ඔය කියන කතා බොරු… අපි තිළිණිට සල්ලි දුන්නේ නෑ

788

මේ කරන්නේ අපිට ලැබෙන දාන වේලත් නැති කිරීමක්…මැඬිල්ලේ පක්‍ද්ක්‍දාලෝක හිමි

කඩවත හාමුදුරුවන්ට කොච්චර ඇමතුම් ගත්තත් සම්බන්ධ වුණේ නෑ…

සංවිධානාත්මක දේශපාලන කල්ලියක් මඩ හේවායො යොදාගෙන භික්‍ෂුන්වහන්සේලාට මඩ ගහනවා…

ඔය සම්බන්ධයෙන් යමක් කියන්න තියෙනවා ඒත් ෆෝන් එකෙන් කතා කරන්න බෑ..නායක හිමිනමක්

ඔය කියන කාන්තාවගේ නමවත් දැනගෙන හිටියේ නෑ…ඕමල්පේ සෝභිත හිමි

තිළිණි ප්‍රියමාලි නාටකය සාර්ථක ලෙස දින පහළොව පසුකර ඇත. රටේ ප්‍රශ්න යට ගසන තවත් සිද්ධියක් කරළියට පැමිණෙන තෙක් තිළිණි ප්‍රියමාලි නටාකය සාර්ථක ලෙස තිරගතවන බව ද සැබෑය. එහෙත් එම නටාකය තුළ චරිතවලට පණපෙව් ගිහි, පැවිදි විවිධ තිරාතිරම්වල පුද්ගලයන් අතර බහුතරය නිහඬය. කටහැකර, වල්පල් දොඩවන ඇතැම් දේශපාලනඥයන් පවා නොකර ශබ්ද සිටී. ගින්නක් නොමැතිව දුම් නොනැඟේ. නැඟෙන චෝදනා ඉදිරියේ නිහඬව සිටීමට ද හේතුවක් ඇත. එහෙත් චෝදනා ඉදිරියේ වැසුණු කටවල් ඇරීමට අපි උත්සුක නොවෙමු. අපගේ මේ වෑයම ප්‍රියමාලි සමඟ ගනුදෙනු කළ බවට චෝදනා නැඟෙන භික්‍ෂුන්වහන්සේ සමඟ ඒ ගැන සාකච්ඡා කිරීමය. ප්‍රථමයෙන් අප සම්බන්ධ වූයේ ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතානාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ පළාත් ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හාමුදුරුවන් සමඟය. මේ එම චෝදනාව සම්බන්ධයෙන් උන්වහන්සේ දැක්වූ අදහස්ය.

“මේ වෙනකොටත් එම චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව පැමිණිලි කර තියෙනවා. ඒ වගේම ඔය කියන කාන්තාවගේ නමවත් මම දැනගෙන හිටියේ නෑ. මේවා අමූලික බොරු චෝදනා. මා වැනි නිවැරැදි අයගේ නම් මෙවැනි ප්‍රචාරණවලට යොමු වෙන්නේ මූල්‍ය වංචනික ක්‍රියාවන්වලට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් නිල වශයෙන් හෙළිදරව් නොවීම නිසයි. ඒ වගේම මේ වංචනික ගනුදෙනුවලට සම්බන්ධ පුද්ගලයන් ගැන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැන සිටිනවා කියා මා විශ්වාස කරනවා. ඒ නිසා එම ගනුදෙනුවලට සම්බන්ධ ගිහි, පැවිදි පුද්ගලයන්ගේ නම් හෙළිදරව් කරන මෙන් මම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියා. එම හෙළිදරව්ව සමාජ මාධ්‍යයෙන් නොව, වගකිවයුතු ජාතික මාධ්‍යයෙන් සිදු කළ යුතු බවත් මා ඉල්ලා සිටියා. ඒත් මේ වන තෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔය කියන මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් නිවැරැදි වාර්තාවක් මාධ්‍යයට ඉදිරිපත් කරලා නෑ…”

“වංචනික ගනුදෙනු සම්බන්ධයෙන් රටේ නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවීම නිසා මේ වනවිට මේ රට හොර ජාවාරම්වලට, වංචාවලට තෝතැන්නක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මෙරට ආර්ථික, දේශපාලනික, සංස්කෘතික වශයෙන් අන්තයටම පිරිහිලා තියෙනවා. මේ සා පරිහානියකට රට පත් වෙන්න ප්‍රධාන හේතුව දූෂණය, වංචාව, හොරකම. විශේෂයෙන්ම වසර තිස්
ගණනක් පුරාවට රටේ වගකිවයුතු දේශපාලනඥයන්ගේ හොරාකෑම. ඒ දේශපාලනඥයන් ඔවුන්ගේ ආත්ම ලාභය හදාගෙන ඇති බව ඇත්ත. ඒත් රටේ ජනතාව දැන් දුක්විඳිනවා. ඒ වගේම හොරකම මෙරට දේශපාලන බලය සඳහා ප්‍රධානතම පාරුව බවට පත් වෙලා තියෙනවා. මේ වෙනකොට සේරම හොරු ටික එකම පැත්තකට ගොඩ ගැහිලා තව, තවත් රට බංකොලොත් කරනවා. හොරකම්වලට විරුද්ධව කවුරු හෝ කතා කරනවා නම් ඒ පුද්ගලයවත් හොරුන්ගේ ලැයිස්තුවට දාලා මඩගැසීමට සමාජ මාධ්‍යයේ වෙනම කල්ලි හදාගෙන ඉන්නවා. හොරකමට විරුද්ධව කතා කරනකොට අපිට මඩගහන්නේ හොර දේශපාලනඥයන් මෙහෙයවන කුලී මඩ හේවායෝ…”

“මට මුදල් ආයෝජනය කරලා මොකටද? කෝටි ගණන් ආයෝජනය කරන්න මුදල් තියෙනවා නම් මම තව තවත් අසරණ, නැති බැරි මිනිසුන්ට උපකාර කරනවා. මේ වෙනකොටත් අපි විශාල ශාසනික සේවාවක් සහ සමාජ සද්කාරයන් සිද්ධ කරනවා. ළමා නිවාස පහක් පවත්වාගෙන යනවා. වැඩිහිටි නිවාස දෙකක් පවත්වාගෙන යනවා. ලිංගික අපචාරවලට ගොදුරු වූ බාලවයස්කාර ගැහැනු දරුවන් රැකබලා ගන්නා නිවාසයක් පවත්වාගෙන යනවා. අංගවිකල දරුවන් සඳහා නිවාස දෙකක් පවත්වාගෙන යනවා. අංගවිකල දරුවන් සඳහා විශේෂ අධ්‍යාපනික පාසල් දෙකක් පවත්වාගෙන යනවා. දහම් පාසල්, පෙර පාසල්, ද්විතීක පාසල්, මහ විද්‍යාල වශයෙන් විශාල ආයතන ප්‍රමාණයක් පරිපාලනය කරගෙන යනවා. ඒ වගේම සමනේර හාමුදුරුවෝ හැත්තෑපස්නමක් පමණ නේවාසිකව අධ්‍යාපනය ලබන භික්‍ෂු පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා. විහාරස්ථාන දොළහක් පවත්වාගෙන යනවා. මරන්න නියම වෙච්ච සතුන් ඇතුළුව සතුන් ආරක්‍ෂා කරගැනීම සඳහා ගව අනාථාගාරයක් පවත්වාගෙන යනවා. සතුන්ට සහ සොබාදහමට යුක්තිය ඉටු කිරීමේ රාජ්‍ය නොවන සංවිධානයේ සභාපති මමයි. අමද්‍යප සංවිධාන ගණනාවක මෙහෙයවීම සහ අනුශාසකත්ව දරනුයේ මමයි. ඒ මතකයට නැඟෙන ශාසනික, සමාජ සද්කාර්යයන් කිහිපයක් විතරයි. තව බොහෝ සේවාවන් අපි කරගෙන යනවා. අපි ඒ දේවල් කරන්නේ හොරකම් කර, වංචාකර උපයන මුදල්වලින් නෙමෙයි. ජනතාවගෙන් ලැබෙන ආධාර උදව් උපකාරවලින්. අපි ගත කරන නිවැරැදි ජීවිතයට ගරු කිරීමක් වශයෙන් තමයි සැදැහැවත් ජනතාව අපේ වැඩවලට උපකාර කරන්නේ. ඒ හැර ස්ථිර ආදායම් මාර්ග කිසිවක් අපට නෑ. ව්‍යාපාර කටයුතුවල නියැළෙන්නෙ නෑ. සාදාචාර සම්පන්නව වැඩ කරගෙන යනකොට ඊට විරුද්ධව විවිධ කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. අපිට විතරක් නෙමෙයි, සියලු සත්වයාට කරුණාව, මෛත්‍රිය දැක්වූ බුදුරජාණන් වහන්සේටත් විරුද්ධවාදීන් හිටියා. භාග්‍යවතුන් වහන්සේ පස්පවට එරෙහිව ධර්මය දේශනා කිරීම, වැඩසටහන් කිරීම, ඊට එරෙහිව සමාජය සංවිධානය කිරීම නිසා පවට ඇලී ගැලී සිටින යක්කු උන්වහන්සේට හතුරුකම් කළා. අපිත් අවිහිංසාවාදීව යහපත් සමාජයක් නිර්මාණය කිරීමට දූෂණයට, වංචාවට, අසාධාරණයට, අයුක්තියට එරෙහිව වැඩ කරගෙන යනකොට පාපී දේශපාලනඥයෝ විරුද්ධකම් කරනවා. අභූත චෝදනා එල්ල කරනවා…”

“පහුගිය දූෂණ විරෝධී අරගලය කාලේ මට ඩොලර් ගලාගෙන ආවා කියලා චෝදනා කළා. සමාජ මාධ්‍ය හරහා විවිධ මඩගැසීම් කළා. ගාලු මුවදොර අරගලය පමණක් නෙමෙයි, ලංකාවේ ඕනෑම තැනක සාධාරණ අරගලයක් කෙරෙනවා නම් මම ඒකට සහෝගය ලබාදෙනවා. ඇතැම් අවස්ථාවල පාරේ ඇවිදිමින් අරගලවලට සහයෝගය ලබාදෙනවා. තවත් අවස්ථාවල නිලධාරීන්, දේශපාලනඥයො සමඟ සාකච්ඡා කරමින් අරගලවලට මුහුණදෙනවා. අරගල භූමිවල අසුන්ගෙන ඉන්නවා. ඒ නිසා ගාලු මුවදොර අරගලය මට අමුත්තක් නෙමෙයි. ඒත් අපි එම අරගලය සංවිධානය කළේ නෑ. අරගලයට සහයෝගය දුන්නා කියලා කිසිම සංවිධානයකින් රුපියලක්වත් ලැබිලත් නෑ. වාහනයේ ඉන්ධනවලටවත් කාගෙන්වත් රුපියලක ආධාරයක් අරගෙන නෑ. මට ඕනෙත් නෑ. ඒකත් ප්‍රියමාලි ළඟ මුදල් ආයෝජනය කළා කියන කතාව හා සමානයි. ඕවට අපි සැලෙන්නෙ නෑ. චෝදනා කරන මිනිසුන්ට අනුකම්පා කරනවා. සොරකමේ ආදීනවත්, සොරකම් කර, ඒවා වසාගැනීමට නිවැරැදි පුද්ගලයන්ට අභූත චෝදනා ඉදිරිපත් කිරීමේ ආදීනවත් අපි දන්නවා. සොරකම්, වංචා, දූෂණ කරනකොට මී පැණි සේ රසයි. පාපය මුහුකුරා යන තැන දක්වා ඔහු බොහෝම සතුටින් ඉන්න බව ඇත්ත. පාපකර්මය විපාක දෙන්න ගත්තට පස්සෙ ඒ මෝඩයෝ දුකෙන් විපතට පත් වෙනවා. අප්‍රමාණ දුකකට පත් වෙනවා. මහා පරිමාණයේ වංචා, දූෂණ, සොරකම් කරපු දේශපාලනඥයන්ට නොදුරු කාලයේදී ඒවා විපාක දෙන්න ගන්නවා. ඒ දේශපාලනඥයන්ට මැරෙන්න කලින් විපාක දෙනවා. ඒක මුදල්වලින් නතර කරගන්න බෑ…”

අඳුරෙන් වැසී තිබූ ඇඹිලිපිටිය ඒකාලෝකවත් කිරීමට අමිල මෙහෙවරක යෙදුණු ඕමල්පේ සෝභිත නායක හාමුදුරුවෝ සම්බුද්ධ ශාසනයට සිදුකර ඇති මෙහෙවර සුළුපටු නැත. ලෝකය පුරා ධර්ම ප්‍රචාරණ කටයුතුවල නිරත වී සිටින උන්වහන්සේ මෙරට දිළිඳු දරු දැරියන්ගේ නැණ පහන් ආලෝකවත් කිරීමට මෙන්ම දිළිඳු ජනතාව නඟාසිටුවීමට, ආබාධිත දරු දැරියන්, සරණක් නැති මවුවරුන් රැකබලා ගැනීමට කරගෙන යන මෙහෙවර මහා සමාජ සද්කාරයක් බව සැබෑය. එමෙන්ම සමාජ ක්‍රියාකාරී ගිහි, පැවිදි ඕනෑම කෙනකුට මඩගැසීම සාමාන්‍යයකි. ගල් වදිනුයේ පල ඇති රුකටය. මැඬිල්ලේ පඤ්ඤාලෝක හාමුදුරුවෝ ද විවිධ අභියෝග හමුවේ නොසැලී ශ්‍රී සම්බුද්ධ ශාසනයත්, සිංහල ජාතියත් ආරක්‍ෂා කරගැනීමට දිවි හිමියෙන් කැප වී සිටින තරුණ භික්‍ෂුන්වහන්සේ නමකි. උන්වහන්සේ ද තිළිණිගේ ගනුදෙනුකරුවෙක් බවට සමාජ මාධ්‍යයේ ඇතැම්හු චෝදනා කරති. අපි ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ ද සමඟ සාකච්ඡා කළෙමු.

“ඔය කියන කාන්තාවගේ නමවත් මම දැනගෙන හිටියේ නෑ. ඒත් තිළිණි ප්‍රියමාලිට හසු වූ ප්‍රසිද්ධ චරිත කියන නම් ලැයිස්තුවේ මගේ නමත් තියෙනවා. ඒ නම් ලයිස්තුව දැක්කේ පහුගිය 08 වැනිදා. ඊට දවස් දෙකකට පස්සෙ මම සී.අයි.ඩී.යට පැමිණිලි කළා. ඒත් මේ වෙනකොට එම නම් ලයිස්තුව අන්තර්ජාලය ඔස්සේ ලෝකය පුරා ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒක අපට විශාල හානියක්. අපේ ශාසනික ජීවිතය, පුද්ගලික ප්‍රතිරූපය විනාශ කිරීමක්. අපේ දායකයන් ලබාදෙන දාන වේලත් නැති කිරීමක්. සටකපට ගෑනු ළඟ ආයෝජනය කරන්න මට සල්ලි තියෙනවා නම් මේ පන්සලේ ඉතිරි වැඩ ටික කරගන්නවා. පන්සලේ වැඩ පටන්ගෙන අවුරුදු දහයක් වෙනවා, දායකයන්ගෙන්, හිතවතුන්ගෙන් ලැබෙන පරිත්‍යාගවලින් ටික, ටික වැඩ කරගෙන යනවා. තවම වැඩ ඉවර නෑ. ඒ වගේම මට ගමනක්, බිමනක් යන්න ත්‍රිරෝද රථයක්වත් නෑ. අදටත් රාජකාරිවලට එළියට යන්නෙ දායකයන්ගේ වාහනවල. මම පැවිදි වුණේ අතහරින්න. බදාගන්න නෙමෙයි. මෙවැනි අභූත චෝදනා එල්ල කිරීම ගැන කනගාටුයි. ඒත් භාග්‍යවතුන් වහන්සේටත් අපහාසත්මක වැඩ කරපු අය හිටපු ලෝකයක අපි කවුද?

“මට හිතෙන විදිහට අමූලික බොරු ගොතමින් නම් ලයිස්තු හදලා, කුලී මඩ හේවායෝ යොදාගෙන සමාජ මාධ්‍යයට මුදාහරින්නෙ තිළිණි ප්‍රියමාලි සමඟ ගනුදෙනු කරපු පුද්ගලයන්මයි. පහුගිය කාලේ මහා පරිමාණ මුදල් වංචා ප්‍රසිද්ධ වෙච්ච අවස්ථාවෙත් ඇත්ත නම් අතරට බොරු නම් දාලා ලොකු ගනුදෙනු ඇතුළත් කරලා සමාජගත කරනවා අපි දැක්කා. එතකොට බොරු නම් තියෙන එය තමන්ගේ නිර්දෝෂි බව ඔප්පු කිරීමට නීතිය ඉදිරියට යනවා. ඒ හරහා සැබෑ ගනුදෙනුකරුවන්ගේ අරමුණ සාර්ථක වෙනවා. එහෙමයි කියලා අපට නිහඬව ඉන්න බෑ. අපි නිහඬව ඉන්න තරමට සමාජ මාධ්‍යයේ චූදිතයන් විදිහට අපිව හංවඩු ගහනවා. ඒ වගේම ජාතික ව්‍යාපාරවල ක්‍රියාකාරී භික්‍ෂුන්වහන්සේ නිහඬ කිරීමට, අකර්මණ්‍ය කිරීමට දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. පහුගිය ඊනියා අරගලය තුළ අපේ මුහුණු යොදාගෙන ජීවිතවලට පවා තර්ජනයක් ඇති වෙන අයුරින් කටයුතු කළා. රටේ මිනිසුන් කුසගින්නේ පිච්චෙන කාලෙක කෝටි ගණන් මුදල් ගෑනු ළඟ තැන්පත් කරලා කියලා අපි කෙරෙහි සමාජ වෛරයක් ඇති කරන්න හදනවා. ඒ නිසා මේ චෝදනාවල ඇත්ත, නැත්ත සොයා බලා සමාජගත කිරීමට පොලිසිය කටයුතු කරන්න ඕනෑ…”

“ඒ වගේම අවාසනාවකට අපේ රටේ සමාජ මාධ්‍යජාලවලට එරෙහි නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ලෝකයේ දියුණු රටවලදී සමාජ මාධ්‍ය හරහා මිනිසුන්ට අපහාස කරන්න බෑ. මෙරට සමාජ මාධ්‍ය නියාමනය කරන්න කියලා කිහිපවිටක්ම බලධාරීන්ව අපි දැනුවත් කළා. ඒත් අදටවත් ක්‍රියාත්මක වෙලා නෑ. එහෙම වෙන්නෙ ඔවුන්ගේ දේශපාලන පැවැත්ම තියෙන්නෙත් සමාජ මාධ්‍යයේ කුලී හේවායන්ගේ මඩ ප්‍රචාරණ මත නිසයි. ජීවිත ඇති කරන්නත්, නැති කරන්නත් හේතු වෙලා තියෙන මේ විකෘති සමාජ මාධ්‍ය ක්‍රමය වෙනස් නොකරන්න ඉදිරියේදී බරපතළ තත්ත්වයක් උදා වෙනවා…” මැඬිල්ලේ පක්‍ඳ්ඤාලෝක හාමුදුරුවන්ගේ කතාව ද පැහැදිළිය.

පෙළගැසෙන සටහනට අදහස් ඉදිරිපත් කළ ඕමල්පේ සෝභිත හිමි, මැඬිල්ලේ පක්‍ඳ්ඤාලෝක හිමි හැරුණුකොට තිළිණි ප්‍රියමාලිට හසු වූ ප්‍රසිද්ධ චරිත කියන නම් ලැයිස්තුවේ තවත් භික්‍ෂුන්වහන්සේ සිව්නමකගේ නම් ඇතුළත්ව තිබිණි. උන්වහන්සේ ද සම්බන්ධ කරගෙන ඉදිරිපත්වන චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීමට අපි උත්සාහ කළෙමු. ප්‍රියමාලි සමඟ ගනුදෙනු කළ බවට කියැවෙන ‘කඩවත හාමුදුරුවන්ට’ කිහිපවිටක්ම දුරකථන ඇමතුම් ලබාගත්තෙමු. උන්වහන්සේ අපගේ ඇමතුමට සම්බන්ධ නොවූහ. ඇතැම් භික්‍ෂුන්වහන්සේගේ ජංගම දුරකථන විසන්ධි වී තිබිණි.

“ඔය සම්බන්ධයෙන් කතා කරන්න යමක් තියෙනවා. ඒත් දුරකථනයෙන් පිළිතුරු දෙන්න බෑ…” තිළිණි ප්‍රියමාලි සමඟ ගනුදෙනු කර ඇති බවට චෝදනා නැඟෙන නායක හිමිනමක් අපට එසේ කීහ. ඇමතුම් පටිගත කරන පසුබිමක දුරකථන හරහා ගැටලුකාරී සිද්ධි ගැන කතාබහ කිරීමට උන්වහන්සේගේ අකැමැත්ත සාධාරණය. එහෙත් දුරකථන ඇමැතුම්වලට සම්බන්ධ නොවී මඟහැරීම ප්‍රශ්නවලින් සැඟවී සිටීමකි.

එමෙන්ම මෙරට හොරකම්, දූෂණ, වංචා සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරුවල කෙළවරක් නොමැත. එහෙත් එම දූෂණ, වංචා, හොරකම් සම්බන්ධයෙන් යුක්තිය හා සාධාරණය ඉටුවීම මිරිඟුවක් වැනිය. හොරු ඇල්ලීම විහිළුවක් බවට පත් වී තිබේ. එවැනි පසුබිමක ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ විශාල භූමියක විශාල කාර්ය මණ්ඩලයක් සහිතව කාර්යාලයක් පවත්වාගෙන යමින් මේ සා විශාල මුදල් වංචාවක් සිදු කළා යැයි කියන තිළිණි ප්‍රියමාලි තව ටික කාලයකින් ඇප මත නිදහස් වී ගෙදර යෑම ගැන පුදුම නොවිය යුතුය. මෙරට පුරවැසියන් විදිහට අප පුදුම විය යුත්තේ දේශපාලනඥයන් සමඟ සමීප සබඳතා පවත්වමින්, මහා පරිමාණ දේශපාලන බලශක්තියක් සහිතව මහා පරිමාණ මුදල් වංචාවක් සිදු කර ඇතැයි කියන තිළිණි මේ චෝදනාවලින් නිදහස් නොවුණහොත් පමණි. ඒ මේ වල්බූරු රටේ හැටිය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment