ශ්‍රී ලංකා පොලිසියට 156 යි

597

(ශ්‍රී ලංකා පොලිසියේ 156 වැනි පොලිස් දිනය අදට (03 දාට) යෙදී තිබේ.
මේ ලිපිය ඒ නිමිත්තෙනි.)

ශ්‍රී ලංකාවේ පොලිස් රාජකාරීන් පිළිබඳ ඉතිහාසය ශතවර්ෂ දෙකකට වඩා පැරණිය. එනමුත් ප්‍රථම පොලිස්පති ලෙස ශ්‍රීමත් ජී. ඩබ්. ආර්. කැම්බල් පොලිස්පති ධුරයට පත්වූ 1866 සැප්තැම්බර් 03 වැනි දින ව්‍යවස්ථාපිතව පොලිසිය ආරම්භ කළ දිනය ලෙස සලකා 156 වැනි පොලිස් දිනය අද දින ස්මරණය කරනු ලැබේ.

ඓතිහාසික ප්‍රත්‍යාවර්ජනය වූ කලී ආයතනික සංවර්ධනයේ පදනම වන්නේය. වඩා යහපත් හා මහජන හිතෛෂිවූත් සංවර්ධනයට උපකාරී වන්නා වූත් පොලිස් සේවයක් ගොඩනැඟීමෙහිලා පොලිසියේ ඓතිහාසික තොරතුරු ඉතා වැදගත්ය. ක්‍රියාකාරීව පවත්නා සේවයක ඉතිහාසය විමර්ශනය කළ යුත්තේ හුදෙක් ඓතිහාසික වාර්තාවන් සකස් කිරීමට පමණක් නොවේ. දීර්ඝකාලීනව ක්‍රියාත්මක වීමෙන් ලද ජයග්‍රහණ හඳුනා ගැනීමට ද, ඌනතා හඳුනා ගැනීමට ද, ඉදිරි මඟ සකස් කරගැනීමට ද, මෙම අතීත විමර්ශන උපස්ථම්භනය වනු ඇත.

ලන්දේසි ජාතිකයන් මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කර ගැනීමෙන් අනතුරුව 1650 ජූනි මස 10 දින කොළඹ නගර සභාව සම්මත කරගත් යෝජනාවක් අනුව කොළඹ නගරයේ වෙළෙඳාම් කටයුතු පාලනය කිරීම සඳහාත්, රාත්‍රී කාලයේ නගර ආරක්ෂාව සඳහාත් සොල්දාදුවන් සිව් දෙනකු යෙදවීම ලංකාවේ පොලිස් රාජකාරියේ මූලාරම්භය ලෙසට ඇතැම් මුලාශ්‍රයන්ගෙන් පිළිබිඹු වේ.

කොළඹ නගරයේ පොලිස් රාජකාරි සඳහා හමුදා සොල්දාදුවන්ද කොටුව ප්‍රදේශයේ ලන්දේසි සොල්දාදුවන්ද, පිටකොටුව ප්‍රදේශයේ මැලේ ජාතික පොලිස් කුලී සොල්දාදුවන්ද අතීතයේදී පොලිස් රාජකාරි ඉටුකර ඇත.

ශ්‍රී ලංකා පොලිසියට 156 යි

1806 වනවිට ඉංග්‍රීසි ජාතිකයන් කොළඹ නගරයෙන් පිටත පොලිස් රාජකාරි කිරීම සඳහා ආඥා පනතක් සම්මත කරගෙන ඇති අතර 1833 වන විට රජයෙන් ගෙවීමක් කරන පොලිස් සේවයක් ආරම්භවී ඇත. මෙම අවධියේදී පොලිස් නිලධාරින් 165 දෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් රාජකාරියේ නිරතව සිට ඇත.

1843 දී එවකට බලපැවැත්වූ පොලිස් අඥාපනත අවලංගුකර දිවයිනේ ඕනෑම නගරයක පොලිස් ස්ථාන පිහිටුවීමට ආණ්ඩුකාරවරයාට බලය පවරණ ලදී. 1843 වර්ෂයේදී පොලිස් පරීක්ෂක නිලය හඳුන්වා දෙමින් නිලධාරීන් සංඛ්‍යාව වැඩිකර ඇති අතර පොලිස් පියන් තනතුර අවලංගුකර පොලිස් කොස්තාපල් තනතුරද හඳුන්වා දී ඇත. 1863 වර්ෂයේ අවසානය වන විට පොලිස් ස්ථාන 48 ක් පිහිටුවා තිබී ඇති අතර 1867 වන විට පොලිස් මූලස්ථානය මරදානේ මුස්ලිම් පල්ලිය අසල පිහිටුවා ඇත. ප්‍රථම ශ්‍රී ලාංකික පොලිස්පති ලෙස සර් රිචඩ් අලුවිහාරේ මහතා පත්වන්නේ නිදහස ලැබීමටත් පෙර 1947 වර්ෂයේදීය. ඔහු මෙරට 11 වන පොලිස්පතිවරයාය.

1948 වර්ෂයේ නිදහස ලැබීමෙන් පසු මෙරට ඇති වූ සමාජ ආර්ථික දේශපාලනමය වෙනස්වීම්වලට සරිලන ලෙස එකල පොලිස් දෙපාර්තමේන්තුවද වෙනස් වෙමින් දිවයින පුරා පොලිස් ස්ථාන වැඩි සංඛ්‍යාවක් ආරම්භකර විවිධ රාජකාරි ආරම්භ කර ඇත. පොලිස් ස්ථාන පිහිටුවීමේදී අනුගමනය කළ ප්‍රතිපත්ති අතර එක් ප්‍රතිපත්තියක් වී ඇත්තේ කිසියම් නගරයකින් එකතු කරන වරිපනම් බදු ප්‍රමාණයෙන් එම පොලිසිය නඩත්තු කිරීමට හැකියාව තිබිය යුතුය යන්නය.

රජයට විරුද්ධ වන සියලුම උද්ඝෝෂණ කැරලිවලට සෘජුවම මුහුණ දුන්නේ පොලිසියයි. 1971 වර්ෂයේ රජය පෙරළීමට ගත් උත්සාහයේදී රාජ්‍ය විරෝධී කැරලි කණ්ඩායම් පළමුවෙන් පහර දුන්නේ පොලිසියටයි. යුද්ධ හමුදා ලක්ෂණවලින් තොරව නිර්මාණය කරන ලද පොලිසියට අවියෙන් සන්නද්ධව රාජකාරි කිරීමට සිදුවූයේ ද එවැනි පරිසරයක් බිහිවීම හේතුවෙනි. එල්.ටී.ටී.ඊ යුද්ධයේ එය වඩාත් තීව්‍ර විය. වත්මන් කාලයේ ඇතිවූ අරගලවලදී ද නැවත වතාවක් එවැනි අවස්ථාවක් දක්නට ලැබුණි.

නව පොලිස් ස්ථාන ආරම්භ කිරීම 2016 වනවිට ලංකාවේ පොලිස් ස්ථාන 438 ක් ක්‍රියාකාරීව තිබූ අතර එවකට රාජකාරි කළ පොලිස් නිලධරයන් සංඛ්‍යාව පොලිස් විශේෂ කාර්ය බළකායද ඇතුළත්ව 86830 කි. 2016 වර්ෂයේ රාජ්‍ය ප්‍රතිපත්ති අනුව පොලිස් ස්ථාන 600 දක්වා වැඩිකිරීමටත්, ප්‍රජා පොලිස් සේවාවන් ආරම්භ කිරීමටත් තීරණය විය. ඒ අනුව පොලිස් ස්ථාන 494 ක් දක්වා වැඩි කර ගැනීමට හැකිවිය. 2019 දී “සෞභාග්‍ය දැක්ම” ප්‍රතිපත්ති අනුව අලුතින් පොලිස් ස්ථාන 201 ක් වැඩිකිරීමට යෝජනා විය. ඒ අනුව පොලිස් ස්ථාන 695 දක්වා වැඩිවීමට නියමිතව තිබුණි.

එම සංඛ්‍යාවෙන් මේ වනවිට නව පොලිස් ස්ථාන 111 ක් විවෘත වී අවසන් වු අතර අද වන විට දිවයින පුරා පොලිස් ස්ථාන 605ක් ක්‍රියාත්මක වේ. 156 වන පොලිස් දිනය සමරණ අවස්ථාව වන විට ශ්‍රී ලංකා පොලිසියේ නිලධරයන් සංඛ්‍යාව 86698 කි. මීට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධරයන් 8326ක්ද පොලිස් සහායක සේවා නිලධරයන් (වැඩ අංශය) 1307 ක්ද පොලිස් ආරක්ෂක සහායක නිලධාරින් (එස්.ඒ) 232 ක්ද වන ලෙස සමස්ථ පොලිස් සේවයේ 96563 ක් රාජකාරි කරණු ලබයි.

ශ්‍රී ලංකා පොලිසියට 156 යි

පොලිසිය ප්‍රතිව්‍යුහ ගතකිරීම

වත්මන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න පොලිසිය ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාපෘතියක් හඳුන්වාදී එය මේ වන විට ක්‍රියාත්මකව ඇත. ඒ අනුව පොලිස් පරිපාලනයේ නව ව්‍යුහයක් හඳුන්වාදී ඇත. නව ව්‍යුහයට අනුව ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස 45 ක් හා ක්‍රියාකාරී පොලිස් කොට්ඨාස 77 ක් ලෙසත් පොලිස් සේවය සඳහා අවශ්‍ය නිලධරයන් ගණන 107000 ක් ලෙසද සංශෝධනය විය. ඒ අනුව විවිධ කොට්ඨාස හා රාජකාරින්ද පොලිස් පරිපාලනය සඳහා වෙන්කර ඇති දිසාවන් ද නව මුහුණුවරක් ගත්තේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුව

මෙම ව්‍යාපෘතිය යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොට්ඨාස 05 කට වෙන්කර සේවාවන් පුළුල් කර ඇත.

  1. නීති විරෝධී දේපළ හෝ වත්කම් පිළිබඳ අපරාධ විමර්ශන කොට්ඨාසය
  2. පරිගණක වැරැදි පිළිබඳ විමර්ශන කොට්ඨාසය
  3. මූල්‍ය අපරාධ හා වානිජ අපරාධ කොට්ඨාසය
  4. තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය
  5. මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ෂණ කොට්ඨාසය නම් වේ.

දැනට ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් 04 දෙනෙකු, කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් 04, කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියන් 13 ක් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරිනියන් 1149 ක්, කාන්තා පොලිස් සැරයන් හා කාන්තා පොලිස් කොස්තාපල් නිලධාරිනියන් 9464 දෙනකුගෙන් සමන්විත කාන්තා පොලිස් නිලධාරිනියන් පිරිසක් දිවයිනේ සෑම ප්‍රදේශයකම පිරිමි නිලධාරින් හා එක්ව ප්‍රශංසනීය ලෙස පොලිස් රාජකාරි ඉටුකරණු ලබයි.

ශ්‍රී ලංකා පොලිසියට 156 යි

දිවයිනම ආවරණය වන අයුරින් දැනට ක්‍රියාත්මක වන පොලිස් ස්ථාන 605 තුළම ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයක් පිහිටුවා ඇත. කොට්ඨාස 45 තුළම කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයන් පිහිටුවා ඇත. 2021 මාර්තු 18 දින සහකාර පොලිස් අධිකාරි තනතුර සඳහා කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකාවන් 13 දෙනකු කාන්තා සහකාර පොලිස් අධිකාරි තනතුරටත්, ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට නිලධාරීන් 225 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරටත් උසස්වීම් ලබාදී ඇත. එක් අවස්ථාවකදි සහකාර පොලිස් අධිකාරි තනතුරට වැඩිම පිරිසකට උසස්විම් ලබාදුන් අවස්ථාව මෙය වේ. තාක්ෂණය භාවිතා කිරීම තුළින් ඵලදායිතාව ඉහළ නැංවීම අපරාධකරුවන් හඳුනා ගැනීම සහ සමස්ත අපරාධ විමර්ශනය සඳහා සී.සී.ටී.වී පද්ධතිය සහ සී.සී.ටී.වී. සහිත ජංගම රථ භාවිතා කිරීමත් අපරාධ වාර්ථා කොට්ඨාසයෙන් විඩියෝ පටිගතකිරීම මෙන්ම මාධ්‍ය කොට්ඨාසයෙන් පැය 24 පුරාවට රූපවාහිනී නාලිකා, වේබ්, සාමජ මාධ්‍ය ජාලා ආවරණය වන පරිදි මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය නිරීක්ෂණ මැදිරියක් පවත්වාගෙන යාම වැදගත් වේ.

රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව

පොලිසිය සිදුකරන රාජකාරිවලින් රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සලසමින් සිදුකරන පොලිස් රාජකාරිය ජනතාවට නිරාවරණය වු ජනතාවගේ විවේචනයන්ට ද භාජනය වන රාජකාරියකි. දිනෙත් දින වැඩිවන රථවාහන හේතුවෙන් ඇතිවන වාහන තදබදය වඩාත් සුමට වාහන ගලනයක් බවට පත් කළයුතුව ඇත. ඒ සඳහා පදිකයින් හා රථවාහන භාවිතා කරන සාමාන්‍ය මාර්ග පද්ධතියත්, අධිවේගී මාර්ග පද්ධතියත් භාවිතා කිරීම කළමනාකරණය කිරීමට, පොලිසිය දිවා රාත්‍රී අව්ව, වැස්ස, දූවිල්ල, වාහන දුමාරය නොතකා දුෂ්කර රාජකාරියක් සිදුකරනු ලබයි.

මත්ද්‍රව්‍ය අපරාධ

බල අපරාධ යටතට ගැනෙන මත්ද්‍රව්‍ය අපරාධ අන්තරාදායක ඖෂධ හෝ නිද්‍රාජනක ද්‍රව්‍ය ලෙසද හඳුන්වා ඇත. පොලිසිය මගින් බොහෝ මත්ද්‍රව්‍ය වැටලීම් සලකන්නේ වාර්තා වූ සිදුවීම් ලෙසය. වාර්ෂිකව අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් හා නඩු පවරන ලද ප්‍රමාණයන් සංසන්දනය කර බැලීමේදී මත්ද්‍රව්‍ය පානය කරන පිරිසට වඩා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පිරිස් අත්අඩංගුවට ගත් අවස්ථාවන් වැඩි බව පෙනීයයි. එයට හේතුව තවමත් අප රටෙහි හෙරොයින්, මෝර්ෆින්, අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිතා කර මත් ගතියෙන් සිටින පිරිස් අත්අඩංගුවට ගැනීමට නිශ්චිත ක්‍රමයක් හෝ නීති කෙටුම්පත්ව නැති වීමයි. අද දක්වා පොලිස් රාජකාරිය වෙනුවෙන් මියගිය පොලිස් නිලධාරින් ගණන 3039 ක් පමණ වේ. එයින් 2598ක්ම එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදි ක්‍රියා හේතුවෙන් මියගිය වික්‍රමාන්විත නිලධාරීන් වන අතර ආබාධිත වූ නිලධාරීන් සංඛ්‍යාව 1571 කි. සාමාන්‍ය පොලිස් රාජකාරියේදී වුවද අන් අයගේ

දේපළ හා ජීවිත ආරක්ෂා කිරීමට දිවිපිදූ පොලිස් නිලධාරින් ගණන 441 ක් වේ. ආබාධිත ගණන 78 දෙනෙකුට වැඩිය. වාර්ෂිකව ආබාධයට ලක්වන පිරිස වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගන්නා අතර ඇතැමුන් සේවයේ යෙදී සිටී. පොලිස් රාජකාරිය පවතිනතාක් ඔවුන් සිහිපත් කිරීමට සෑම වසරකම මාර්තු 21 වන දින පොලිස් අනුස්මරණ දිනය ලෙස නම් කර ඇත.

පොලිස් දෙපාර්තමේන්තුව පොලිස් සේවයක් ලෙස ස්වදේශීය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශයන් යටතේ මෙන්ම ස්වාධීන පොලිස් කොමිෂන් සභාව යටතේද පාලනය වී වත්මන් රජයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය නමින් වෙනම අමාත්‍යාංශයක් යටතේ පාලනය වේ. ගරු අමාත්‍යතුමාගේ මඟ පෙන්වීම හා උපදෙස් අනුව මෙවර පොලිස් දින සැමරුම් උත්සවය ගෞරවාන්විතව සැමරීමට කටයුතු සුදානම් කර ඇත.

ශ්‍රී ලංකා පොලිසියට 156 යි

නිහාල් තල්දූව
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී,
නීතිඥ පොලිස් මාධ්‍ය ප්‍රකාශක
පොලිස් මාධ්‍ය කොට්ඨාසය

advertistmentadvertistment
advertistmentadvertistment