ප්‍රාතිහාර්යයන් පෑ ශ්‍රී මහා බෝධීන්වහන්සේ

15543

උසින් තබන ලද මැණික් පුටුවක් මත රන් පාත්‍රාව තබා රන් ඉනිමඟකට ගොඩ වී නැගෙනහිර දිශාව බලා රජු රන් තුඩකින් දක්ෂිණ ශාඛාව වටා ඉරක් ඇඳ බෝධීන් වහන්සේ ලක්දිව පිහිටිය යුතු නම් බෝධීන් වහන්සේ තමන් වහන්සේ විසින්ම කඳෙන් වෙන්වී පාත්‍රා වේ තැන්පත් වන ලෙස ප්‍රාර්ථනා කළේ ය. එලෙසම බෝ ශාඛාව කඳෙන් ගැළවී රන් පාත්‍රාවෙහි පිහිටියේ ය. රන් පාත්‍රාව තුළ බෝධීන් වහන්සේගෙන් මුල් දහයක් මතුවිය. තවත් අනූවක් මුල්වලින් එහි පස් වසා ගත්තේ ය. බෝධියේ කඳ කොටස රියන් දහයක් බවට වර්ධනය විය. රියන් හතරක ශාඛා පහකි. ඵල පහකි. කුඩා අතු දහසකි. ඒ මොහොතේ භූමි කම්පාවක් ද ඇති විය. අහසේ දෙවිවරු ප්‍රීති නාද පැවැත්වූහ. දෙවියෝ සාධුකාර දුන්හ. යක්ෂයෝ ද අසුරයෝ ද නාද නැගූහ. බ්‍රහ්මයෝ අත්පොළසන් දුන්හ. මේඝ ගර්ජනා ඇති විය. පක්ෂීහු ද හැඬුහ. මේ සියලු නාදයන් පෘථිවියේ සිට අකනිටා බ්‍රහ්ම ලෝක ය දක්වා විහිදිනි. බෝධියේ පංච මහා ශාඛාවන්ගෙන් බුදුරැස් විහිදිණි. එතැන් පටන් හිම වළාවන්ට වැදුනු බෝධීන් වහන්සේ සතියක් පුරා නොපෙනී සිටියේ ය.

මෙරට රාජ්‍ය පාලනය, බුද්ධශාසනය, මෙහෙනි සස්න, රාජ්‍යත්වය හා සංස්කෘතිකාංග ඇතුළු සකලවිධ සාමාජීය සාධක බැඳී ඇති ඓතිහාසික කේන්ද්‍රස්ථානය ශ්‍රී මහා බෝධීන් වහන්සේයි. මෙම දෙරණ තුළ බෝධීන් වහන්සේ රොපණය කෙරෙනුයේ උඳුවප් මාසයේ දීය. ක්‍රිස්තු පූර්ව 236 උඳුවප් පොහෝදා රෙහෙන නැකතින් බෝධි රෝපණය සිදුකෙරුණු බව මහාවංශය කියයි. මෙනිසා රජරට ශිෂ්ටාචාරයේ සුවිශේෂතම දිනයක් ලෙස උඳුවප් පෝය සැලකෙයි. බෝධි රෝපණය සාමාන්‍ය රාජ්‍ය උත්සවයක් හෝ ආගමික උත්සවයක් නොව තුන් ලෝකය පුරා බුද්ධ බලය විහිදීගිය මහා ආශ්චර්යවත් සිද්ධි සමුදායක් ඇති වූ ඉතිහාසයේ අද්විතීයතම දිනය බව ඓතිහාසික මූලාශ්‍ර කියයි.

මෙරට ඓතිහාසික ලේඛනවලට අනුව මහින්දාගමනය සිදුවූයේ ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 236ක් වූ පොසොන් මස පුර පසළෝසවක පොහෝ දින යි. බෝධීන් වහන්සේ සිරිලකට වැඩම කරවා රෝපණය කරන ලද්දේ ක්‍රි. පූ. 236 උඳුවප් මස පුර-තුදුස්වකදා සන්ධ්‍යාවෙහි රෙහෙන නැකත උදාවූ මොහොතක යැයි ඓතිහාසික මූලාශ්‍රවල දැක්වේ. බෝධීන් වහන්සේ මහමෙවුනා උයනේ රෝපණය කළ අවස්ථාව මෙන්ම දඹදිව ගයාවේ පිහිටි මව් ශාකයෙන් වෙන්කර ගන්නා ලද අවස්ථාවත් ආශ්චර්යමත් අවස්ථාවන් විය.

බෝධි ශාඛාව කඳෙන් වෙන්කර ගැනීම අශෝක මහ රජු ඇතුළු හැම දෙනාටම බරපතළ ප්‍රශනයක් විය. සියලු දෙනා ඒ කෙරේ ඇති භක්තිය ඊට හේතුවයි. ඒ නිසා මහදේව ඇමැතිගේ උපදෙස් අනුව මොග්ගලීපුත්ත තිස්ස තෙරුන් වහන්සේගෙන් විසඳුමක් ලබාගැනීමට අශෝක රජු ක්‍රියා කළේ ය. බුදුන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි බෝධිය තමන් තම කඳෙන් වෙන් වී කටාහයෙහි පිහිටීම, එහි පිහිටි කල්හි හිම වළාගැබට පිවිසීම සහ සිවුවැනි දින හිම වළාගැබෙන් බැස කටාහයෙහි පිහිටා පත්‍රවලින් සවණක් රැස් විහිදුවීම සිදුවන බව තෙරණුවෝ අනුදැන වදාළ හ.

බුදුන් වහන්සේගේ මෙම අධිෂ්ඨානය ගැන අසා ප්‍රීති ප්‍රමෝදයට පත් රජු පැළලුප් නුවර සිට ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා යොදුන් හතක් වන මාර්ගය සුද්ධ පවිත්‍ර කොට සරසවා සුදුවැලි හා ලදපස්මල් ඉස සුවඳවත් කළේ ය. ධජ පතහකවලින් එය වර්ණවත් කළේ ය. රජු රන් පාත්‍රාව කරවනු පිණිස රන් එක්රැස් කළ පසු ශක්‍ර දේවියන්ගේ අණින් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා පැමිණ රන්කරුවකුගේ වෙස්ගෙන එය නිමවා දුන්නේ ය. අනතුරුව අශෝක රජු සියලු රාජාභරණයෙන් සැරසී අලංකාරව සරසන ලද ඇතු පිට නැගී යොදුන් හතක් දුරට විහිදෙන චතුරංගනී සේනාව සහිතව ආර්ය සංඝයා වහන්සේ කැඳවාගෙන බෝධිය සමීපයට ගියේ ය. බෝධීන් වහන්සේ වටා රන් රිදී ධජ පතහක වලින් හා මැණික් ආදියෙන් සරසා විවිධ මල්වලින් සුවඳවත්කර මිහිරි තූර්ය නාද වලින් ශබ්ද පූජා පවත්වා චතුරංගනී සේනාවෙන් බෝධිය වටකරවී ය. බෝධිය වටා තිරයක් බැඳ ආර්ය මහා සංඝයාවහන්සේ දහස් නමක් හා සකල දඹදිව් තලයෙහි අභිෂේකයට පත් රජදරුවන් දහසක් ලවා වන්දනා කර බෝධිය දෙස බැලී ය. එවිට බෝධියේ කඳ හා දක්ෂිණ මහා ශාඛාවෙහි රියන් හතරක පමණ කොටසක් හැර අන් සියල්ල නොපෙනී ගියේ ය.

එම ප්‍රාතිහාර්යයෙන්ද සතුටට පත් ධර්මාශෝක රජු මුළු ජම්බුද්වීපයම බෝධීන් වහන්සේට පූජා වේවායි කියමින් මහ සඟරුවන අතින් අභිශේක ජලය වත්කිරීමට කටයුතු කළේ ය. ඉක්බිතිව මහරජු රාජාභරණයෙන් අලංකාරව සැරසුණු රජදරුවන් දහසක් දෙනා පිරිවරාගෙන බෝධීන් වහන්සේට මල් පහන් සුවඳ දුම් පූජාකර වට තුනක් පැදකුණු කර සත්‍යක්‍රියා කළේ ය. උසින් තබන ලද මැණික් පුටුවක් මත රන් පාත්‍රාව තබා රන් ඉනිමඟකට ගොඩ වී නැගෙනහිර දිශාව බලා රජු රන් තුඩකින් දක්ෂිණ ශාඛාව වටා ඉරක් ඇඳ බෝධීන් වහන්සේ ලක්දිව පිහිටිය යුතු නම් බෝධීන් වහන්සේ තමන් වහන්සේ විසින්ම කඳෙන් වෙන්වී පාත්‍රා වේ තැන්පත් වන ලෙස ප්‍රාර්ථනා කළේ ය. එලෙසම බෝ ශාඛාව කඳෙන් ගැළවී රන් පාත්‍රාවෙහි පිහිටියේ ය. රන් පාත්‍රාව තුළ බෝධීන් වහන්සේගෙන් මුල් දහයක් මතුවිය. තවත් අනූවක් මුල්වලින් එහි පස් වසා ගත්තේ ය. බෝධියේ කඳ කොටස රියන් දහයක් බවට වර්ධනය විය. රියන් හතරක ශාඛා පහකි. ඵල පහකි. කුඩා අතු දහසකි. ඒ මොහොතේ භූමි කම්පාවක් ද ඇති විය. අහසේ දෙවිවරු ප්‍රීති නාද පැවැත්වූහ. දෙවියෝ සාධුකාර දුන් හ. යක්ෂයෝ ද අසුරයෝ ද නාද නැගූහ. බ්‍රහ්මයෝ අත්පොළසන් දුන්හ. මේඝ ගර්ජනා ඇති විය. පක්ෂීහු ද හැඬුහ. මේ සියලු නාදයන් පෘථිවියේ සිට අකනිටා බ්‍රහ්ම ලෝක ය දක්වා විහිදිනි. බෝධියේ පංච මහා ශාඛාවන්ගෙන් බුදුරැස් විහිදිණි. එතැන් පටන් හිම වළාවන්ට වැදුනු බෝධීන් වහන්සේ සතියක් පුරා නොපෙනී සිටියේ ය.

ඒ දක්වා රජු බෝධිය වෙනුවෙන් පූජාවන් පැවැත්වූවේ ය. හත්වැනි දවසින් පසු අලංකාරවට බෝධිය ජනතාවට පෙනුණි.

අනතුරුව ධර්මශෝක රජු සොළොස් මහා ජනපදයන් සහිත දඹදිව සකල රාජ්‍යයන් බෝධීන් වහන්සේට පූජා වේවායි සිතා අනෝතත්ත ජලයෙන් අභිශේක දෙමින් සතියක් පුරා එතැන රැඳී සිටියේ ය. අසන්ධිමිත්‍රා නම් බිසව ද සොළොස් දහසක් පුරංගනාවන් හා සමඟ පූජාවන් පැවැත්වූවා ය. සුදු අශ්වයන් බැඳි රථයක් සරසා අලංකාරවත් කරවන ලද මාර්ගය ඔස්සේ පූජා පවත්වමින් ඉල්මස පෑලවිය දිනයෙහි පැළලුප් නුවරට බෝධීන් වහන්සේව වැඩමවන ලදි. රන් පාත්‍රා වේ පිහිටුවන ලද දිනයේ සිට සතළොස්වැනි දිනයේ දී අලුතින් අංකුරයක් ඇති විය. එය දුටු රජු නැවතත් මහබෝ වහන්සේට දඹදිව සියලු රාජ්‍යයන් පුදා බෝධි පූජා සිදු කළේ ය.

මෙලෙසම බෝධි රෝපණ මහෝත්සවය ද මහා ආශ්චර්යයන් රාශියක් සමඟ සිදුවූ බව මහා වංශය කියයි.

“නරේන්ද්‍ර තෙම දකුණු දොරින් නික්ම සිව් බුදුවරයන් විසින් සෙවුනා ලද මහමෙවුනා උයනට ප්‍රවිශ්ටකර සුමන සාමනේරයන් වහන්සේගේ වචනයෙන්ම මොනවට සරසන ලද්දා වූ පූර්ව බෝධීන් පිහිටි ස්ථානය වූ මනරම් වූ ප්‍රදේශයට පමුණුවා රජාභරණයෙන් අලංකෘත වූ සොළොස් කුල ජනයන් හා සමඟ මහා බෝධිය තබා පිහිටුවනු පිණිස අතින් තොර කළේ ය. අතින් මුත් පමණ කල් ඇති ඒ මහා බෝධි තොමෝ අසූ රියන් පමණ අහසට නැගී ජනයා මනා වූ සවනක් රැස් විහිදවූවා ය. මනෝරම්‍ය වූ ඒ රශ්මීහු ලංකාද්වීපයෙහි පැතිර බ්‍රහ්ම ලෝකයෙහි හැපී සූර්යයාගේ අස්තංගනය දක්වා සිටියාහු ය. ප්‍රාතිහාර්යයෙහි ප්‍රසන්න වූ දසදහසක් පුරුෂයෝ විදර්ශනා වඩා රහත් බවට පැමිණ මෙහි පැවිදි වූහ.

ඉක්බිති මහබෝධි තොමෝ සූර්ය අස්තංගත වන කල්හි රෙහෙන නැකතින් පෘථිවියෙහි පිහිටියා ය. පොළව කම්පිත විය. (පෙර කියන ලද්දා වූ) ඒ මුල් කටාරම් මුව විටෙන් උඩ නැගී ඒ රන් බඳන වෙළාගනිමින් පොළෝ තලයට බැස්සාහ’ යනුවෙන් සඳහන් කරන මහාවංශය මෙම ප්‍රාතිහාර්යයන් බලා ජනයා සාධු නාද දෙනවාත් සමඟ වැසි වැටුණ බවත් සත් දිනක් තිස්සේ කිසිවකුට දැකිය නොහැකි වන පරිදි හිම වළාවන්ගෙන් බෝධිය වැසී තිබූ බවත් විස්තර කරයි. අශෝක රජු සේම තිස්ස රජුද මහත් ප්‍රීති ප්‍රමෝදයට පත්ව ලක් රාජ්‍ය බෝධීන් වහන්සේට පූජාකරමින් අප්‍රමාණ භක්තියෙන් එය රෝපණය කළ බව ඉතිහාසයේ සඳහන් ය.

බෝධීන් වහන්සේ ප්‍රාතිහාර්යයන් පෑ ජීවමාන වස්තුවක් ලෙසත් මෙරට බෝධිය පූජාකෙරුණු දිනය ලෙසත් ඉතිහාසගත වන අනුස්මරණීය දිනය වන්නේ උඳුවප් පෝය යි.

උඳුවප් පොහෝදා සිදුකළ එම ඓතිහාසික රාජකීය මහෝත්සවයට දිවයින පුරා ප්‍රාදේශීය පාලකයන් ඇතුළු මහා පිරිසක් එක් වූ බවත් එවැනිම ප්‍රාතිහාර්යයන් තවත් සිදුවූ බවත් ඉතිහාසය කියයි. බෝධීන් වහන්සේගෙන් හටගත් ගෙඩියක් මිහිඳු හිමියන්ගේ හස්තයට වැටීම තවත් එකකි. එම ගෙඩියෙන් පැළ අටක් ඇති විය. එම පැළ අට කතරගම, සඳුන්ගම, තිවක්ඛගම, දඹකොළ පටුන, ථූපාරාමය, මිහින්තලය, සෑගිරිය, කසුන්ගිරිය, පළමු සෑ මළුව යන ස්ථානවල රෝපණය කිරීමට කටයුතු කර ඇත. එම අංකුර හඳුන්වන්නේ අෂ්ඨඵලරුහ බෝධි නමිනි. තවත් ගෙඩි හතරකින් පැළ තිස්දෙකක් හටගනෙ ඇත. ඒවා දෙතිස්ඵලරුහ බෝධි විය.

මෙදිනට සිදු වූ අනෙක් ප්‍රධානතම සිදුවීම භික්ෂුණී ශාසනය පිහිටුවීමට මුල පිරීම ය. සංඝමිත්තා තෙරණිය මෙරටට වැඩම කරන තුරු අනුලා දේවිය ප්‍රධාන පන්සීයක් කුල කාන්තාවෝද, අනතඃපුර කාන්තාවන් පන්සිය දෙනකු ද ආදී වශයෙන් උපාසිකාවන් පිරිසක් බලාසිටි බව දීපවංශයේ සඳහන් වේ. සංඝමිත්තා තෙරණිය ඇතුළු උත්තරා, හේමා, මාසගල්ලා, මිතංවදා, අග්නිමිත්තා, කප්පා, පබ්බජ්ජින්නා, මල්ලා, ධම්මදාසිකා යන මෙහෙනිවරුන් දස දෙනකු මෙම පිරිවරට අයත් වූ බව එහි දැක්වේ. භික්ෂුණී ශාසනය ඇරඹෙන්නේ මේ පිරිසගෙනි. මේ නිසාම සිරිලක කාන්තා විමුක්තිය අර්ථවත් කළ දිනය ලෙස ද මෙදින වැදගත්වේ.

ප්‍රාතිහාර්යයන් පෑ ශ්‍රී මහා බෝධීන්වහන්සේ

අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිකාරී හා
උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක
රැළපනාවේ ධම්මජෝති නාහිමි

advertistmentadvertistment
advertistmentadvertistment