හර්ෂණගේ ප්‍රේමණීය හැන්දෑව නරඹන්න එන්න…

124

ඔහු මෙරට සුභාවිත ගීත කලාව ආමන්ත්‍රණය කරන තාරුණ්‍යයේ දක්‍ෂ සංගීතඥයෙකි. ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සූරියඅරණ චිත්‍රපටයේ ඉරෙන් හඳෙන් ගීතයෙන් ඔබව ආමන්ත්‍රණය කළ මේ පුංචි ගායකයා වර්තමානය වනවිට වෙනස්ම සංගීත ශෛලියකින් ඔබ හමුවට එන්න සැරසෙයි. දිගු නිහැඬියාවට විරාමයක් තබමින් හර්ෂණ දිසානායක නමැති මේ සංගීතඥයා ආරම්භ කරන්න සූදානම් වන්නේ කුමක්ද? සුභාවිත ගීත කලාවෙන් ඔබ්බට ගොස් බටහිර ගීත කලාවේ ප්‍රේමණීය හැන්දෑව ගැන අපි ඔහු සමඟ හැන්දෑවක පුංචි පිළිසඳරක යෙදුණා.



 ● හර්ෂණ දිසානායක මේ දිනවල මොන විදිහේ සංගීත වැඩකටයුතු වලද නියැළී සිටින්නේ?

 මම පුංචි කාලේ ඉඳලා කරගෙන ආපු දේවල්වලට පරිබාහිරව අලුතෙන් වැඩක් කරන්න සූදානම් වෙනවා. මගේ ගමනේ යම්කිසි වෙනසක් එක්ක අලුතෙන් පටන්ගන්න උත්සාහයක නිරත වෙනවා. ගොඩක් අය හිතනවා මම එක ආරකට විතරක් කොටු වෙච්ච කෙනෙක් කියලා. එහෙම නැතිව අලුත් සංගීත ආර කිහිපයක් සහ මම ආස කරන සංගීත ශෛලීන් කිහිපයක් එක්ක අලුත් වැඩකිහිපයක් ප්‍රසංගයක් හරහා ජනගත කරන්න සූදානමින් ඉන්නවා.

 ● ඔබ හින්දි ගීත වැඩසටහනක් කරන්නත් සූදානම් වෙනවා කියලත් ආරංචියක් ලැබුණා.

 ඔව්. මම කලින් සඳහන් කළෙත් ඒ කාරණාවම තමයි. මගේ ප්‍රසංගය ඇතුළේ මම සංගීත අධ්‍යක්‍ෂණය කළ, මම ගායනා කරන අලුත් ගීත කිහිපයක් වගේම හින්දි ගීත කිහිපයකුත් ඇතුළත්ව තමයි මේ ප්‍රසංගය පවත්වන්නේ. ප්‍රේමනීය හැන්දෑව කියලා තමයි ප්‍රසංගය නම් කරලා තියෙන්නේ. මෙය නරඹන්න පුළුවන් වෙන්නේ සජීවීව නෙමෙයි. මේක ජනගත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ අන්තර්ජාලය හරහායි.

හර්ෂණගේ ප්‍රේමණීය හැන්දෑව නරඹන්න එන්න...

 ● ඇත්තටම කවදද ජනගත කරන්නේ?

 මේ මාසයේ අන්තිම තමයි ජනගත කරන්න සූදානමින් ඉන්නේ. ඇත්තටම රටේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා මිනිස්සුන්ට රසවින්දනය කියන දේ මගහැරිලා තියෙනවා. හැබැයි යම්කිසි විදිහකට හිතට සහනයක් එන විදිහට මේ ප්‍රසංගය නොමිලයේ මිනිස්සුන්ට බෙදා දෙනවා. මේකේ තියෙන විශේෂම කාරණාව වගේම මගේ බලාපොරොත්තුව අපේ පරම්පරාවත් සමඟ එකතු වෙන්න.

 ● මෙතැනදී ඇත්තටම බටහිර ආරේ ශෛලියට මාරුවීමක් සිද්ධවෙනවාද?

 ඔව්. හරියටම හරි. ඒක තමයි මෙතැන සිද්ධවෙන වැදගත්ම දේ. මාව කුලක වෙලා තියෙනවා ශාස්ත්‍රීය සංගීත ශිල්පියෙක් විදිහට. ශාස්ත්‍රීය සංගීතය ආශ්‍රිත ගීත පමණක් මම ගායනා කරනවා කියලා ගොඩක් අය හිතාගෙන ඉන්නවා. අනේ එහෙම නැහැ. මම කැමැති නැහැ. සංගීතය එහෙම කොටස් කරනවාට. නිර්මාණ ශිල්පියෙක් වුණහම එහෙම කොටුවෙන්න හොඳ නැහැ. ඒ නිසා මාව එහෙම ලේබල් වෙනවාට කැමති නැහැ. ඉතිං මම ගොඩක් උත්සාහ කරනවා හින්දි ගීත සහ මගේම ස්වයං සංගීත සංයෝජනත් එක්ක මේ ප්‍රසංගය හරහා අලුත් අත්දැකීමක් ලබාදෙන්න.

 ● ඔබේ සංගීත දිවියේ ලොකු පෙරළියක් වෙන විදිහේ වැඩක් නේද? මේක කරන කොට සෑහෙන පරිස්සම් වෙන්න වෙයි නේද?

 ඔව්. පරිස්සම් වෙනවා කියන්නේ මම කොහොමත් ගොඩක් පරිස්සම් කෙනෙක්. සාමාන්‍යයෙන් මගේ චරිතයට හානිවෙන වැඩ කරනවා අඩුයි. හැබැයි සංගීතය කියන්නේ ලොකු භාෂාවක්. ඒක ඕනෑම කෙනෙකුට වචන නැතත් සංගීතයෙන් කෙනෙකුට හැඟීමක් දනවන්න පුළුවන්. මම හිතනවා මම කරපු මේ නිර්මාණ ටික ඇතුළේ කළේ හරි දෙයක් කියලා. අපේ රටේ ඉන්න සියලුම දෙනාට රස විඳින්න පුළුවන් ප්‍රසංගයක් තමයි මම කරන්නේ. අනික මේ ප්‍රසංගය කොටසකට සීමාවෙන්නේ නැහැ. එක එක රසවින්දන ශක්තීන් තියෙන අයටත් මේක ඇතුළේ යමක් ගන්න තියෙනවා. ජන සංගීතය, ශාස්ත්‍රීය සංගීතය, බටහිර සංගීතය වගේ සියලුම සංගීත ශෛලීන්වල සංකලනයක් එක්ක ඒ හැඩහුරුකම් සහිත ගීත දහතුනක් තමයි මේ ප්‍රසංගයේ ඇතුළත් වෙන්නේ. ඒ නිසා මම හිතනවා මම එතැනදී පරිස්සම් කියලා.

 ● හර්ෂණගේ සංගීත දිවියේ ලොකු පෙරළියක් ඇතිවෙන්නයි යන්නේ?

 මම බලාපොරොත්තු වෙනවා ඒක එහෙම වෙන්න කියලා. මොකද මම ගොඩක් කල් නිශ්ශබ්දව හිටියා. මගේ පෞද්ගලික ජීවිතයේ අධ්‍යාපන කටයුතු, විවිධ දේවල් නිසා මට එළි පහළියට එන්න අවස්ථාව අඩුවුණා. ප්‍රසංග මට්ටමින් ගත්තොත් 2016, 2017, 2018 ප්‍රසංග පැවැත් වූවාට පස්සේ ප්‍රසංග පැවැත්වූයේ නැහැ. අවුරුදු දෙකක් විතර නිශ්ශබ්දව හිටියේ. දැන් මේ කරන්නේ ඒ නිශ්ශබ්දතාවයෙන් ඉවත්වෙන්න ඕනෑ කියලා හිතුන නිසා. මම නිර්මාණ කිහිපයක් එළිදක්වන්න හිතාගෙන ඉන්නවා. මම හිතනවා මේකෙන් යම්කිසි විදිහක කළඑළියක් නැවත සිද්ධවේවි කියලා. හර්ෂණ දිසානායක කියන කෙනා නැවත මිනිස්සු දැන් ඉන්නේ මේ එයාම නේද කියල අඳුර ගනීවි. මොකද ගොඩක් අය දන්නේ ඉරෙන් හඳෙන් කියපු හර්ෂණව. ඉතිං ඒ නිසා ඒ ඉරෙන් හඳෙන් කියපු කෙනා තව ගොඩක් ගීත කියනවා, කියන එක තමයි මට දනවන්න ඕනෑ වුණේ.

 ● සුභාවිත ගීත කලාවට වර්තමාන සමාජයේ ලොකු ඉඩකඩක් නැහැ නේද?

 ඇත්තටම ඒකේ ගැටලුව තියෙන්නේ සුභාවිත ගීතය හරියට අඳුර ගැනීමක් සිදුනොවන නිසයි. සුභාවිත ගීතය කියන්නේ භාවිතයට සුදුසුයි කියන එකනේ. එතකොට ගොඩක් අය හිතනවා සුභාවිත ගීතය කියන්නේ 70,80,90 දශක වල තිබුණ හරිම සාහිත්‍යමය ස්භාවයෙන් යුක්ත ගීත කියලා. මිනිස්සු ඒක තෝරාගෙන තිබුණ විදිහ වැරදියි. 99, 2000 වසර වලින් පසුව ලංකාවේ ලොකු පෙරළියක් ඇතිවෙනවා ජනප්‍රිය සංගීතයත් එක්ක. බටහිර සංගීතය ආශ්‍රිතව ප්‍රසංග පවත්වපු ගොඩක් කණ්ඩායම් හිටියා. හැබැයි ඒවගෙත් තිබුණා යම්කිසි සුභාවිත කියන දැනීමක්. ඒක භාවිතයට සුදුසු නිසයිනේ මිනිස්සු වැළඳගත්තේ. වර්තමානයේ ගත්තහම ඕක හරියට අඳුරගෙන නැති නිසයි අපේ අලුත් පරම්පරාව අතරමං වෙන්නේ. ඔවුන් හිතනවා කකුලට දැනෙන්න, ඇඟට දැනෙන්න සින්දු කියන එක තමයි වැඩේ කියලා. යම්කිසි ප්‍රසංගයක නටන්න පුළුවන්නම් එයා තමයි නියම නිර්මාණ ශිල්පියා කියලා. එතකොට ඔවුන්ට හදවතට සංවේදී ගීත නිර්මාණය කරන අය හඳුනාගන්න අපහසුයි. ඔවුන් හෘදය සංවේදී ගීත හඳුනාගන්න අසමත් වෙනවා. සුභාවිත ගීතයට ඔවුන් අකමැති වෙන එකේ වරදක් නෙමෙයි තියෙන්නේ. අපේ සංස්කෘතිකමය ජීවිතයේ සිද්ධවෙන යම් යම් අඩුපාඩු නිසා ඔවුන්ගේ රසවින්දනය හානිවීමක් හැටියටයි මම මේ තත්ත්වය දකින්නේ. ඒකට බලපානවා දේශපාලනය, සංස්කෘතිය, ආගම, අධ්‍යාපනය, ආර්ථිකය වගේ කරුණු බලපානවා. ඒ නිසා දැන් ඉන්න දරුවන්ට ඒ රසවින්දන ශක්තිය එනවා කියන කාරණාව ටිකක් කණස්සල්ලකට ලක්වෙනවා. පුංචි කාලේ අපිට තිබුණ පරිසරය අද ජීවත් වෙන දරුවන්ට නැහැනේ. උදේට ඇහුණ

 උදාගීත ටික නැහැ. දේශාභිමානී ගීත ටික නැහැ. රට ජාතිය ගැන ඇහෙන්නෙන් නැහැ. සමාජයක් සංස්කෘතියක් වටවුණ ගීත කලාවක් නැහැ. එකම තැනකට කොටුවුණ ගීත කලාවක් තියෙන්නේ. එක්කෝ ආදරය, රාගය, විරහව කියන කරුණු ටික වටේ තමයි මේ ටික කැරකෙන්නේ.

 එහෙම වුණහම නිර්මාණ ශිල්පීන් එක තැනක කොටුවුණහම අසනන්නන්, රස විදින්නන් පවා ඒ තැන්වලට කොටුවෙනවා.

