බෲනෝ අඟුරුවාතොටින් නවතිනු

1141

අපේ රටේ දැන් දැන් සිදුවන අපරාධ දෙස බලන කල්හි ඒවා ඉතා සූක්ෂම සහ සංවිධානාත්මක ලෙස සිදුකරන ආකාරයක් පෙනෙන්නට තිබේ. දිවයිනේ කොහේ හෝ සිදුකරන අභිරහස් මෙන්ම ඉතාම ම්ලේච්ඡ පන්නයේ ඝාතනයක් හෝ දූෂණයක් සිදු කළේ කවුද? කෙසේ ද යන්න අනාවරණය කර ගැනීමට පොලිස් නිල සුනඛ අංශයේ සිටින බෲනෝ ගේ සහාය මේ මොහොතේ අත්‍යවශ්‍යම වේ. බෲනෝ ගේ ඉවට පින් සිදුවන්නට අල්ලා ගනු ලබන සැකකරු වැට මාර පොල්ලකින් පටන් ගෙන බාල්කයක එල්ලා දෙනු ලබන සුපිරි පන්නයේ සංග්‍රහයකින් අනතුරුව අපේ පොලිස් මහත්වරු අදාළ සිද්ධියේ ඒ ටු ඉසෙඩ් කතාව වමාරවා ගනී.

එකී සිද්ධියට ගෑවුණු බලවත් පුද්ගලයන් සිටී නම් ඔවුන් කුල්ලෙන් හලා බේරා අයින් කොට සාක්ෂි නිසි ලෙස ගලපා චිත්‍රය පාට කර පෙන්වති. ඉන්පසුව මාධ්‍ය මගින් පොල් උලුප්පනා සේ මනාව ඉස්මතු කොට පෙර කී චිත්‍රය තවත් අලුතින් සායම් කර රාමු ද කර ප්‍රදර්ශනය කරයි. සතියක් හෝ වැඩිම වුවහොත් සති දෙකක් ඒ ගැන කතාබහ කෙරුණද ඊළඟ සිද්ධියකට කලින්ම රඟහලේ ඉඩ තියා පැදුරටත් නොකියාම මාරුවේ.

අඟුරුවාතොට 24 හැවිරිදි මවත්, ඇයගේ මාස 11ක් වයසැති කිරි කැටියාත් අතුරුදන් බවට පොලිස් පොතේ ලියැවෙන්නේ පසුගිය 18 වැනිදාය. මෙම අපරාධයේදීත් සැකකරු සෙවීමට පොලිසියට බෲනෝ කැඳවන්නට සිදුවේ. සුනඛයා ඉව කරමින් මඳ දුරකට ගොස් ත්‍රිරෝද රථයක් අසල නවතී. සිද්ධියේ සැකකරු කවුදැයි කියා එල්ල වූ සැකය බෲනේ තහවුරු කරද්දී අම්මාට සහ දියණියට කුමක් වූයේද යන්න පැහැදිලි වූයේ එම අසරණයන් දෙදෙනාගේ සිරුරු අසල කැලයකින් ඊයේ දහවල් වන විට හමුවීමත් සමගය. තවත් එක් පාපතරයකුගේ උන්මත්තක ආශාවන්ට එම දෙදෙනාටම ජීවිත වලින් වන්දි ගෙවන්නට සිදුවී අවසන්ය. මෙවැනි අපරාධ සිදු කරන පුද්ගලයන් දෙස බලද්දී Voyeurism යන විකෘති ආශාවන් පිනවන තත්ත්වයක් නිර්වචනය කර ගත හැක.

මොවුන් කාන්තාවක් ඇඳුම් ගලවන විට, නිරුවතින් සිටින විට හෝ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන විට ඔවුන් නිරීක්ෂණය කිරීමට ඇති උනන්දුව ලෙස එය හැඳින්වුවද එහි දරුණුම තත්ත්වයක් වන voyeurism voyeuristic තත්ත්වයේදී ලිංගික පීඩා ඇති කරමින් අජීවී වස්තූන්, ළමයින් හෝ එකඟ නොවන වැඩිහිටියන් මොවුනගේ ගොදුරු බවට පත් කර ගනී. අඟුරුවාතොට සිද්ධියේදී ද එහි සැකකරු වන මස්සිනා පැමිණ තරුණ සහ රූමත් වාසනා නම් එම කිරි මව දෙස පැය ගණන් බලා සිට ඇත. ඇඳුමක් මාරු කර ගන්නවත් දරුවාට කිරි බිඳක් දීමට තරම් මොහොතක් අහිමි ව ඇය දින කිහිපයක්ම අසරණ තත්ත්වයට පත්වී ඇති බවට ද පොලිස් පෙතේ ලියවී තිබේ. එසේ නම් මෙම සැකකරු අප කියන පෙර තත්ත්වයට වඩා භයානක ලිංගික විෂාදයකින් පෙළෙන්නකු වන්නට ඇත. එය අහිංසක, අසරණ වාසනාගෙන් සපුරා ගැනීමට ඇති ප්‍රමුඛම බාධාවක් වන්නට ඇත්තේ අර කිරිසප්පයාය. එබැවින් ඇයටද මාස 11 ක මොළකැටි ජීවිතයෙන් වන්දි ගෙවන්නට වීම නම් සංසාරයේ කර ඇති පවක් මයි කියා හිත හදා ගන්නේ කෙලෙසද? පසුගිය කාලයේම ශ්‍රී ලාංකිකයන් අන්තර්ජාලයේ සෙක්ස් සර්ච් කොට කප් ගසා ඇති බව මතක් වන්නේ මේ අල්ල පනල්ලේය. අපි ජාතියක් වශයෙන් සෙක්ස් ඇරියස් එකක් ඇතිව ජීවත් වන බව ඉන් පෙනේ. තරුණ ජෝඩුවකට ආදරයෙන් වෙළෙන්න සුදුසු පරිසරයක් රට තුළ ඇත්තේම නැති තරම්ය. කාලයක් තිස්සේ පවතින ආර්ථික ව්‍යසනය මෙරට තරුණ පරම්පරාව සෙක්ස් ඇරියස් කරුවන් බවට පත් කොට තිබේ. ඒ අතරේ දැන් දැන් දික්කසාද නඩු ද ගොඩ ගැසී ඇත. එකෙකු අඳිනවාට, කනවාට, බොනවාට, කොටින්ම සුවසේ ජීවත්වනවාට තවකෙකු කැමැති නැත. සෙක්ස් පමණක් නොව සමාජයේ වෙනත් අත්‍යවශ්‍යම පහසුකම්වලත් ඇරියස් එකක්ද පවතින මේ වටපිටාවේ ඊට සමාජ විමර්ශනාත්මක පිළිතුරක් අවශ්‍ය වී ඇත.

ජීවිතය සුන්දරව නිදහසේ ඒත් අවබෝධයකින් ගෙවා දැමිය හැකි වාතාවරණයක් ගොඩ නැගීම යුගයේ අවශ්‍යතාවයි. එහෙත් ඒ වෙනුවට මේ මජර දේශපාලනයේ නිරතවෙමින් බාල බෙහෙත් පෙත්තෙන්, ඉන්ජෙක්ෂන් එකකින් කෝටි කිහිපයක් උපයා මීළඟ ඡන්දයේ දී ගොඩ වැඩි කර ගන්නේ දැයි සිතන පාලකයන් තෝරා පත් කර ගෙන ඵලක් ප්‍රයෝජනයක් නැත්තේය. මෙහිදී ආගම, දහම මෙන්ම ඊටත් වඩා පාසලෙන් ලබා දිය යුතු නිදහස් සුවදායී අධ්‍යාපන රටාවක් ද රටට යහපත් ආර්ථීකයක් ද ඇතුළු කාරණා ගණනාවක් අත්‍යවශ්‍ය වන්නේය. අපරාධ මර්දනයට නීති සකසනවා මෙන්ම ඒ පිළිබඳ අධ්‍යාපනයක්ද පාසල් විෂයට අන්තර්ගහනය කළ යුතුමය. එසේ නොමැතිව චිත්‍රපට ශාලා, ලාභ රූම් හෝ පඳුරු අස්සට යන කපල් සිටින පරිසරයක් තුළ අඟුරුවාතොට වැනි මහ පොළොව නුහුලා යන තරමේ අපරාධ වැඩි වීම සිදුවනවා නොඅනුමානය. එවිට පොලිසියට තවත් බෲනෝලා සිය ගණන් ද අවශ්‍ය වෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment