ජේසු සමිඳුන් අපි අනුගමනය කරමු

67

ශුද්ධාසනීය ධර්මදූත සංගම් රත්නපුර පදවි අධ්‍යක්‍ෂ පියතුමන් කෑගල්ලේදී කියයි

ආදරය, කරුණාව, දයාව, ආදර්ශය හා අන් අය උදෙසා සේවය කිරීම තම ජීවිතය කර ගත් ජේසු සමිඳුන් අපේ නායකයා හා අපේ වීරයා වන බවත්, ජේසු සමිඳුන්ව අනුගමනය කරමින් ජේසු සමිඳුන් පසුපස යමින් ජේසු සමිඳුන් මෙන් මිනිස් පවුලට වැඩදායක යහගුණවලින් පරිපූර්ණ කිතුණු ළමා දූ පුතුන් වීමට පුරුදු පුහුණු වීම කාලීන කිතුණු ළමා නායකත්වය වන බවත් ශුද්ධාසනීය ධර්මදූත සංගම් රත්නපුර පදවි අධ්‍යක්‍ෂ ජූඩ් අමිල ප්‍රනාන්දු පියතුමන් කෑගල්ලේදී ප්‍රකාශ කළේය.

කෑගල්ල සාන්ත මරියා දෙව්මැඳුරේ සාන්ත මරියා දහම් පාසලේ මුතුකැට ධර්මදූත ළමා සමාජයේ දරුවන් සහ සජීවක සජීවිකාවන් විසින් කෑගල්ල රංවල ලුර්දු දේවමාතා වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් සඳහා සංවිධානය කළ සෙනෙහෙබර වැඩිහිටි සත්කාරක ළමා වැඩසටහන අමතා පියතුමන් එසේ ප්‍රකාශ කළේය.

තම දූ දරුවන්ගේ ආදරය හා රැකවරණය අහිමිව ගරු දයාවේ පැවිදි සොහොයුරියන්ගේ ආදරය, ආරක්‍ෂාව හා පෝෂණය ලබමින් තම ජීවිතයේ විශ්‍රාමික සමය ගත කරන මෙම ජේ්‍යෂ්ඨ පුරවැසියන් හා එක්ව ඔවුන් ප්‍රීතිමත් හා ප්‍රබෝධමත් කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කෙරුණු මෙ ධර්මදූත ළමා වැඩසටහනට ළමා නැටුම්, ගැයුම්,

රැඟුම් හා තේ පැන් සංග්‍රහයක් ද යාච්ඤාවේ මෙනෙහි කිරීමක් ද ඇතුළත්ව තිබුණු අතර ජූඩ් අමිල ප්‍රනාන්දු පියතුමන්ගේ මඟ පෙන්වීමෙන් කෑගල්ල සාන්ත මරියා දහම් පාසලේ ධර්මදූත ගුරුභවතුන් විසින් මෙම වැඩසටහන සංවිධානය කර මෙහෙයවිය.

කෑගල්ල මීසම් සේවක බී. ඇන්ටන් ශ්‍රියාන්, කෑගල්ල මීසම් සහකාර ෂමීර බුදීෂ සිල්වා, කෑගල්ල සහයක නිර්මාල් ප්‍රනාන්දු යන පියතුමන්ගේ ද කෑගල්ල රංවල ලුර්දු දේවමාතා වැඩිහිටි නිවාසයේ ප්‍රධාන මව්තුමිය නදීෂා මිස්කිත පැවිදි සොහොයුරිය ඇතුළු ගරු දයාවේ පැවිදි සොහොයුරියන්ගේ ද කැපවීම හා සහයෝගය මෙම කෑගල්ල මුතුකැට ධර්මදූත ළමා දූ පුතුන්ගේ වැඩිහිටි සත්කාරක වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා නොමඳව ලැබිණි.

● ජෝ. ඇ. සකරායස්

advertistmentadvertistment
advertistmentadvertistment