පත්‍ර කලාවේදීන් බලමුළු ගැන්වූ 68 වසරක මෙහෙවර

89

ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ මුල්ම මාධ්‍ය සංවිධානය 1955 දී ඔක්තෝබර් 09 වන දින ජනමාධ්‍යවේදී පූජ්‍ය උඩකැන්දවල සරණංකර ස්වාමීන්වහන්සේ බිහිකළ අතර එම සංවිධානය මේ වන විට අඛණ්ඩව වසර 68 ක් සම්පූර්ණ කර හැරවුම් ලක්ෂයකට අවතීර්ණ වී ඇත.

1957 මැයි මාසයේදී බි්‍රතාන්‍ය රජයෙන් ලද ඇරයුමක් පරිදි ඩී. එෆ්. කාරියකරවන තවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දෙදෙනකු සමග බි්‍රතාන්‍යයේ ‘ප්‍රෙස් ක්ලබ්’ ආයතනයට ගොස් පෙරළා මව් රටට පැමිණි අයි.ඕ.ජේ. ලංකා ආයතනයේ නම ලංකා පත්‍රකලා සංගමය විය යුතු බවට 1957 පැවති සංගමයේ දෙවන සංවත්සරික උත්සවයේදී යෝජනා කළ අතර සාමාජිකයන් මෙය පිළිගත් නිසා මෙම සංවිධානය ලංකා පත්‍රකලා සංගමය නමින් හැඳින්විය.

1959 දී ලංකා පත්‍රකලා සංගමයේ සිව්වන සංවත්සරය ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ පැවැත්වූයේ එවකට අගමැති වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙනි. ලංකා පත්‍රකලා සංගමයේ නිලධාරීන් දක්ෂිණාංශිකයන් ලෙස පෙන්වා දුන් වාමාංශික මාධ්‍යවේදීන් කණ්ඩායමක් ශ්‍රී ලංකා පත්‍රකලාවේදීන්ගේ සංගමය නමින් පත්‍රකලා සංගමයට විරුද්ධව සංගමයක් පිහිටුවාගෙන ඔවුන් අයි.ඕ.ජේ. ජාත්‍යන්තර සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට උත්සාහ කළෝය. එක් රටක ලියාපදිංචි විය හැක්කේ එක සංගමයකට පමණක් බව පෙන්වා දුන් අයි.ඕ.ජේ. මූලස්ථානය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. එම ඉල්ලීම රුමේනියාවේ බුකාරස් නුවර පැවති සම්මේලනයේදීද ඉවත දැමීමත් සමග එම සංවිධානයද නැති වී ගියේය.

ලංකා පත්‍රකලා සංගමයේ ඉහළ තනතුරුවලට ප්‍රධාන පුවත්පත්වල කර්තෘවරුන් වූ පියසේන නිශ්ශංක ආදීන් පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයට ජවයක් ලැබිණි. 1970 වර්ෂයේදී සංගමය තවත් ඉදිරි පියවරක් තැබුවේ ප්‍රෙස් ක්ලබ් ආයතනය කොළඹ පිහිටුවමිනි.

පුවත්පත් කලාවේදීන්ගේ වෘත්තීමය අයිතීන් වෙනුවෙන් ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය ඉදිරිපත් නොවීම නිසා ඒ අඩුව පිරිමැසීම සඳහා ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය තුළින් ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය නම් දරුවා බිහි කළාය. එයද ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ වැදගත් සංධිස්ථානයකි. එයද 1979 ඔක්තෝබර් 09 වන දින පැවැත්වූ සංවත්සරික උත්සවයේදීම සිදු කළේ ඩී.එෆ්. කාරියකරවන මහතාගේ යෝජනාවකින්ය.

මෙලෙස ඉදිරි පියවර තබමින් ගමන් කළ සංගමයේ සභාපති ලෙස හේමා ද සිල්වා මහතාත් ලේකම් ලෙස ඩී.එෆ්. කාරියකරවන මහතාත් පත්වීම තුළින් නව ජවයක් ලැබූ අතර ජනමාධ්‍යවේදීන්ගේ ගුණාත්මකභාවය ඉහළ දැමීමට පියවර කිහිපයක්ම තැබීය. එහි පළමුවැන්න ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කිරීමයි. ශ්‍රී ලංකා පත්‍රකලා විද්‍යාලයෙන් ඩිප්ලෝමාව හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද මාධ්‍ය ආයතනවල ඉහළ තනතුරු හොබවති.

ඉන්දියානු වෘත්තීය ජනමාධ්‍යවේදී සංගමය සමග ගිවිසුම්ගත වී ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය තවත් ඉදිරි පියවරක් තැබීමට ඩී.එෆ්. කාරියකරවන මහතා සමත් විය. මේ තුළින් ඉන්දියානු හා ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් සමග නොබිඳෙන සබඳතා ඇති වූ අතර විදේශීය මාධ්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව උදා කර දුනි.

මෙම වසරේදී සිසිර විජේසිංහ සභාපතිගේ සම්ප්‍රාප්තිය ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ප්‍රවර්ධන කටයුතුවල හැරවුම් ලක්ෂයයි. සිසිර විජේසිංහ මහතා ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයට එක් වී ඉහළ තනතුරු භාර ගෙන විද්‍යුත්, ගුවන් විදුලි සහෝදර ශිල්පීන්ද එකතුකරගෙන කටයුතු කිරීම වෙස්වලාගෙන පැමිණි දේවාශිර්වාදයක් ලෙසින් මම දකිමි. එමෙන්ම එතුමා යුද්ධ හමුදා මාධ්‍ය උපදේශක ලෙස ලැබූ පන්නරයද එයට හේතුවන්නට ඇතැයි සිතමි.

ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ අරමුදල් තර කිරීමට මෙතුමා “සිසිර විජේසිංහ සුබසාධන අරමුදල” හා “ආචාර්ය ආන්ද්‍රා ධනපාල ලේඛකත්ව ප්‍රවර්ධන අරමුදල” 2023 නොවැම්බර් 01 වන දින 68 වන සංවත්සර උත්සව සභාවේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. මෙදින වයෝවෘද්ධ මාධ්‍යවේදීන් 10 දෙනකුට දහසින් බැඳි පියලි වලින් කාරියකරවන සම්මානයෙන් පුදනු ලබයි. ඊට අමතරව සංගමයේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් හා රටෙහි සම්භාවනාවට පත් ලේඛකයන් ඇගයීමට පාත්‍ර කිරීමත් ප්‍රථම වතාවට සංගමය කරනු ලබන්නේ විජේසිංහ මහතාගේ සංකල්පයක් නිසාය.

ඊට අමතරව නිවාසයක් නොමැති සාමාජිකයන්ට නිවාස ඉදිකර දීම, හෘදය, පිළිකා, වකුගඩු හා ආබාධිත තත්ත්වයේ පසුවන මාධ්‍යවේදීන්ට හැකි අයුරින් උපකාර කිරීම, මාධ්‍යවේදීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට දිය හැකි උපකාර ලබා දීම, ජනමාධ්‍යවේදීන්ගේ ගුණාත්මකභාවය ඉහළ දැමීමට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීම ආදිය ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය තුළින් ඉටු කිරීමට සැලසුම් කරයි. සිසිර විජේසිංහ නව සභාපතිතුමා ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයට ස්ථිර මූලස්ථාන ගොඩනැඟිල්ලක් දැනටමත් ලබාදීම සංගමයේ ඉතිහාසයේ අමරණීය සටහනකි. ඒ ‘රාජායතන’ විහාරස්ථාන පරිශ්‍රය තුළය. උත්තර අනුශාසක, මුදිත කාරියකරවන, මහලේකම්, කුරුලු කාරියකරවන,

භාණ්ඩාගාරික, චමින්ද කරුණාරත්න ඇතුළු විධායක සභිකයන් සහ සාමාජිකත්වය සභාපතිට ලබාදෙන සහයද ඇගයේ.

වසර 67 ක් තුළ ලබාගත නොහැකි වූ සුවිශේෂී ජයග්‍රහණ ලබමින් ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය 2023 නොවැම්බර් 01 දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපතිතුමා, ඉන්දියානු තානාපති, විදේශීය ජනමාධ්‍යවේදීන් හා සුවිශේෂී විශේෂ අමුත්තන් සමග ජනමාධ්‍ය සංගමයේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ 68 වන සංවත්සරික උත්සවය පවත්වනු ලබයි.

හැට අට වසරකට පසුව ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ සාමාජිකයන්ගේ ප්‍රවර්ධනය සඳහා සිසිර විජේසිංහ සභාපතිතුමාගේ ක්‍රියාශීලීභාවයත්, පරිත්‍යාගශීලීත්වයත් හේතු යුක්ත වී ඇති බව ඉතා සතුටින් සඳහන් කරන්නේ සංගමයේ සියලුම සාමාජික සාමාජිකාවන්ගේ හදපිරි සුභාශිංසන මැද්දේය.

එස්. ජී. කේ. ඩී. ජූලියන්
ජ්‍යෙෂ්ඨ විධායක සභික
ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment