මම ලංකාදීප පත්තරේ ඉන්ටවිව් ගියේ සුදු ගවුමෙන් – චන්ද්‍රා රණසිංහ

132

මෙරට ප්‍රථම කාන්තා පුවත්පතේ කතුවරියගේ රස මතක

මම දේවි බාලිකාවේ ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකාවක්…

අම්මයි, තාත්තයි දෙන්නම විදුහල්පතිවරු ඒත් මම විශ්වවිද්‍යාලෙ යන්න කැමැති වුණේ නෑ…

මම පත්තර රස්සාවට යොමු වුණේ කරුණාසේන ජයලත් අයියගෙ ජනප්‍රියත්වය දැකලා…

කාන්තාවන්ට වඩා වනිතා විත්ති බැලුවේ පිරිමි…

පත්තර රස්සාව පිරිමින්ට වෙන් වූ වෙනම ලෝකයක්…

උස් තාප්පයකින් වට වූ ගෙවත්ත ඉදිරිපස දිය පිරුණු පොකුණකි. ඉබි පැටව්, තිත්ත පැටව් රංචු ගැසී දඟ කරමින් සිටි පොකුණ වටා පමණක් නොව, මුළු ගෙවත්ත ම ගස් කොළන්වලින් පිරුණු තුරු වියනක් විය. දං, මා දං, අඹ, රඹුටන්, පේර, නාරං, ඇඹරැල්ලා ඇතුළු විවිධ පලතුරු ගස්ය. විහිදුණු අතු, පතර කූඩු තනාගෙන සිටින කුරුල්ලන්ගේ කිචි බිචිය, ලේන්නුගේ ටිං, ටිං නාදය දෙසවන පින වන මියුරු සංගීතයක් බඳු ය. එමෙන්ම ඒ ප්‍රතාපවත් නිවසේ විසල් දොර ජනෙල්වලින් ඇතුළු වන පවන් රැළි දහවලේ ද මගේ ගත සිසිල් කළේය. එහෙත් මේ නගරයෙන් ඈත පිටිසර පළාතක විසල් වත්තක් නොවේ. පිටකෝට්ටේ, මිරිහානේ නිවාසවලින් වට වූ ප්‍රදේශයක පුංචි ගෙවත්තකි.

පසුගිය දිනෙක අප ඒ සුන්දර නිවහනට ඇතුළු වූයේ මෙරට ප්‍රථම කාන්තා පුවත්පත වන ‘වනිතා විත්ති’ පත්තරේ ආරම්භක සාමාජිකාවක් මුණගැසීමටය. සුන්දර ගෙවත්ත, සොඳුරු නිවහන මෙන්ම එහි පදිංචිකරුවන්ගේ ලෙන්ගතු පිළිගැනීම ද හදවත සොරාගත්තා කීවොත් අතිශයෝක්තියක් නොවේ. විසල් විසිත්ත කාමරය මැද සුව අසුනකට බර දී සිටි චන්ද්‍රා රණසිංහගේ සිනාව ද මල් වත්තක් මෙන් සුන්දරය. වයසින් අසූනවය වැනි විය පසු කර සිටිය ද සිනාවෙන් ඇය තවම තරුණය.

“ගේ හොයාගන්න අමාරු වුණාද? මාධ්‍යවේදීන්ට එහෙම වෙන්න බෑ. අපි පත්තර රස්සාව කරන කාලේ මේ කොළඹ නොදන්නා තැනක් නෑ. කොළඹ විතරක් නෙමෙයි, රට තොටේ, ලෝකයේ වෙන දේ ගැනත් නිතර අප්ඩේට් වෙන්න ඕනෑ…” ඔවුන්ගේ නිවස සොයාගැනීමට අපට තරමක් අසීරු වූ නිසා සිනාව අතරින් ඇය ඔවදනක් ලබා දුන්නාය.

“මගේ ඇස් පෙනීම ගොඩක්ම දුර්වලයි. ඒත් කන් හොඳට ඇහෙනවා. පුතා ඕන ප්‍රශ්නයක් අහන්න මම උත්තර දෙන්නම්…” අත් වාරුව පසෙකින් තැබූ ඇය අසුන මත හරි බැරි ගැසී දීර්ඝ කතාබහකට සූදානම් වූවාය.

දේවි බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට විෂයන් දෙකක් සමත් වූ ඇය 1957 වර්ෂයේ පෙබරවාරි මස 28 වැනිදා ටයිම්ස් ආයතනයේ ලංකාදීප කර්තෘ මණ්ඩලයට සම්බන්ධ වී තිබේ. අනතුරුව එම ආයතනය විසින් ආරම්භ කළ ‘වනිතා විත්ති’ කාන්තා පුවත්පතට ඇයව ද අනුයුක්ත කර ඇත. වනිතා විත්ති පුවත්පතේ ආරම්භක කර්තෘවරිය වන ශ්‍රියා රත්නකාර මහත්මිය එම තනතුරෙන් සමුගැනීමත් සමඟ එම පුවත්පතේ දෙවැනි කතුවරිය ලෙස වැඩ භාරගෙන ඇත්තේ චන්ද්‍රා රණසිංහය. එදා සිට ටයිම්ස් ආයතනය වසා දමන තෙක් වනිතා විත්ති පුවත්පතේ කතුවරිය ලෙස සේවය කළ ඇය ජීවිතයේ සැඳෑ සමය ගත කරනුයේ මෙරට මිරිහානේ මහගෙදර නොවේ. ඇමෙරිකාවේ හූස්ටන් නගරයේ දියණියගේ නිවසේය. මේ කතාබහට අපට අවස්ථාව උදා වූයේ කෙටි නිවාඩුවකට ඇය මෙරටට පැමිණ සිටින නිසාය.

මම ලංකාදීප පත්තරේ ඉන්ටවිව් ගියේ සුදු ගවුමෙන් - චන්ද්‍රා රණසිංහ
චන්ද්‍රා රණසිංහ ලංකාදීප කර්තෘ මණ්ඩලය තුළ

“මම ලංකාදීප පත්තර කන්තෝරුවේ ඉන්ටවිව් එකට ගියේ සුදු ගවුමෙන්…” ඇයගේ මුවින් පිට වූ ඒ කතාවට නම් අසුන්ගෙන සිටි සියලුදෙනාට සිනා පහළ විය. ඇයගේ දෙවැනි පුතා නීතිඥ චන්න රණසිංහ සහ සෙවනැල්ල මෙන් ළඟ රැඳෙමින් ඇහැක් මෙන් ඇයව බලා ගන්නා එකම දියණිය ජිනාදරී රණසිංහ ආදරණීය මව මැදි කරගෙන අසුන්ගෙන සිටිති. මඳක් ඈතින් චන්න රණසිංහ මහතාගේ බිරිඳ සහ වැඩිමහල් පුතා සහ දියණිය ද චන්ද්‍රා රණසිංහයන්ගේ අතීත විත්ති ඇසීමට නොවිසිලිමත්ව සිටින අයුර පෙනේ. චන්ද්‍රා රණසිංහන්යගේ වැඩිමහල් පුතා ද ජීවත්වනුයේ ඇමෙරිකාවේය. ඇයට නිදහසේ මතක අවදි කිරීමට ඉඩ හැර මම අසා සිටිමි.

“ඒ සන්දියේ පත්තරවල ගොඩක්ම වැඩ කළේ පිරිමි. මම පත්තර කන්තෝරුවක රස්සාවකට යනව කිව්වම අම්මයි, තාත්තයි දෙන්නම කැමැති වුණේ නෑ. එතකොට ඒ දෙන්නම පාසල් දෙකක විදුහල්පතිවරු. ඔවුන්ගේ එකම සිහිනය වුණේ මාව විශ්වවිද්‍යාලයට යවන්න. මට ඕන වුණේ පත්තරයක රස්සාවක් කරන්න. ඒක වෙනස් කලාවක්. ඇත්තටම පිරිමින්ට වෙන් වූ ලෝකයක්. ඒ ලෝකය ඇතුළට රිංගන්න මට පුදුම ආශාවක් තිබුණේ…”

“තරුණ කාලේ අම්මා ගොඩක්ම හිතුවක්කාරයිලු. හිතුනොත් දෙයක් කරනවමයි කියලා අපිට කිව්වෙත් අම්ම තමයි…” චන්ද්‍රා රණසිංහයන්ගේ කතාවට බාධා කරමින් චන්න එසේ කීවේය.

“හිතුවක්කාරකමක් නෙමෙයි. තමන් ගැන ස්වාධීනව තීන්දු තීරණ ගන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. මගේ ජීවිතය සම්බන්ධයෙන් මම හිතල බලලා තීරණ ගත්තා. මම ගත්ත එක තීරණයක්වත් වැරැදිලා නෑ…”

මම ලංකාදීප පත්තරේ ඉන්ටවිව් ගියේ සුදු ගවුමෙන් - චන්ද්‍රා රණසිංහ
යුගොස් ලොවියානු හිටපු ජනාධිපති මාර්ෂල් ටිටෝගේ බිරිඳ ශ්‍රියා රත්නකාර සහ සිරිමාවෝ බණ්ඩාරනායක සහ චන්ද්‍රා රණසිංහ

චන්ද්‍රා රණසිංහයන්ගේ පියා එම්. සී. අමරසිංහය. මව ඩී. එස්. කස්තුරිආරච්චිය. දෙදෙනාම ගුරුවරුය. ඇයට සහෝදරියන් පස්දෙනෙක් සහ එක් සහෝදරයෙක් සිටිති. 1934 වර්ෂයේ අගෝස්තු මස 23 වැනිදා ඇය මෙලොව එළිය දැක ඇත්තේ පවුලෙ සයවෙනි දරුවා ලෙසය. චන්ද්‍රා රණසිංහයන් උස් හඬින් පෙළගැසෙන කතාවට නැවත සම්බන්ධ විය.

“අම්මයි, තාත්තයි දෙන්නම ගුරුවරු නිසා හිසරදයට කොට්ට මාරු කරන ගානට පදිංචිය වෙනස් කරන්න වුණා. අපි හත්දෙනා පාසල් කිහිපයක ඉගෙනගත්තා. පාසල් ජීවිතයට ඇතුළත් වුණේ මාතර සුජාතා බාලිකාවෙන්. ඊට පස්සෙ හොරණ උඩුවේ පාසලට ඇතුළත් වුණා. 3 වසර පන්තියේදී නැවත හොරණ තක්‍ෂිලාවට ඇතුළත් වුණා. අනතුරුව හොරණ ශ්‍රීපාලි විද්‍යාලයට ඇතුළත් වුණා. හයේ පන්තියේදී කෝට්ටේ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළට තමයි බොරැල්ල දේවි බාලිකාවට ඇතුළත් වුණේ. 1953 අවුරුද්දෙ දේවි බාලිකා විද්‍යාලයට මම ඇතුළත් වුණේ එම පාසලේ ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකාවක් විදිහටයි. දේවි බාලිකාවේ ආරම්භක විදුහල්පතිනිය විදිහට කටයුතු කළේ ආචාර්ය විමලා ද සිල්වා මහත්මිය. ඒ වගේම මගේ වැඩිමහල් සොයුරියක් වූ ඒඩා අමරසිංහ මෙනෙවියත් එම පාසලේ ආරම්භක ගුරුවරියන් පස්දෙනා අතර සේවය කළා. මම උසස් පෙළට කළේ ගණිතය, භූගෝල විද්‍යාව, සිංහල, පාලි විෂයන් හතර. ඒ කාලේ උසස් පෙළ විභාගයෙන් විෂයන් දෙකක් සමත් වුණාම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන්. ඒත් මම උසස් පෙළ විභාගයට පෙනී සිටින අවුරුද්දෙ ඉඳලා විෂයන් තුනක් සමත්වීම අනිවාර්ය වුණා. මම පාස් වුණේ විෂයන් දෙකයි. නැවත විභාගය ලියන්න කියලා අම්මයි, තාත්තයි වද කළා. බේරිල්ලක් නැති තැන නැවත ඉස්කෝලෙත් ගියා. ඒ යන අතරේ තමයි ටයිම්ස් ආයතනයේ ඉන්ටවිව් ගියේ…” අසා සිටින අය ‘හ්ම්’ ශබ්දයක් නැත. ඇයගේ මුවින් ගිලිහෙන වචන එතරම් ම රසවත්ය. සමන් රණවීර විවිධ කෝණයන්ට හැරෙමින් ඇයව ඡායාරූපයට හසු කර ගන්නා අයුරු ද පෙනේ.

“මම පත්තර රස්සාවට යොමු වෙන්න ප්‍රධාන වුණේ කරුණාසේන ජයලත් අයියට එවකට තිබුණු ජනප්‍රියත්වය දැකලා. ජයලත් අයියා විවාහ වෙලා හිටියේ මගේ වැඩිමහල් සහෝදරියක් වූ රූපා අක්කා සමඟ. ඒ සන්දියේ ජයලත් අයියගේ ‘ගොළු හදවත’ නවකතාව හරිම ජනප්‍රියයි. ජයලත් අයියට චිත්‍රපට චක්‍රවර්තී කියලා නමකුත් පටබැඳලා තිබුණා. ලංකාදීප පුවත්පතේ සිනමා පිටුවේ සංස්කාරකවරයා විදිහට කටයුතු කළෙත් කරුණාසේන ජයලත්. සිංහලට පරිවර්තනය කරලා දෙන්න කියලා ජයලත් අයිය මට පුංචි, පුංචි ඉංග්‍රීසි ලිපි දුන්නා. මම පරිවර්තනය කරල දුන්නම මගේ නමින් ලංකාදීප පත්තරේ පළ කළා. මම ඉගෙනගත්තෙ ඉංග්‍රීසි මාධ්‍යයෙන් වුණාට සිංහල පොත්පත් කියැවීමට පුංචි කාලේ ඉඳලා හුරු වෙලා හිටියා. පුංචි විවේකයක් ලැබෙන සෑම මොහොතකම මගේ විනෝදාංශය කියැවීම. දැන් මට කියවන්න ඇස් පෙන්නෙ නැති එක ගැන හරිම දුකයි. ඒත් හැමදාම අපිට එක විදිහට ඉන්න බෑ. ලෝක ධර්මතාවයට මුහුණ දෙන්න වෙනවා. එහෙම හිතල මම හිත හදාගන්නවා…” පෙළගැසෙන කතාවේ රිද්මය තරමක් වෙනස් විය. පෙනීම සම්බන්ධයෙන් ඇති දුර්වලතාව ගැන ඇය සිතින් පසුතැවෙන බව මුවින් ගිලිහෙන වචනවල ගැබ් වී තිබිණි. එමෙන්ම අත්වාරුවක් නොමැතිව ඇයට ඇවිද යෑමට අසීරුය. එහෙත් ශරීර දුබලතා ගැන කතා කිරීමට ඇය අකැමැති බව අපට වැටහිණි. පිළිවෙළට ඇඳ, පැළඳගෙන සුහද කතාබහ නිරතව සිටින ඇය අකැමැති දේවල් ගැන හාර ඇවිස්සීමට මගේ සිත මැලි විය.

“වනිතා විත්ති පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ ආරම්භක සාමාජිකාවන් විදිහට වැඩ කළේ තුන්දෙනයි. මමයි, ශ්‍රියා රත්නකාරයි, සීතා සුබසිංහයි. පත්තරේ ඉන්ටවිව් ගියෙත් අපි තුන්දෙනා එකටමයි. අපිව ඉන්ටවිව් කළේ පියල් වික්‍රමසිංහ මහත්තයා. ඒ වෙනකොට මම පාසල් ශිෂ්‍යාවක්. සීතටත් එතරම් අත්දැකීම් තිබුණේ නෑ. ශ්‍රියා රත්නකාරට පුවත්පත් කලාව ගැන හොඳ දැනුමක් තිබුණා. ඒ නිසා ශ්‍රියා රත්නකාරව කර්තෘ විදිහට පත් කළා. ලංකාදීප පුවත්පත යටතේ තමයි වනිතා විත්ති පුවත්පත කරගෙන ගියේ. එතකොට ලංකාදීප කර්තෘ ඩී. බී. ධනපාල මහත්තයා. වනිතා විත්ති පුවත්පත ජනගත කිරීමට ලංකාදීප පත්තරේ කර්තෘ මණ්ඩල සාමාජිකයනුත් විශාල සහයෝගයක් දුන්නා. පිරිමින්ට වෙන් වූ පත්තර කලාව තුළ අපි තුන්දෙනාට ගෞරවාන්විත ආකාරයට සැලකුවා. ගුරුහරුකම් ලබා දුන්නා. ඔවුන්ගේ ලැබුණු සහයෝගය නිසා අපිට වැඩ කරගෙන යන්න පහසු වුණා. අපි තුන්දෙනත් වැඩ ටික බෙදාගෙන හරිම උනන්දුවෙන් සහ කැපවීමෙන් පත්තරේ කරගෙන ගියා. අපේ එකම අරමුණ වෙලා තිබුණේ ජනතාවගේ සුරතට හොඳම කාන්තා පුවත්පතක් ලබාදීම පමණයි. වනිතා විත්ති පුවත්පතේ පළමු පත්‍රය පිට වෙච්ච දවස අද වගේ මට මතකයි. 1957 අප්‍රේල් 28 වැනිදා. මම ටයිම්ස් ආයතනයට සම්බන්ධ වෙලා හරියටම මාස දෙකකට පසුවයි. ‘වනිතා විත්ති’ කියලා පත්තරේට නම යෝජනා කරල තිබුණේ ශ්‍රී නිශ්ශංක මහත්තයයි, ධනපාල මහත්තයයි. නාරිගැට මෝස්තරයක් යොදා වනිතා විත්ති ලාංඡනය නිර්මාණය කළේ ශ්‍රී නිශ්ශංක මහත්තයා. වනිතා විත්ති ප්‍රථම මුද්‍රණය ඉඳලා ජනප්‍රිය වෙච්ච පත්තරයක්. කාන්තාවන්ට වඩා වනිතා විත්ති බැලුවේ පිරිමි…” අසා සිටි අය සිනා ගන්වමින් චන්ද්‍ර රණසිංහ දිගු සුසුමක් පිට කර හද සැහැල්ලු කර ගත්තාය.

මම ලංකාදීප පත්තරේ ඉන්ටවිව් ගියේ සුදු ගවුමෙන් - චන්ද්‍රා රණසිංහ
චන්ද්‍රා රණසිංහ දරු මුණුබුරන් සමග

මෙරට පත්තර කලාවේ ස්වර්ණමය යුගයක එළිදුටු ‘වනිතා විත්ති’ පුවත්පතේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ සමාජ, ආර්ථික හා දේශපාලනික නිවැරැදි තොරතුරු ජනගත කරමින් මෙරට කාන්තාවන් දැනුමෙන් පෝෂණය කිරීමය. එම අරමුණ සාක්ෂාත් කරගැනීම උදෙසා සෑම සතියකම බදාදා වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇති වනිතා විත්ති පුවත්පතේ ඇතුළත් විශේෂාංග කිහිපියකි. අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජීය වටිනාකමින් යුතු ලිපි රැසක් මෙන්ම නිවස කළඑළි කරන හැටි, ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්, කන බොන හැටි, යහපත් ළමා පරපුරක් නිර්මාණය කරගන්නා ආකාරය, පවුල් සෞඛ්‍ය ගැටලු සහ විසඳුම්, නීති උපදෙස්, මංගල යෝජනා, කාන්තා ගැටලු, විදෙස් විත්ති, අසරණ, සරණ මෙන්ම ළමයින්ට වෙන් වූ ලිපි රාශියක්ම වනිතා විත්ති සෑම කලාපයකම අන්තර්ගත කර ඇත. එවකට ප්‍රධාන සන්නිවේදන මාධ්‍යයක් වූ පත්තරවල පළවන තොරතුරු ගැන ජනතාව ද දැඩි විශ්වාසයෙන් පසු විය. එකී විශ්වාසයට අබමල් රේණුවක තරමේ හානියක් නොකර සත්‍ය නිවැරැදිව වනිතා විත්ති පුවත්පතෙන් ලබාදීමට කටයුතු කළ බව චන්ද්‍රා රණසිංහ විශ්වාසයෙන් යුක්තව අපට ප්‍රකාශ කළාය.

“පත්තර රස්සාව හරිම විනෝදජනකයි. ඒ වගේම අභියෝගාත්මකයි. පත්තර රස්සාවේ කාන්තාවකට රැඳෙන්නට නම් නාරි ලාලිත්‍ය වගේම පිරිමියකුට සමාන ආත්මශක්තියක් සහ එඩිතර බවක් තියෙන්න ඕනෑ. භාර දෙන ඕනෑම අභියෝගාත්මක රාජකාරියක්

නිවැරැදිව ඉෂ්ට කරන්න ඕනෑ. අතපසුවීම්, කල් දැමීම් පත්තර රස්සාවේදී තහනම් වචන. පත්තර රස්සාවේ නිරත කාන්තාවකට දරු පවුල, රැකියාව හැම දේම කළමනාකරණය කරගැනීම විශාල අභියෝගයක්. කසාද බඳින්න පෙර මගේ ලෝකය වෙලා තිබුණේ පත්තරය විතරයි. ඒත් 1960 අවුරුද්දෙදී මම කසාද බැන්දා…”

ඇය අතිනත ගත් තරුණයා එවකට මෙරට කීර්තිමත් නීතිඥයෙක් වූ ඩොනල්ඩ් රණසිංහයන්ය. ඔහු විවාහයට පෙර මෙන්ම පසුව ද පත්තර රස්සාවෙන් ඉවත්වන ලෙසට ඇයගෙන් ඉල්ලීම් කර ඇති වාර අනන්තය. එහෙත් චන්ද්‍රා රණසිංහයන් තම වෘත්තීයට සමුදීමට කැමැති වී නැත. එමෙන්ම 1960 වර්ෂයේදී ශ්‍රියා රත්නකාර වනිතා විත්ති පුවත්පතෙන් ඉවත්වීමත් සමඟ එහි කර්තෘ අසුන හිමි වී ඇත්තේ චන්ද්‍රා රණසිංහයන්ටය. පෙරටත් වඩා ඇයගේ රාජකාරිය භාරදූර වී ඇත. වගකීම් වැඩි වී ඇත. එහෙත් පවුලත්, රැකියාවත් කළමනාකරණය කරගැනීමට ඇය සමත් වී ඇත.

“ඒත් දැන් මට හිතෙනවා පුංචි කාලෙදී දරුවන් සමඟ ගත කරපු කාලය මදි කියලා. දරුවෝ බලාගන්න නැන්දම්මා සහ ඥාතීන්ගේ උපකාර ලැබුණු නිසා ඒක මට තේරුණේ නෑ. දරුවො තුන්දෙනාට අඩුපාඩුවක් දැනුනෙත් නෑ. ඒත් දැන් එයාලා මාව බලාගන්න විදිහට මට දුකයි. මුණුපුරු, මිණිපිරියනුත් මට හරිම ආදරෙයි. මාව සතුටින් තියන්න එයාලා හරියට මහන්සි වෙනවා…” පෙළගැසෙන කතාව වෙනතට හැරුණු හෙයින් මම ඇයට පැනයක් යොමු කළෙමි.

වනිතා විත්ති පුවත්පතේ කර්තෘකම ලැබුණේ ඔබ දෙපළගේ විවාහ මංගල්‍ය දවසෙ කියන එක ඇත්තද?

‘ඔව්… මගේ විවාහ මංගල්‍යය දවසෙ තමයි ඩී. බී. ධනපාල මහත්තයා ටයිම්ස් ආයතනයෙන් ඉල්ලා අස් වෙලා තිබුණේ. ඒ නිසා ඔහුට මගේ විවාහ උත්සවයටත් සහභාගි වෙන්න බැරි වුණා. ඔහුගේ ඉල්ලා අස්වීමත් සමඟ ශ්‍රියා රත්නකාර මහත්මියත් වනිතා විත්ති පුවත්පතෙන් ඉල්ලා අස් වුණා. පසුව මට කර්තෘකම ලැබුණා. ඩී. බී. ධනපාල මහත්තයා දවස පුවත්පතට එකතු වෙලා තිබුණා. වනිතා විත්ති පත්තරේ කරගෙන යන්න එවකට ඉරිදා ලංකාදීප පත්තරේ ‘ළපටි පෙළ පිටුව’ සංස්කරණය කළ සිරිපාල තිලකසේන මට විශාල ශක්තියක් වුණා. ඒ සමඟ නියෝජ්‍ය කර්තෘවරිය විදිහට ඊවා රණවීර වැඩ භාර ගත්තා. සීතා අතුකෝරළත් වනිතා විත්ති කර්තෘ මණ්ඩලයට එකතු වුණා. වනිතා විත්ති පත්තරේට අලුත් විශේෂාංගයක් විදිහට ‘ළපටි පෙළ’ නමින් පිටු දෙකක් පටන් ගත්තා. ඒ පිටු දෙක ළමයි අතර පුදුමාකාර විදිහට ජනප්‍රිය වුණා…”

1983 කළු ජූලියේදී මුහුණදීමට සිදු වූ අමිහිරි අද්දැකීම් ඇතුළුව චන්ද්‍රා රණසිංහයන්ගේ අමතක නොවන මතක තවත් සතියකට ඉතිරි කෙරිණි.

තරංග රත්නවීර
ඡායාරූප . සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment