පයිනස් විනාශකාරී ශාකයක්ද?

589

බොහෝ පරිසරවේදීන්, පරිසර හිතකාමීන් මෙන්ම සමහර ප්‍රජා කොටස් පයිනස් කෙරෙහි විශාල විරෝධයක් දක්වනු ලබයි. පයිනස් ශාකය විදේශ රටවලින් හඳුන්වා දී ඇති අතර එම විරෝධාකල්ප වල ඇත්ත නැත්ත සොයා බැලීම මෙම ලිපියේ අරමුණ වේ.

පයිනස් විනාශකාරී ශාකයක්ද?

විරෝධාකල්ප අතර,

පයිනස්, පසෙන් විශාල ලෙස ජලය උරා ගනී.

පයිනස් වගා වල යටි වගාවක් ඇති නොවේ.

පයිනස් නිසා පස නිසරු වේ.

පයිනස් වගා වලින් ගංගා ඇළ දොල සිඳී යයි.

පයිනස් වගාවේ මූලාරම්භය

විවිධ හේතු සාධක මත ශ්‍රී ලංකාවේ වන ගහනය අඩු වෙමින් පවතින අතර අසූව දශකයේ විශේෂයෙන් තෙත් කලාපයේ, කඳුකර ජලධාර ප්‍රදේශයන්හී සංරක්ෂණය සඳහා නැවත වන වගා කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පයිනස් වන වගා ආරම්භ කරන ලදී. කඳුකර ප්‍රදේශ වල තිබූ කඳුමුදුන් හා බෑවුම් ඉඩම් වල තේ වගා කළ පසු අතහැර දැමීම, හේන් ගොවිතැන ආදී හේතු නිසා මුඩු ඉඩම් බවට පත්ව තිබූ ඉලුක් හා මානා සහිත වාර්ෂිකව ගිනි ගන්නා පතන් බිම් මෙම පයිනස් වගාව සඳහා යොදා ගෙන ඇත.

ඉහතින් දක්වන ලද විරෝධාකාල්ප පිළිබඳව වෙන්වෙන්ව සලකා බලමු.

පයිනස්, පසෙන් විශාල ලෙස ජලය උරා ගනී.

පයිනස්, ඉයුකැලිප්ටස් වැනි විදේශ වලින් හඳුන්වා දෙන ලද වාණිජ වන වගා ශාක බහුල ලෙස ජලය උරා ගනී. එහෙත් පයිනස් වලට පමණක් විශාල විරෝධයක් පැන නැගී ඇත. සීග්‍ර වර්ධනයක් ඇති ශාක බහුල ජලය හා පෝෂක අවශෝෂණය කරන බව සත්‍යයකි. ජල ද්‍රෝණී කිහිපයක වසරක් වයස පයිනස් වගාවක, මානා වැඩුණු අත්හැර දමන ලද තේ ඉඩම් හා හොඳින් වැඩුණු පයිනස් වගාවක කරන ලද පරීක්ෂණයක වාෂ්පීකරණ උත්ස්වේදනය, මතුපිට අපදාවය, මූලික ප්‍රවාහය, මුල් ජල අස්වැන්න සම්බන්ධයෙන් වූ නිරීක්ෂණ අනුව හොඳින් වැඩුණු පයිනස් සහිත ජල ද්‍රෝණියෙහි මතුපිට අපදාවය අවම බවත් අතුරු කඩනය මඟින් පොළොව මතුපිටට ජලය කෙළින්ම පතිත වීම වළක්වා පසට එකතුවීම වැඩි බවත් එමගින් පස තුළට කාන්දුවන ජල ප්‍රමාණය වැඩි වී සංචිත වන ප්‍රමාණයද වැඩිවී ජල මාර්ගවලට ජලය එක් වීම සලස්වන බවත් පසක් වී ඇත.

පයිනස් වගා වල යටි වගාවක් ඇති නොවේ

පයිනස් සිටුවා ඇත්තේ අඩු පරතරයකිනි. එම නිසා පත්‍ර වියන අතිපිහිත වී පොළොවට ලැබෙන ආලෝකය අඩු වී අඳුරු ස්වභාවයක් ගනී. එබැවින් බීජ පිටතින් පැමිණ ප්‍රරෝහණය වුවත් වර්ධන හැකියාව අඩුවේ. පයිනස් පත්‍ර පතිත වී කෙඳිවලින් ඇතිවන කාබනික තට්ටුවද යටි වගාව කෙරෙහි බලපෑම් ඇති කරයි. විශේෂයෙන් වාර්ෂිකව සිදු වන ගිනිතැබීම් මඟින් බීජ හා රෝපණ ද්‍රව්‍ය සංචිත විනාශ වීම යටි වගාව කෙරෙහි බලපායි. එහෙත් බොහෝ ප්‍රදේශ වල පයිනස් කැලෑ තුළ හවරිනුග, ඇල්බීසියා, කැන්ද, බැඳිදෙල්, දවුල් කුරුඳු, ගැඩුඹ ආදී ස්වභාවික පුනර්ජනනය වූ ශාක දක්නට ලැබේ. පයිනස් වගා තුනී කිරීම මඟින් ගස් ඉවත් කර යටි රෝපණ වගා ස්ථාපිත කිරීම කළ හැකි වේ.

පයිනස් නිසා පස නිසරු වේ.

බොහෝ පර්යේෂකයන් පස සම්බන්ධව කරන ලද පර්යේෂණ වලදී පයිනස් සහිත පසකට වඩා ස්වභාවික වනාන්තරවල පසේ ආම්ලිකතාව වැඩි බව පෙන්වා දී ඇත. එමෙන්ම, එරබැද්ද ප්‍රදේශයේ කරනු ලැබූ පර්යේෂණ වලින් පයිනස් සහිත පසේ සවිවරතාවය, කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය, මුළු නයිට්‍රජන් ප්‍රමාණය හා අවශෝෂණය කළ හැකි පොස්පරස් ප්‍රමාණය ඉහළ අගයක් ගනු ලබන බව පෙන්වා දී ඇත.

පයිනස් වගා වලින් ගංගා ඇළ දොල සිඳී යයි.

පයිනස් වගාවන් හේතු කොටගෙන ගංගා ඇළ දොල සිඳී ගිය බවට මෙතෙක් කිසිදු පර්යේෂණයකින් සනාථ කොට නැත. ජල පෝෂක ප්‍රදේශයක වනාන්තර තිබීම වැදගත් වනුයේ වියළි කාලයේ සැපයෙන වියළි ජල ප්‍රවාහය සඳහා වේ. ඉලුක් මානා සහිත ප්‍රදේශයකට වඩා පයිනස් වගා ප්‍රදේශයක ඇති කාබනික ද්‍රව්‍ය තට්ටුව, පත්‍ර වියන, පසේ දියුණු භෞතික ලක්ෂණ හේතු කොටගෙන වර්ෂා කාලයේ පසේ සංචිත ජල ප්‍රමාණය අධික වේ. එබැව්න් ඉලුක් මානා සහිත ප්‍රදේශයකට වඩා වැඩුනු පයිනස් වගා ප්‍රදේශයක වියළි ජල ප්‍රමාණයක් සැපයේ.

එම්. ඒ. ඒ. එම්. ජයරත්න
අධ්‍යක්ෂ වන ජීවී හා
වන සම්පත් අමාත්‍යාංශය

advertistmentadvertistment
advertistmentadvertistment