 ඒ ගොල්ලන්ගෙන් එළියට යන්න බැරිවෙනවා. ඉතිං මම හිතන හැටියට වගකීමක් හැටියට මම දකින්නේ නිර්මාණ ශිල්පියෙක් සතුව හැම ගුණාංගයක්ම තියෙන්න ඕනෑ. ජනප්‍රිය වෙන්නත් ඕනෑ. මිනිස්සු අහන්නත් ඕනෑ. ඒ ගීතවල යම් කිසි පණිවුඩයක් තියෙන්නෙත් ඕනෑ. ඕනෑ කෙනෙකුට අහන්න පුළුවන් වෙන්නත් ඕනෑ. ඉතිං තෝරා බේරාගෙන අහන්න පුළුවන් ගීත තියෙන්නත් ඕනෑ. ලංකාවේ දැන් තියෙන ගීත කලාව ගැන ටිකක් කණගාටුවෙනවා. හැබැයි රසවින්දනය කියන කාරණාවට හානිවෙලා නැහැ. ලංකාවේ තරුණ තරුණියෝ ගොඩක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ශාස්ත්‍රීය සංගීතයත්, බටහිර සංගීතයත් සමග මුසුවෙලා නව නිර්මාණ බිහිවෙලා තියෙනවා. ජන සංගීතය, බටහිර සංගීතයත් එක්ක මුසුවෙලා නව නිර්මාණ බිහිවෙනවා. ඒ දේවල් රස විඳින්නත් අලුත් පරපුර පුරුදුවෙලා ඉන්නවා. එහෙම බැලුවහම ඔවුන්ගේ වරදක් නැහැ.

 ● සුභාවිත ගීත කලාවට වත්මන් පරපුරේ තියෙන අඩු නැඹුරුව නිසාද ඔබත් ඔබේ ශෛලිය වෙනස් කළේ?

 නැහැ. ඇත්තටම එහෙම නෙමෙයි. මට ගොඩක් ප්‍රශංසා ලැබෙනවා. මගේ යූටියුබ් නාලිකාව හරහා මගේ නිර්මාණ අහන බලන පිරිසගෙන්. ඔවුන් කියනවා මේ ගීත තමයි අපිව පෝෂණය කළේ කියලා. මට ඇත්තටම ඒ ලැබෙන දේ ඇති. හැබැයි මට ඕනෑ අලුත් දෙයක් දෙන්න. මම ආස නැහැ ලංකාවේ විතරක් ජනප්‍රිය ගායකයෙක් වෙන්න. ඒක ටිකක් ලොකු ආසාවක්. මට ඕනෑකම තියෙනවා අපේ අසල්වැසි රටවල ඉන්න සංගීතඥයන් සමඟ වැඩ කරන්න. උදාහරණයක් හැටියට ගත්තොත් ඉන්දියාව. ඒ නිසාම තමයි මගේ මේ

 ප්‍රසංගය ඇතුළට හින්දි ගීත කිහිපයක් යොදා ගත්තෙත්. මම ඉස්සර ඉඳන් හින්දි ගීත ගායනා කරනවා. මම ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. මට මේ රටින් පිට රටේ සලකුණක් හැටියට එළියට යන්න ලොකු ආසාවක් තියෙනවා.

 ● ඔබ ඉන්දියාවත් සමගත් වැඩ කරන්න සූදානමක් තියෙනවා කියලත් ආරංචියි?

 ඔව්. ඒ ආරංචිය හරි. මම ආසම සංගීතඥයන්ගේ සහ ගායක ගායිකාවන්ගේ ගීත කිහිපයක් තමයි මේ ප්‍රසංගයේ ගායනා කරන්නේ. ඉතිං මම ඔවුන්ට යෝජනා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා අපේ රටේ ශිල්පියෙක් හැටියට මේ වගේ ගනුදෙනුවක් කළොත් කොහොමද කියලා පෙන්වා දෙන්න. මම කැමැත්තෙන් ඉන්නවා ඔවුන්ගේ නිර්මාණ ඔවුන් ඉදිරියේ ගායනා කරන්න. අලුත් වැඩක් විදිහට ඔවුන්ට පෙන්වන්න. ඉතිං මම හිතනවා ඒක සාර්ථක වේවි කියලා. අපිට මේ දේවල් හිතූ මනාපයට කරන්න බැහැ. නමුත් මගේ එකම බලාපොරොත්තුව අන්තර්ජාතික මට්ටමේ ගායන කලාවක් අපේ රටේ ඇති කරන්න. තවද මේ ප්‍රසංගය හරහා ගොඩක්ම උත්සාහ කරන්නේ මේ රටින් මේක එළියට අරගෙන යන්න. කට්ටිය කියනවා මෙහෙ පීනුවා ඇති, තව එළියට ගිහිල්ලා පීනන්න ඕනෑ කියලා. මට ගොඩක් අය කියනවා ඇයි ඔයා නිකන් ඔහොම ඉන්නේ කියලා. ඒ නිසාම තමයි මම මේ වැඩේ පටන් ගත්තේ.


 දිනේෂ් විතාන

 ඡායාරූපය

 යූ.කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment