඒ හැරුණු විට මහා පරිමාණ සහල් නිෂ්පාදකයන්, අතරමැදි සහල් වෙළඳුන් දවසින් දවස රටේ සහල් මිල ඉහළ දැමීම තවත් බරපතළ ගැටලුවක් විය. ඒ සඳහා දෙපැත්තටම සාධාරණ ලෙස පාලන මිලක් ද ඉදිරිපත් කරන්නට රජය කටයුතු කළේ සහල් මිල එක් ස්ථාවරයක පවත්වාගෙන යෑම සඳහාය. එහෙත් ඉන් අනතුරුව වෙළඳපොළේ සිදු වූයේ ක්ෂණික සහල් හිඟයක් නිර්මාණය වීමයි. පසුගිය සතිය වන විට විවෘත වෙළඳපළේ ලොකු කුඩා සුපිරි හා සාමාන්‍ය අලෙවිසල්වල රටින් ගෙන්වන ලද සහල් වර්ග හැරුණු විට කිසිදු දේශීය සහලක් දැක ගන්නට නොහැකි විය.

● මිලියන 7500ක ජල පොල්ලක්…

මේ අයුරින්ම ජල සම්පාදන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමද පැවැත්විණි. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක ඇතුළු නිලධාරීන් රැසක් මෙම හමුව සඳහා පැමිණ සිටියහ.

ජනතාවට හිඟයකින් තොරව පිරිසිදු පානීය ජලය සැපයීම හා වර්තමානයේ ඒ සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලු හා දුෂ්කරතා මෙහිදී සාකච්ඡාවට බඳුන් වූහ. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2019 සිට මේ වන විට නව ජල සම්බන්ධතා 464,808ක් ජාතික ජල සම්පාදන මණ්ඩලය විසින් ලබා දී ඇති බවයි. 2022 අග වන විට මුළු රටේම පවුල් ඒකක 5,946,352 ක් දක්වා ජල සැපයුම ඉහළ නැංවීම තම ඉලක්කය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඉලක්ක කරා ළං වීමට ඇති දුෂ්කරතා ගැන ද මෙහිදී සාකච්ඡා විය. ඉන්ධන ප්‍රශ්න, විදුලිය බිඳවැටීම්වලට අමතරව ගාස්තු පැහැර හැරීම් තම ආයතනවලට ලොකු බාධාවක් බව නිලධාරීන් කරුණු කීහ. මේ වන විට රාජ්‍ය ආයතන, පාසල්, ව්‍යාපාරික ආයතන, නිවාස ඇතුළු බොහෝ ජල පාරිභෝගිකයන් විසින් ජාතික ජල සම්පාදන මණ්ඩලය වෙත ලබාදිය යුතු මුළු හිඟ මුදල රුපියල් මිලියන 7500 කට වැඩි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රුපියල් ලක්ෂයකට අඩු බිල් ගෙවීම් පැහැර හැරීම්, ලක්ෂයත් ලක්ෂ 5 ත් අතර පැහැර හැරීම් හා ඊට වැඩි පැහැර හැරීම් ගැන සවිස්තර වාර්තාවක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය.

“මේවා අය කරගන්න මොනවද තියෙන යෝජනා කියන එකත් ඕගොල්ල සාකච්ඡා කරන්න ඕන…” ජනාධිපති කීවේය.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව වැඩිවෙලා පැවතුනේ නැත. හවස 5 ට ආරම්භ වූ රැස්වීම 6:15 වෙනවිට අවසන් වීම විශේෂත්වයකි. ඒ අනතුරුව ජනාධිපතිවරයාත් කෙහෙළිය ඇමැතිවරයාත් අතර රටේ පවතින වත්මන් තත්ත්වය ගැන ද ටික වෙලාවක සුහද කතාබහක් ඇති විය.

● රට හදන්නට චම්පිකගේ සූදානම

පසුගිය සතියේ රට මුහුණ පා සිටි ආර්ථික අර්බුද අතරේ වුව ද දේශපාලන අලකලංචි කීපයක් ද සිදුවිය. ඒ අතරින් වැඩි දෙනෙකුගේ අවධානය දිනාගත් කාරණාව වූයේ මෙතෙක් දිනක් සමගි ජන බලවේගය සමග ඉතා සහයෝගයෙන් කටයුතු කළ විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයකු වූ චම්පික රණවක පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන්නට තීරණයක් ගැනීම ය.

චම්පික මෙබඳු තීරණයක් ගත්තේ කවර හේතුවක් නිසා දැයි කියා ලොකු කතා බහක් දේශපාලන කරළිය ඇතුළාන්තයේ රැව් පිළි රැව් දෙන්නට විය.

මේ අතර චම්පික රණවකගේ 43 කණ්ඩායම ඇතුළාන්තයේ අභ්‍යන්තර සාකච්ඡා කීපයක් ද ඇති විය. එහිදී ඔහු තම දේශපාලන හිතෛෂිවන්තයින් අමතා අවධාරණය කළ කාරණාව වූයේ මේ අර්බුදයෙන් රට ගලවා ගැනීමයි.

ඔහු මේ සඳහා ඉදිරිපත් කළ අදහස වර්තමාන අර්බුදය සමඟ සසඳා බලන විට යම් තාර්කික පසුබිමක් ඇති විසඳුමක් ලෙස බොහෝ දෙනා අතර සම්භාවනාවට ලක් විය.

අද රටේ පවතින අර්බුදයට සර්ව සාධාරණ හා විශ්ව සාධාරණ විසඳුමක් දිය හැක්කේත් ජාත්‍යන්තරයේ අවධානය හා උදව් උපකාර ලබාගත හැක්කේත් මේ රටේ සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම තුළින් පමණක් බව ඔහු තරයේ කියා සිටියේය. අද පවතින ආණ්ඩුව සර්වපාක්ෂික ආණ්ඩුවක් නොවන බව පෙන්වා දුන් ඔහු නිවැරදි සර්වපාක්ෂික ආණ්ඩුවක් සාදාගෙන රටේ පවතින ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට නම් මේ තිබෙන වැඩපිළිවෙළ අනුව කටයුතු කළ යුතු යැයි කියා ඔහු වැඩපිළිවෙළක් ද යෝජනා කර තිබිණි.

එම වැඩපිළිවෙළ මත ඔහු පසුගිය සතියේ ම සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කිරීම ආරම්භ කළේය. පළමුවෙන්ම ඔහු සාකච්ඡා කළේ ආණ්ඩුවෙන් ස්වාධීන වී පාර්ලිමේන්තුවේ වෙනම කටයුතු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කණ්ඩායම සමගය. අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු කණ්ඩායමක් මෙම සාකච්ඡාවට එක් වී සිටියහ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සමගත් සමගි ජන බලවේගයේ තරුණ කණ්ඩායම් සමගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් – ඩිලාන් ඇතුළු ස්වාධීන වූ කණ්ඩායම සමඟත් එම සාකච්ඡාව දිගින් දිගටම පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වූ චම්පික ඔහුට හිතවත් එක්තරා මාධ්‍යවේදියකු අත විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම සමග ද සාකච්ඡා කරන්නට ද පණිවිඩයක් යවා තිබීම පසුගිය සතියේ අප දුටු විශේෂ කාරණාවක් විය.

කෙසේ වෙතත් චම්පික රණවක හොඳ අවබෝධයකින්, වුවමනාවකින් මෙන්ම අවංක භාවයකින් යුතුව මෙම උත්සාහයට ප්‍රවේශ වන ආකාරය අපට දැකගත හැකි විය.

● ඇමැති රමේෂ්ගෙන් මැණික් වටින කතාවක්

බ්‍රහස්පතින්දා උදේ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රමේෂ් පතිරණ ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් ජනාධිපතිවරයා හමුවන්නට පැමිණ සිටියහ. අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක මහතා ද ඒ අතර විය. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින කර්මාන්තශාලා, රාජ්‍ය ආයතන හා සංස්ථා සමාගම්වල සභාපතිවරු හා ප්‍රධානීන් ද පැමිණ සිටියහ. එහි පැවතුණේ ද කර්මාන්ත අමාත්‍යාංශයට සම්බන්ධ ප්‍රගති සමාලෝචන රැස්වීමකි.

මේ වන විට රටට බරපතළ හිඟයක් ව පවතින විදේශ විනිමය උපයා ගැනීමට කර්මාන්ත ක්ෂේත්‍රයෙන් ඉටුවිය හැකි දායකත්වය ගැන රජයේ වෙනම සාකච්ඡාවක් ඒ වන විට ඇති ව තිබිණි.

ජනාධිපතිවරයා ද සාකච්ඡාවට පැමිණි පසු 10:30 ට පමණ කතාබහ ආරම්භ කරමින් මුලින්ම කතා කළේ අමාත්‍ය රමේෂ් පතිරණයි.

“අපේ රටේ ජාතික ආදායමට ලොකු අගයක් කර්මාන්ත ක්‍ෂේත්‍රය විසින් ලබාදෙනවා. කර්මාන්ත ක්ෂේත්‍රයෙන් වාර්ෂිකව ලැබෙන ආදායම ඩොලර් බිලියන 7 ක් ඉක්මවනවා. හැබැයි ඉතින් ඒකෙන් ඩොලර් බිලියන 5.4 ක් ම ලැබෙන්නේ ඇඟලුම් නිෂ්පාදනයෙන්. අපේ අධ්‍යයනයන්ට අනුව අනෙකුත් කර්මාන්ත ක්ෂේත්‍රවලිනුත් මීට වඩා ලොකු ආදායමක් ගන්න පුළුවන්. එහෙත් නොයෙකුත් අඩුපාඩු හා දුර්වලතා නිසා අපට ඒ ඉලක්ක සපුරා ගන්න බැරිවෙලා තියෙනවා. මේවා හරියට කළමනාකරණය කළොත් අනාගතයේදී අපිට ඩොලර් ප්‍රශ්න ඇති වෙන එකක් නෑ…”

“දැනට පවතින විදුලි කප්පාදුවෙන් හා ඉන්ධන අර්බුදයෙන් ඇඟලුම්වලටත් බරපතළ පාඩු සිදුවෙමින් තියනවා. විදුලි කැපීම අඩු කරගන්න බැරි නම් අඩුම තරමින් නිශ්චිත කාලසටහනකට අනුවවත් කරනවා නම් මේ ආයතනවලට යම් කළමනාකරණයක් කරගන්න පුළුවන්.” නිලධාරීන් ඉතා වැදගත් කරුණු රැසක් පෙන්වා දුන්නේය.

“මේ සම්බන්ධයෙන් රටේ එක්ස්පර්ට්ලා ඉන්නවා නේ. මේවා දියුණු කරන්න මොනවද කළ යුත්තේ කියල ඒගොල්ලන්ගෙන් අපි උපදෙස් ගමු.

“විමල් ඇමැතිතුමා ඉන්න කාලේ පත් කරපු උපදේශක කමිටුවක් තියෙනවා. ඒක හොඳට වැඩ කළා.” රමේෂ් කීවේය.

“සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට රජය උදව් කරනවා නම් ඔවුන්ට හොඳ විදේශ විනිමයක් ගෙනෙන්න පුළුවන්.”

“මොනවද ඒගොල්ලන්ට අපෙන් ඕන කරන්නේ..?” ජනාධිපති ඇසීය.

“බැංකුත් එක්ක කතා කරලා ඔවුන්ගේ ණය ගෙවීම්වලට සහන කාලයක් දෙන්න ඕන. ඒ වගේම ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වගන්න. බැංකුවලින් ඒවට ඩොලර් ඉල්ලුවාට ලැබෙන්නේ නැහැ. එයාලා මුල්තැන දෙන්නේ ඉන්ධන, බෙහෙත් ගෑස් වගේ දේවල්වලට විතරයි. කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය දෙන්න ඩොලර් මිලියන 100ක් විතර ලැබෙනවා නම් හොඳයි.” නිලධාරීන් පෙන්වා දුන්හ.

“අමුද්‍රව්‍ය නොමැති වුණොත් මේ ව්‍යාපාර කඩන් වැටෙනවා. මේ කර්මාන්ත ව්‍යාපාර කඩා වැටුණොත් අනිත් පැත්තෙන් රටේ විරැකියාව ලොකු ප්‍රශ්නයක් වෙනවා.” රමේෂ් කීවේය.

“අපට විදේශ විනිමය ලබා ගන්න තිබෙන කර්මාන්ත රැක ගන්නවා වගේම අලුතෙන් ආයෝජකයෝ ගෙන්නගෙන කර්මාන්ත පටන් ගන්නත් වෙනවා… ඒකට මොකද්ද තියෙන වැඩපිළිවෙළ…”

“ආයෝජකයෝ ගෙන්න ගන්නත් ඇවිල්ල ඉන්න අයට වැඩ කරන්නත් තියෙන ලොකුම අපහසුව තමයි අපේ රටේ තියෙන අනවශ්‍ය නීති රීති. කර්මාන්තයක් පටන් ගන්න මේ රටට ආවහම ආයතන විස්සකින් විතර අනුමැතිය ගන්න ඕන. ඒ ආයතනවල නිලධාරීන් නිකරුනේ ආයෝජකයන් රස්තියාදු කරවනවා. කර්මාන්ත අමාත්‍යාංශයට විතරක් තනියෙන් මේක කරන්න බෑ. ඒ තියන නීතිරීති ලිහිල් වෙලා ඒ ආයතනවලින් සහයෝගය ලැබෙනවා නම් අපට මීට වඩා කර්මාන්ත ක්ෂේත්‍රය පුළුල් කරලා ආදායම් ලබන්න පුළුවන්.” අමාත්‍යාංශ ලේකම් දයා රත්නායක ලොකු පැහැදිලි කිරීමක් කළේ තම අත්දැකීම් ද විස්තර කරමිනි.

“ඔයගොල්ලො කියපු අර එක්ස්පර්ට්ලගෙ කොමිටි එකෙත් සහයෝගය අරගෙන ජාතික ප්‍රතිපත්තියක් හදන්න. කර්මාන්තවලදී අපේ පොලිසි එක හරි වැදගත්.” ජනාධිපති උපදෙස් දුන්නේය.

“අපේ රටේ දැන් තියන සමහර ආයතන තියෙන්නෙ කර්මාන්ත දියුණු කරන්න නෙවෙයි. කර්මාන්ත කඩා බිඳ දමන්න.” රමේෂ් එසේ කියන විට ජනාධිපතිවරයා ඇසුවේ ඒ මොනවාද කියාය.

“පිඟන් හදන්නෙ නැති පිඟන් සංස්ථාවක් තියෙනවා. කොච්චර දේවල් ඒකෙන් කරන්න පුළුවන්ද. අපේ රටේ තමයි ලෝකයේ හොඳම මැණික් තියෙන්නෙ. හැබැයි අපේ මැණික් විකුණලා ලෝකේ හොඳම ආදායම් ගන්නෙ හොංකොං, තායිලන්තය වගේ රටවල්. ඒක එහෙම වෙන්නේ අපේ රටේ සමහර නීති රීති හා නිලධාරීන්ගේ අඩුපාඩු නිසා. අපේ මැණික්වලින් රටට නිසි ප්‍රයෝජනයක් නොලැබෙන්නේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ දුර්වලතා නිසා. අපේ ඇඟලුම් ක්ෂේත්‍රය දවසින් දවස දියුණු වෙන්නත් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ආපස්සට යන්නත් හේතුව මොකක්ද. හේතුව අපේ නීති රීති. ඇඟලුම් සම්බන්ධයෙන් අපි බොහොම ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඒ නිසා ආයෝජකයෝ බොහොම කැමැත්තෙන් වැඩ කරනවා. මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ගත්තම ඒකේ අනිත් පැත්ත. කවුරුහරි මැණික් පිටරට යවන කෙනෙක් මැණික්වලට තක්සේරුවක් ගන්න ගියාම දහසකුත් බාධා. ඒක නිසා ඒ මිනිස්සු හරි පාරේ යන්නැතුව හොර පාරෙන් තායිලන්තෙට ගිහිල්ලා මැණික් විකුණලා දානවා. රටට ආදායමක් එන්නේ නෑ. ඒ මැණික් ම තායිලන්තය හොංකොංවල විශාල ගණන්වලට විකිණෙනවා.”

රමේෂ් පතිරණ ලවක් දෙවක් නැතිව මෙසේ ආයතනයේ අඩුපාඩු පෙන්වා දෙද්දී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ද ඒ පිටිපසින් නිහඬව සිටියා මිස කිසිවක් කීවේ නැත.

හොංකොං රටේ මැණික් වෙළඳාමේ ආදායම ඩොලර් බිලියන ගණනින් රමේෂ් පෙන්වා දෙද්දී ජනාධිපතිවරයා ද පුදුම ව අසා සිටියේය.

“ඇයි අපට බැරි. අපේ රටේ මැණික් ඔප දැමීමේ හා සංවර්ධනය කිරීමේ තාක්ෂණය ඉතාම ඉහළයි”

“හොඳයි … ඔයාලා හොයලා බලන්න හොංකොංවල මොනවද මේ සම්බන්ධයෙන් අනුගමනය කරන පොලිසි එක කියලා. ඒක අපේ රටට ඇප්ලයි කරන්න උපදේශක කමිටුවල උපදෙස් අරගෙන වැඩ කරන්න.

“මේ වගේ කර්මාන්ත නීතිරීතිවලින් හිර කරන්නේ නැතුව ලිබරලයිස් කරන්න ඕන.”

● දයා රත්නායකත් නීති තද වැඩියිලු

මේ අතරතුර දයා රත්නායක දිගින් දිගටම කීවේ කර්මාන්ත දියුණු කිරීමට එරෙහිව රටේ පවතින බාධක නීතිරීති ගැනය.

“අපේ ඩොක්යාඩ් එක ලෝකේ හොඳම බෝට්ටු හදනවා. හැබැයි එතන වැඩ කරන්න ඉඩ මදි. ඊට යාබදව හිස් ඉඩම් කෑල්ලක් තියෙනවා කිසිම ප්‍රයෝජනයක් නොගෙන. ඩොක්යාඩ් එකට අවුරුදු දෙකක් තිස්සේ ඒ ඉඩම ඉල්ලලාත් ලැබුණේ නෑ.

පුල්මුඩේ ඛනිජ වැලිවල තියෙන්නෙ ලෝකෙ හොඳම ටයිටේනියම්. අපි විකුණන්නේ මූලික වැලි විතරයි. කිලෝ එකට රුපියල් 25යි. හැබැයි මේවා අගය එකතු කළ වැඩි දියුණු කරලා ගත්ත නම් ඒ වගේ 30 ගුණයකට වඩා වැඩි අගයකට විකුණන්න පුළුවන්. නමුත් අපි ඒව කරන්නේ නෑ. රටේ තියෙන අනවශ්‍ය නීතිරීති නිසා කරන ආයෝජකයෙකුට ඉඩ දෙන්නෙත් නෑ. මේවා තමයි රටේ ආදායම ඉහළ නංවන්න තියෙන ලේසිම ක්‍රම. හැබැයි අපි තාම ප්‍රයෝජන ගන්නේ නෑ.

ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවට සම්බන්ධ වී ඉතා උනන්දුවෙන් අසා සිටියේ අපේම තියන දුර්වලතා හා අඩුපාඩු ගැනය. කර්මාන්ත ක්ෂේත්‍රයෙන් දැනට ලබන ආදායමට වඩා ඉතා විශාල ආදායමක් අහිමි වී ඇති අන්දම මෙහිදී ජනාධිපතිවරයාට හොඳටම අවබෝධ විය.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ඇදී නොගියේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක මහතා දෙවරක්ම පැමිණ කරන ලද මතක් කිරීමක් නිසාය.

ඔහු මතක් කළේ කොරියානු තානාපතිවරයා සමඟ සාකච්ඡාවට ලබාදී තිබෙන වේලාව පහු වෙමින් පවතින බවය.

ඒ අනුව 12.54 ට එම ඉතා වැදගත් සාකච්ඡාව අවසන් විය. ජනාධිපතිවරයා ඉතා ඉක්මනින් නික්ම ගියේ කොරියානු තානාපතිවරයා සමග යොදාගෙන තිබූ සාකච්ඡාවට ය.

● මාදිවෙල මිතුරෝ වෙනම රැස්වෙලා

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ කාර්යාලයේ දී වෙනම හමුවී විශේෂ සාකච්ඡාවක් කළේය. මේ සියලුම දෙනා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පදිංචි වී සිටින අය නිසා මාදිවෙල මිතුරෝ යන නම භාවිතා කරන්නට පටන් ගෙන තිබිණි.

මෙම හමුවට අජිත් රාජපක්ෂ, මධුර විතානගේ, වීරසුමන වීරසිංහ, සහන් ප්‍රදීප්, රාජිකා වික්‍රමසිංහ, මුදිතා ද සොයිසා, කුමාරසිරි රත්නායක, ජානක තිස්ස කුට්ටිආරච්චි ඇතුළු දහනව දෙනෙක් පැමිණ සිටියහ.

මීට මාස කීපයකට පෙර 20 දෙනකුගෙන් ආරම්භ වූ මාදිවල මිතුරෝ සංවිධානයේ එක් සාමාජිකයෙක් පසුගිය මැයි 9 වැනිදා අවාසනාවන්ත ලෙස රුදුරු ඝාතනයකට ලක් විය. ඒ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයා ය.

මේ මන්ත්‍රීවරු පිරිස එදා එතන රැස්වී වර්තමානයේ රට මුහුණ පා තිබෙන අර්බුදය ගැන සාකච්ඡා කරන්නට වූයේ තම තමන්ගේ අත්දැකීම් ද කතාබහට එකතු කරමිනි. මැයි 09 වැනිදායින් පසුව ආරම්භ වූ ඉතා අවාසනාවන්ත සිද්ධි දාමයෙන් පසුව රටේ ජනතාවට මුහුණපාන්නට සිදු වූ ඛේදනීය තත්ත්වය තුළ වර්තමාන පසුපෙළ මහජන මන්ත්‍රීවරයාගේ ඉරණම ගැන ද මෙහිදී හොඳ කතා බහක් ඇති විය.

ඒ අතර 21 වැනි සංශෝධනයේ තිබෙන කාරණා ගැන ද මෙහිදී සාකච්ඡා කළහ. ආණ්ඩුවක ධුර කාලය අවුරුදු දෙකහමාර සම්පූර්ණ වූවාට පසුව විසුරුවා හරින්නට ජනාධිපතිවරයාට ලැබෙන කාලය සම්බන්ධයෙන් මේ මන්ත්‍රීවරුන්ට ලොකු ලොකු ගැටලු මතු විය. ඔවුන්ගේ යෝජනාව වූයේ කිසිදු රජයකට මේ වසර දෙකහමාරක කාලය රට තුළ සාධනීය වෙනසක් ඇති කිරීමට නොහැකි වනු ඇති බවයි. එම කාල වකවානුව දහනව වන සංශෝධනයේ තිබූ පරිදි අවුරුදු හතරහමාරක් වත් විය යුතු බව ඔවුන්ගේ යෝජනාව විය.

“අපි මේක මෙහෙම කතා කරල හරියන්නෙ නෑ. ඉස්සරවෙලා අපි යමු විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමැතිතුමා මුණගැහෙන්න. අපි මේක අපේ යෝජනාවක් විදිහට එතුමාට බාරදීලා සාකච්ඡා කරමු.”

ඒ අනුව මන්ත්‍රීවරු ලබන සතියේදී විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා හමුවී මේ ගැන සාකච්ඡා කරන්නට තීන්දුවක් ගෙන විසිර ගියහ.

මේ අතර පසුගිය සතියේ කා අතරත් උණුසුම් මාතෘකාවක් වූ ධම්මික පෙරේරා මහතා පසුගිය සතියේ රටේ විවිධ ප්‍රභූ පුද්ගලයන් හමුවන්නට ගොස් තිබිණි. ප්‍රවීණ දේශපාලනඥයන්, කලාකරුවන් හා උගතුන් බුද්ධිමතුන් මෙන්ම ප්‍රවීණ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් ද හමුවී ඔහු රටේ අනාගතය හා ඉදිරිය ගැන මෙන්ම තමන්ගේ දැක්ම ගැන ද සාකච්ඡා කරන්නට විය. සති අන්තයේ කොළඹින් බැහැරව දකුණු පළාතට ගොස් විවේකයක් ගත කරමින් සිට නැවත කොළඹ පැමිණි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ ද ඔහු මේ ගැන සාකච්ඡා කර තිබිණි.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment