මේක ප්‍රජාතන්ත්‍රවාදයට ඇණ ගැහීමේ දීන කුමන්ත්‍රණයක් – පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර

58

පවතින දේශපාලන සන්ධාන, පක්ෂය බිඳ වැටී නව සන්ධාන බිහිවෙමින් තිබේ. ඒ පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමිනි. මැතිවරණය පැවැත්විම අවිනිශ්චිත විපක්ෂයේ දේශපාලන බලවේග මේ මොහොතේ ඉතා උනන්දුවෙන් පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් විවිධ දේ සැලසුම් කරමින් සහ ඒවා ක්‍රියාත්මක කරමින් තිබේ. මෙරට දේශපාලනයේ සංසිද්ධීන් පිළිබඳව අප විමසුවේ උත්තර ලංකා සභාගයේ ජාතික සංවිධායක, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරගෙනි.

ප්‍රශ්නය – නිදහස් ජනතා සන්ධානය ආරම්භයේදී යම් යම් අර්බුදකාරී තත්ත්වයන් පැනනැගිල නේද? මොකද මේ වෙද්දි මේ සන්ධානයෙ ප්‍රධාන පාර්ශ්වකරුවෙක් වන ශ්‍රීලනිපයේ ඇතැම් තීන්දු තීරණ සන්ධානයේ සමගියට, එකඟතාවලට අහිතකර ලෙස බලපෑම් කරන බව තමයි දේශපාලන විචාරකයන් කියන්නේ. ඔබ මොකක්ද ඒ ගැන හිතන්නේ…?

පිළිතුර – නිදහස් ජනතා සන්ධානය ගොඩනැගෙන්නෙ මූලික දේශපාලන බලවේග කීපයක් මුල්කරගෙන. ශ්‍රීලනිපය, උත්තර ලංකා සභාගය, නිදහස ජනතා සභාව, අනුර ප්‍රියදර්ශන යාපා කණ්ඩායම සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය එකතුව තමයි ඒක ගොඩනැගෙන්නෙ. මේ සන්ධානය ඇතුළෙ ඉන්නව පළාත් පාලන මැතිවරණවලදි වෙන වෙනම තරග කරපු පක්ෂ. ශ්‍රීලනිපය පසුගිය පළාත් පාලන මැතිවරණයෙදි තනිවම තරග කරල මන්ත්‍රී ධුර 1100කට ආසන්න සංඛ්‍යාවක් දිනාගත්ත පක්ෂයක්. අපිත් එක්ක ඉන්න දේශපාලන බලවේග මූලික ප්‍රතිපත්ති රාමුවකට එකඟව මේ සන්ධානගත වුණත් පළාත් පාලන ආයතන මට්ටමේදී නාමයෝජනා දෙද්දි හැම පාර්ශ්වයකටම අවස්ථාව දෙන්න ඕන. උත්තර ලංකා සභාගය ගත්තොත් ඒ පක්ෂවල දැනට මන්ත්‍රීවරු ඉන්නව. ඇතැම් පළාත් පාලන ආයතනවල මේ සන්ධානයේ මූලික දේශපාලන බලවේග හැම එකකම මන්ත්‍රීවරයෙක් හිටිය තැන් වාර්තා වුණා. මේ ගැටලුව ගැන සාකච්ඡා දිගින් දිගටම තිබුණ.

අපි දන්නව මේ නිදහස් ජනතා සන්ධානය තමයි මේ රටේ අද අලි-පොහොට්ටුවෙ ප්‍රධාන හතුර. පොහොට්ටුව බැසිල් රාජපක්ෂගෙ නායකත්වයෙන්, මෙහෙයවීමෙන් සෞභාග්‍යයේ දැක්මට පටහැනි ගමනක් යෑමට පටන් ගැනීමෙදි පොහොට්ටුව තුළ අර්බුදයක් ගොඩනැගුණ. බැසිල්ගෙ නායකත්වයෙන් පොහොට්ටු ආණ්ඩුව හැටනම ලක්ෂ ජනවරමට පටහැනි ගමනක් යන්න ගත්තට පස්සෙ තමයි ඊට විරුද්ධව සහ හැටනම ලක්ෂයේ අභිලාෂයන් ඉටුකිරීමට තමයි උත්තර ලංකා සභාගය නමැති දේශපාලන ව්‍යාපාරය ගොඩනැගෙන්නෙ ගෝඨාභය ආණ්ඩුව ඇතුළෙ. එහෙම ආණ්ඩුව ඇතුළෙ ඉඳල කරන විවේචනයන් නැත්නම් අභ්‍යන්තර විවේචනයන් පලක් නොවෙන තැනදි, ඒක බීරි අලීන්ට විණා වැයීමක් වගේ වුණාට පස්සෙ රාජපක්ෂවරුන්ගෙ ගැත්තො බලාගෙන ඉදිද්දි ඊට විරුද්ධව ‘මුළු රටම හරි මගට’ නමින් වැඩපිළිවෙළක් එන්නෙ. ඒ නිසා උත්තර ලංකා සභාවෙ කැබිනට් ඇමැතිවරු දෙදෙනෙක් වුණු විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට තනතුරු අහිමි වෙනව. වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ඒකට විරුද්ධ ඇමැතිකම අත්හරිනව. රාජ්‍ය ඇමැතිවරයෙක් විදිහට හිටපු මම ඉවත්වෙනව. එතනදි තමයි රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි අපේ මේ අරගලය ගොඩනැගෙන්නෙ. ඒ නිසා මේකට රනිල්-පොහොට්ටු හවුල ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධයි. සජබෙ ප්‍රතිපත්තිමය විදිහට විරුද්ධයි. ඊළඟට ජාතික ජනබලවේගය. ජාතික ජනබලවේගය වටේ ඉන්නෙ විශාල රාජ්‍ය නොවන සංවිධාන ජාලයක්. ඒ ජාලයත් මේ ජාතිකවාදී, ජනතාවාදී, වාමවාදී නිදහස් සන්ධානයට විරුද්ධයි. මේ අය පිටිපස්සෙ ඉන්න අන්තර්ජාතික බලවේග මේ සන්ධානය ගොඩනැගීම වළක්වන්නත් බැලුව. ඒකට විවිධ උපාය, උපක්‍රම පාවිච්චි කළා මේක හැදෙන එක නවත්වන්න. නමුත් හැදුන. හැබැයි දැන් මන්ත්‍රී ධුර කෝටා එක බෙදාගැනීමෙදි, අප වටා ඉන්න ප්‍රධාන දේශපාලන බලවේග තුනේම ඉන්න මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදීමට යෑමේදී යම් ප්‍රතිවිරෝධයක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි තත්ත්වයක්. ඒ නිසා ඒ විවිධත්වය, සංකීර්ණත්වය පිළිගනිමින් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභාව තීරණය කළා තමන්ට තනිව තරග කළ හැකි තැන්වල තනිම තරග කරන්න දෙන්නත්, අනෙක් හැම තැනකදිම සන්ධානයක් විදිහට අපේ සමගිය ආරක්ෂා කරගනිමින් තරග කරන්න.

ප්‍රශ්නය – ඔබතුමන්ල මේ ගුවන්ගත කරන හෙලිකොප්ටරය ලෑන්ඩ් කරන්නෙ මැදමුලනෙ කියලයි බොහෝ දෙනා කියන්නෙ. ඇත්තටම නව සන්ධානයේ අරමුණ රාජපක්ෂ කඳවුරෙන් ගිලිහුණු ජනතා ප්‍රසාදය වෙනත් ආකාරයකින් නැවත එය වටා ගොනු කිරීම ද?

පිළිතුර – මැදමුලනෙ අමුතුවෙන් ලෑන්ඩ් කරන්න ඕන නෑ, අපිට තිබුණ ඇමැතිකම් අරගෙන මැදමුලනෙම ඉන්න. නැගෙනහිර ජැටිය විකුණද්දි කවුද විරුද්ධව කතා කළේ. ඒ සටන දිනුවෙ කවුරු හින්ද ද? මේ අපිත් එක්ක ඉන්න දේශපාලන සන්ධානය නිසා. බැසිල් රාජපක්ෂ ගියෙ ඇයි? ගියෙ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ සටන ගෙන ගියෙ මේ දේශපාලන සන්ධානය. 2022 අප්‍රේල් 8 වැනිදා ගෝඨාභය රාජපක්ෂ එරෙහිව ජනතාව නැගිටපු වෙලාවෙ ජනතාවට දෙන 11 වැදෑරුම් ප්‍රතිපත්තිය, ඒ වගේම මාර්තු 2වැනිදා රට මේ අර්බුදයෙන් හරිමගට ගන්න ඉදිරිපත් කරපු වැඩපිළිවෙළේ දේශපාලන වෙනස්කම් අතර පළමු දේ තමයි ද්විත්ව පුරවැසියා ඉවත් කිරීම. 11 වැදෑරුම් වැඩපිළිවෙළේ අංක එක තමයි ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ යුතුයි කියන එක. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂට යන්න වුණේ. ඒ නිසා තමයි පොහොට්ටුව යන එන මං නැති තත්ත්වයට පත්වුණෙ. එහෙම වුණේ අපේ අරගලය නිසා.

ප්‍රශ්නය – පසුගියදා මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත සම්මත වුණා. මේව සම්මත කරගෙන ආණ්ඩුව මැතිවරණය කල් දාන්න උත්සාහ කරන බව තමයි පාර්ලිමේන්තුවෙදි විපක්ෂය චෝදනා කරන්නෙ. ඇත්තටම මේ යන විදිහට ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය පවත්වයිද?

පිළිතුර – අලි-පොහොට්ටු ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණයෙදි පළාත් පාලන ආයතනවල බලය අත්පත්කර ගැනීම තියා තරග කරන්න අපේක්ෂකයො සොයා ගැනීමටවත් නොහැකි තත්ත්වයට පත්වෙලා.

ප්‍රශ්නය – මේ නිසා යම් ආකාරයකින් මැතිවරණය කල්ගියොත් ජනතාවගේ ඡන්දය ලබාදීමේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ගයන් තියෙනව ද?

පිළිතුර – සීමා නිර්ණය දාලත් මැතිවරණ කල් දාන්න හැදුවනෙ. අනෙක් කාරණය මීට පෙර සංවර්ධන සභා තිබුණ කාලයෙ මීට වඩා මන්ත්‍රීවරු ඉඳලත් තියෙනව. එහෙම තියෙද්දි තමයි මේ අටදාහක් ඉන්න සභිකයන් 4000කට අඩුකරන්න ඕන කියන්නෙ. කවුද මේ කළේ…? රනිල් වික්‍රමසිංහ තමයි මේ 70:30ට තිබුණු මිශ්‍ර ක්‍රමය 60:40ට ගෙනාවෙ. යහපාලන ආණ්ඩුවයි ජවිපෙයි එකතුවෙලා තමයි මේ විකෘති මැතිවරණ ක්‍රමය නිර්මාණය කළේ. ඒක අපි එදා කිව්ව.

ජාත්‍යන්තර අවධානය දිනාගැනීමේ උද්ඝෝෂණ ක්‍රියාවලියක් අපි ක්‍රියාත්මක කරනව මැතිවරණයක් දිනාගැනීම වෙනුවෙන්. ප්‍රජාතන්ත්‍රවාදයට ඇණ ගැහීමේ දීන කුමන්ත්‍රණයට විරුද්ධව අපි ක්‍රියාත්මක වෙනව.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත කරලියට අරන් ඇවිත් තිබෙනව. 13 ගැන ඔබතුමන්ලගෙ ස්ථාවරය මොකක් ද?

පිළිතුර – වික්‍රමසිංහ හොර පාරෙන් ජනාධිපති බවට පත්වෙද්දි අපි ඊට විරුද්ධව ඩලස් අලහප්පෙරුම ජනාධිපති කරන්න හිටගත්තෙ 2001, 2005 කාල සීමාවෙ සහ 2015 කාල සීමාවෙ කරගන්න බැරිවුණා මේ රටේ බෙදුම්වාදයෙන් කඩා බිඳ දැමීමේ ව්‍යාපෘතියත්, රටේ ආර්ථික මර්මස්ථාන පරදේශයක්කාරයන්ට විකුණා දැමීමේ ව්‍යාපෘතියත්, මේ රටේ සමාජ සංස්කෘතිය මුළුමනින්ම විජාතික සංස්කෘතියට යට කිරීමේ ව්‍යාපෘතියත් මේ ව්‍යාපෘති තුනම ක්‍රියාත්මක වෙන බව අපි සක්සුදක් සේ පැහැදිලිව දැක්ක. අවුරුදු දෙකහමාරකට පස්සෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙන්නෙ විජාතික බලවේගවල තේරීමෙන්.

දැන් ඔහු ක්‍රමානුකූලව විජාතික බලවේගවලට ඕන දේවල් කරමින් ඉන්නව. රක්ෂණ සංස්ථාව ලාභ ලබන ආයතනයක්. ඒක විකුණන්න හදනව. ශ්‍රී ලංකා ටෙලිකොම් ලාභ ලබන ආයතනයක්. ඒක විකුණන්න හදනව. පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරනවා කියල ලාභ ලබන ආයතන තමයි මුලින්ම දෙන්න යන්නෙ. දැන් බෙදුවාදීන්ගේ මනදොළ සපුරන්න ඊනියා සර්ව පාක්ෂික සමුළුවක් කැඳෙව්ව. සුමන්දිරන් එක්ක සාකච්ඡා කරල වුණු එකඟතාවලට සර්ව පාක්ෂික සමුළුවේ සීල් ගහන්න කැඳෙව්ව. මේ රනිල් කරන්නෙ එදා දෙමළ බෙදුම්වාදීන් ත්‍රස්තවාදීන්ට යුද්ධ කරල කරගන්න බැරිවෙච්ච දේ කරල දෙන එක. ඔහු දැන් කියන 13ටත් එයා දෙනව කියල. ඇයි මෙහෙම කියන්නෙ. ඊළඟ ජනාධිපතිවරණයෙදි දෙමළ ජනතාවගේ සහාය ලබාගන්න. අපි 13ට විරුද්ධව අපේ විරෝධය පළ කරල දැනටමත් ජනාධිපතිවරයට ලිපියක් ඉදිරිපත් කරල තියෙනව. ඒ වගේම මේක කොහොමද මේක පරද්දන්නෙ කියල සංවාදයෙ උත්තර ලංකා සභාව විදිහට අපි ඉන්නව. ඒ වගේම නිදහස් ජනතා සන්ධානය ඇතුළෙ මේ සංවාදය ඇතිකරමින් ඉන්නව. වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අලි-පොහොට්ටු හවුල ශ්‍රී ලංකා නමැති ජාතික රාජ්‍ය බිඳ දැමීමට ගෙන යන කුමන්ත්‍රණකාරී පිළිවෙත අපි පරාජය කරනව.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment