පහ ශිෂ්‍යත්ව විභාගයේ විරෝධය කුමක්ද?

164

කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට සමගාමීව පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේ අඩු ආදායම්ලාභී දරුවන්ට ශිෂයත්ව ලබා දීමටයි. වර්තමානයේ එයට තවත් අරමුණක් එක්වී ඇත. එනම් ග්‍රාමීය පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ට පහසුකම් සහිත නගරයේ පාසල්වලට ඇතුළත් වීමට අවස්ථාව ලබා දීමයි. මෙම කරුණු දෙක මුල් කරගෙන ආරම්භ වූ මෙම විභාගය වර්තමානය වනවිට ඉන් බැහැර වී ඇති බව පෙනේ. සියලු පහසුකම් සහිත පාසල්වල දරුවන් ද යමක් කමක් සහිත දෙමව්පියන්ගේ දරුවන් ද මෙම විභාගය සඳහා ඉදිරිපත් වී අනවශ්‍ය තරගයක් ඇතිකර තිබෙන බව වර්තමානය වනවිට පෙනේ. එම දරුවන්ට ද මෙම විභාගයට ඉදිරිපත් වීමට අවස්ථාව දීමේ කිසිදු වරදක් නැත. එය අහිමි කළහොත් අධ්‍යාපනයේ සම අවස්ථා සැමට නොලැබී යනු ඇත. එහෙත් ඒ තුළ අනවශ්‍ය තරගයක් ඇතිවී ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වන්නේ නම් මෙම විභාගය පැවැත්වීමේ අරමුණ ඉටුවේ ද යන්න සැක සහිතය. විභාගය පැවැත්වීමේ අරමුණ ඉටුකර ගැනීමට ගැළපෙන ආකාරයට විභාගය පැවැත්වීම බලධාරීන් සතු වගකීමක් වේ. මෙම විභාගය ඉදිරියටත් පැවැත්වීම වැදගත් වේ. ඊට හේතුව ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන අන්ත අසරණ දුප්පත් ළමයින්ට එමගින් ලැබෙන උදවු උපකාර නිසාය.

ශිෂ්‍යත්ව විභාගය ලංකාවේ තිබෙන විභාග අතුරෙන් මූලිකම හා පහසුතම විභාගය වේ. එහෙත් එය අද වනවිට දරුවන්ට දරාගත නොහැකි මට්ටමට පත්වී ඇති බව පෙනේ.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අභියෝගතා පරීක්ෂණයකි. අභියෝගතාවය යනු බුද්ධිය පමණක්ම නොවේ. බුද්ධි පාදක කරගෙන ඇතිවන සක්‍යතාවක්. අභියෝගතා පරීක්ෂණයකින් අනාගතයේ යම්කිසි ක්‍රියාවලියක්, රැකියාවක් හොඳින් කරගෙන යෑමට පුද්ගලයා සතුව දැනට පවතින හැකියා කෙබඳු වේද? යන්න පරීක්ෂා කරයි. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය මගින් අනාගතයේ දරුවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යෑමට අවශ්‍ය හැකියා කොතරම් හොඳින් පවතී ද යන්න මැන බැලීම සිදු කරයි. ඒ සඳහා හඳුනාගත් විභව්‍යතාමාන 14 ක් මත මෙම ප්‍රශ්න පත්‍ර සකස් කරනු ලබයි.

  1. නිරීක්ෂණය කිරීමේ හැකියාව
  2. අවකාශමය කුසලතාවය
  3. තර්කානුකූලව සිතීමේ හැකියාව
  4. අනුපිළිවෙළ දැකීම

මෙම හැකියා 14 ට උදාහරණ කීපයකි.

එසේම අභියෝගතා පරීකෂණයක් සාධන පරීක්ෂණවලින් වෙනස් වේ. එම පරීකෂණවල ප්‍රධාන ලක්ෂණ කීපයකි.

  1. අභියෝගතා පරීක්ෂණයක පෙර පුහුණුවකින් පිළිතුරු ලිවීමට අවකාශ නොතිබිය යුතුය. සිසුන් තුළ පවතින සැබෑ කුසලතා හඳුනා ගැනීමට එමගින් හැකි වේ.
  2. අභියෝගතා පරීක්ෂණයකදී දෙන ලද නිශ්චිත කාලය තුළ පිළිතුරු සැපයිය යුතුය. එය වේග පරීක්ෂණයකි.
  3. ඉලක්කගත ජනගහනයේ සියලුම මට්ටම්වල සිටින සිසුන් වෙනුවෙන් ප්‍රශ්න ඇතුළත් විය යුතුය.

දක්ෂතා අඩු – සාමාන්‍ය දක්ෂතා ඉහළ – සුපිරි දක්ෂතා ඇති

  1. විශේෂයෙන්ම එය අපේක්ෂිත කණ්ඩායම නිවැරදිව තෝරා ගැනීමට හැකි වන ආකාරයට සකස් කළ යුතුය.
  2. රාමුගත නොවූ නිදහස් මනසකින් පිළිතුරු ලිවිය හැකි විය යුතුය.

මෙවැනි වැදගත් ලක්ෂණ රාශියක් පදනම්

කරගෙන සිසුන්ගේ අභියෝගතාව මැන බැලීමට සුදුසු ආකාරයට මෙම පළමු ප්‍රශ්න පත්‍රය සකස් වී ඇති බව අපගේ විශ්වාසයයි. එය ප්‍රාථමික අධ්‍යාපනයේ අපේක්ෂිත කුසලතා පූර්ණ පුද්ගලයකු බිහි කිරීම සඳහා දායක වන්නකි. එසේ නැතුව අනේක වාරයක් ප්‍රශ්න පත්‍ර මගින් පුහුණු වී එන රාමුගත මනසක් සහිත දරුවන්ට සුදුසු වන ලෙස ප්‍රශ්න පත්‍ර සකස් කළ නොහැකිය. ආදරණීය දෙමාපියනි, ඔබේ දරුවා රාමුගත මනසකින් තොරව නිදහස්ව සිතීමට හැකි කුසලතා පූර්ණ දරුවකු කිරීමට උත්සාහ කළ යුතු බව සිතට ගන්න. එය ඔබේ දරුවා වෙනුවෙන් දිය හැකි උසස්ම දායාදය විය හැකිය.

මෙවර මෙම ප්‍රශ්න පත්‍රයට විරෝධය දක්වන අය විවිධ චෝදනා නඟති. එසේ විරෝධතා දක්වනු ලබන්නේ “අභියෝගතා පරීක්ෂණයක්” යන්න අවබෝධ කර නොගත් පිරිසක් දෝ යන සැකය අප තුළ පවතී. ඔවුන් නඟන චෝදනා අතරින් කිහිපයක් පමණක් මෙහිදී අවධානයට යොමු කරමි.

ප්‍රශ්නය කියවිමට වැඩි කාලයක් ගතවීම, මෙම කාරණය පිළිබඳව සිතන්නට තිබුණේ ප්‍රශ්න පත්‍රය සඳහා සූදානම් කරන විටදීය. හේතුව වර්තමානයේදී දරුවන්ට කියවීමට තිබෙන බොහෝ අවස්ථා අවහිර කර ඇත. නිවසේදී හෝ වෙනත් තැනකදී හෝ ප්‍රාථමික පන්තියක ඉගෙනුම ලබන දරුවකුට අමතර පොත පතක් කියවීමට අවස්ථාවක් ලබා දී තිබේද? අඩුම තරමින් උපකාරක පන්තිවලදී දරුවාට ප්‍රශ්නය පවා කියවීමට හෝ කියවීමට අවස්ථාව හෝ දී තිබේද? එය ද කියවන්නේ ගුරුවරයාය. තරමක් දුරට හෝ කියවීමට අවස්ථාවක් ලබාදී තිබෙන්නේ පාසලේ සිංහල පෙළ පොතේ පාඩමක් කියාදෙන විට දීය. ඡේදයක් තරම් වූ කොටසක්වත් දරුවකුට කියවීමට අවස්ථාව පාසල් ගුරුවරයා එහිදී ලබා දෙයි. විෂය නිර්දේශයේ කියවීම නමැති කොටස කරනු ලබන වෙනත් තැනක් නැත. එසේ නම් ළමයා කියවීම ප්‍රගුණ කර ගන්නේ කෙසේද? කියවීමද විභාගයට අවශ්‍ය බව මෙවර තේරුම් ගෙන තිබෙන බව පෙනේ.

  • ප්‍රශ්න තේරුම් ගැනීමට අපහසු වීම

මෙය පළමු කරුණ හා බැඳී පවතී. යමක් කියවා තේරුම් ගැනීමට අවස්ථාව, විෂය නිර්දේශය තුළ ලබාදී ඇත. එය ප්‍රගුණ කිරීමට අවස්ථාව ලබාදීම ගුරුවරුන් සතු වගකීමකි. එසේ නොකිරීම තුළ මෙවන් තත්ත්වයන් ඇතිවේ. අනෙක් කරුණ නම් මෙම විභාගය සඳහා ඉදිරිපත් වන සිසුන් ලක්ෂ තුනහමාරකට අධික පිරිසෙන් තෝරාගනු ලබන්නේ විසිපන් දහසකට ආසන්න පිරිසකි. තුන් ලක්ෂ විසිපන්දහසක්ම කඩඉම් ලකුණු පසු නොකරයි. එවන් තත්ත්වයක් තුළ පළාතකට, කලාපයකට හෝ කොට්ඨාසයකට හදන ප්‍රශ්න පත්‍රයක් සේ ජාතික තලයේ විභාග ප්‍රශ්න පත්‍රයක් සකස් කළ හැකි ද යන්න සිහි බුද්ධියෙන් විමසා බැලීම වටී.

ඔවුන් ඉදිරිපත් කරන කරුණු අතර හාස්‍යජනක කරුණ නම් ගුරුවරුන්ට ද විසඳුම් ලබා ගැනීමට නොහැකි වීම යන්නයි. එය නම් සත්‍ය විය හැකිය. මේ වනවිට ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසකගේ ආදායම් මාර්ගය වී ඇත්තේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයයි. එයට සෘජුව හෝ වක්‍රව විශාල පිරිසක් සහභාගි වී සිටිති. මෙය මවුවරුන්ගේ විභාගය ලෙස පමණක් නොව මුදලාලිලාගේ විභාගයක් බවට ද පත්වී ඇත. මෙම විභාගය ඉලක්ක කරගෙන හතු පිපෙන්නා සේ උපකාරක පන්ති බිහිවී ඇත. ඒවායේ ගුරුවරුන් ලෙස කාර්යාලවල සේවය කරන නිලධාරීන්, පෙර පාසල් ගුරුවරියන්, උසස් පෙළ, සා පෙළ විභාගවලට ඉදිරිපත් වී නිවසට වී සිටින අය, විද්‍යාව, ඉතිහාසය, බුද්ධ ධර්මය ගුරුවරු සේවය කරති. ප්‍රාථමික විෂය නිර්දේශය තමා ළඟ තිබූ පමණින් ප්‍රාථමික පන්තිවල දරුවන්ට ඉගැන්විය නොහැකිය. ඒ සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍යය. ප්‍රාථමික අධ්‍යාපනය යනු අධ්‍යාපනයේ අඩිතාලමයි. එය ඉතා ශක්තිමත් විය යුතුය. ඒ සඳහා ප්‍රවීණයන් එය සකස් කළ යුතුය. වර්තමානය වනවිට ඒ කිසිවක් ගැන සොයා නොබලා රැල්ලට ගසාගෙන යයි. ඇසේ ඇතිවී තිබෙන රෝගී තත්ත්වයකට කැඩුම් බිදුම් විශේෂඥ වෛද්‍යවරයකුගෙන් බෙහෙත් ගන්නා තත්ත්වයට දෙමාපියන් පත්ව ඇත්තේ නොදන්නාකම නිසාම නොවේ. බෙහෙත් දෙන්නේ කවුරු වුණත් ඔවුන්ට කමක් නැත. ලෙඩේට ගැළපුනත් නැතත් කමක් නැත. අවශ්‍ය වන්නේ ලැබෙන බෙහෙත් ප්‍රමාණයයි.

මෙම පළමු ප්‍රශ්න පත්‍රයට අදාළව විභව්‍යතාමාන 14 ඇතුළත් කොට, අත්පත්‍රිකාවක් මුද්‍රණය කර අදාළ ආයතනවලින් පාසල්වලට ලබාදුන් අතර බොහොමයක් පාසල්වල එය තවම ඇත. ඒ නැතත් පාසල් ගුරුවරුන් අත එය ඇත. ඒ තුළ ප්‍රශ්න සැකසෙන ආකාරය උදාහරණ සහිතව පැහැදිලි කර ඇත. අතළොස්සක් වූ නවක ගුරුවරුන් අත පමණක් එය නැති වන්නට පුළුවන. එහෙත් ඒ ගුරුවරුන්ගේ ද වගකීම වන්නේ ඒ ගැන සොයා බලා දැනුවත් වීමයි. විද්‍යාපීඨයකින් පිටවන ගුරුවරුන් මේ පිළිබඳව දැනුවත් වනු ඇතැයි සිතමි. බලධාරීන්ගේ වගකීම විය යුත්තේ අඩුම තරමින් ප්‍රාථමික පන්ති සඳහා පැවැත්වෙන උපකාරක පන්ති ටිකඅවත් නියාමනය කිරීමයි.

එසේම මෙම විභාගය ඉලක්ක කරගෙන විවිධ ප්‍රකාශන වෙළෙඳපොළ තුළ විශාල ප්‍රමාණයක් දැකිය හැකිය. අඩුම තරමින් ඒවා විෂය නිර්දේශයට අනුකූල වේද යන්නවත් සොයා බැලීමට කිසිදු බලධාරියකු ඉදිරිපත් නොවී සිටීම කනගාටුවට කරුණකි.

මෙම ප්‍රශ්න පත්‍රයට විරෝධතා දක්වන අයගේ ඉල්ලීම් දෙස ද අවධානය යොමු කළ යුතුය. ඔවුන්ගේ එක් ඉල්ලීමක් වන්නේ තේරුම් ගැනීමට අපහසු ප්‍රශ්න ඉවත් කර අනෙක් ප්‍රශ්නවලට 100 ක් ලකුණු දිය යුතු බවයි. උදාහරණයක් ලෙස අපහසු ප්‍රශ්න 5 ක් ඇතැයි සිතන්න. මෙම ප්‍රශ්න 5 සමගින් ප්‍රශ්න 20 ට නිවැරදි පිළිතුරු ලියා ලකුණු 50 ලබා ගත් සිසුවෙක් සිටියි. එසේම එම ප්‍රශ්න 5 ටත් වැරදි පිළිතුරු ලියා තවත් ප්‍රශ්න 15 කට පමණක් නිවැරදි පිළිතුරු ලියු සිසුවෙක් සිටී. ඔහුට ද ඒ අනුව ලකුණු 50 ක් හිමි වේ. පළමු ළමයාගේ ප්‍රශ්න 20 ක් නිවැරදි වී ලැබෙන ලකුණු ප්‍රමාණයම ප්‍රශ්න 15 ට පිළිතුරු නිවැරදි වූ ළමයාටත් ලැබේ නම් මොන තරම් අසාධාරණද? දක්ෂයන්ට අසාධාරණයක් වන මෙවන් යෝජනා ඔබ අනුමත කරනවාද?

“ඔබට මිනිසකුට කිසිවක් ඉගැන්විය නොහැකිය. ඔබට කළ හැක්කේ ඔවුනට ඉගෙනීමට උදවු කිරිම පමණි”

සරත් කුමාර
ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment