නිදහස් සෞඛ්‍යටත් කණකොකා හඬයිද?

651

අප රටේ නිදහස් සෞඛ්‍ය සේවාවට ඇත්තේ කීර්තිමත් අතීතයකි. රට කොයිතරම් දුප්පත් වුවත් නිදහස් සෞඛ්‍ය සේවය නිසා මෙරටේ රෝගීන්ට බියක් වීමට කාරණයක් නොවීය. ඇති හැකි මිනිස්සු පුද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගනිද්දී මෙරට මධ්‍යම සහ දුප්පත් ජනතාවට පිහිට වූයේ නිදහස් සෞඛ්‍ය සේවයයි. නිදහස් සෞඛ්‍ය සේවයට පිංසිදුවීමට අප රටේ සුවහසක් රෝගී ජනතාව සුවපත් වූ බව නොරහසකි. එනිසාම මොනතරම් අභියෝග තිබුණත් නිදහස් සෞඛ්‍ය සේවාව රැකගැනීමට කටයුතු කිරීම සෑම පාර්ශ්වයකම වගකීමකි.

අප රටේ නිදහස් සෞඛ්‍ය සේවයට කීර්තිමත් අතීතයක් තිබුණද එයට අද කණකොකා හඬන තත්ත්වයට පත්වෙමින් තිබෙන්නේදැයි සාධාරණ සැකයක් මතුවෙමින් තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ වෛද්‍ය හිඟයෙන් ඉදිරියේදී රෝහල් සහ විශේෂඥ වෛද්‍ය ඒකක හාරසිය තිස් දෙකක් අඩපණ වීමට හෝ පූර්ණ ලෙස වැසී යෑමේ තර්ජනයකට මුහුණ දී ඇති බවයි. වෛද්‍යවරුන් නොමැතිවීමෙන් මේ වනවිටත් රෝහල් විස්සක් මුළුමනින්ම වැසී ගොස් ඇති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි. පවතින වෛද්‍ය හිඟය නිසා රෝහල් හතළිස් හතක් උපාධිධාරී වෛද්‍යවරුන් නොමැතිව, සහකාර වෛද්‍යවරුන්ගේ පාලනය යටතේ පවත්වාගෙන යෑමට සිදුව ඇති බව ද හෙතෙම මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කර තිබිණි.

මෙම තත්ත්වය සැහැල්ලුවෙන් සැලකිය හැකි තත්ත්වයක් නොවන බව සෞඛ්‍ය බලධාරීන් තේරුම් ගත යුතුව ඇත. නිදහස් සෞඛ්‍ය සේවය අඩපණ වුවහොත් වන්දි ගෙවීමට සිදුවන්නේ මේ රටේ අසරණ රෝගීන්ටය. එනිසා වෛද්‍යවරුන් රට හැර යෑමට හේතුවී ඇති කාරණාවලට සාධාරණ විසඳුමක් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් වහා පියවර ගත යුතුව තිබේ. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු විසඳීමට කටයුතු නොකර බලධාරීන් නිද්‍රාශීලීව සිටින්නේ නම් පාලකයන්ට උත්තේජනය දෙන තීන්දුවකට එළඹෙන බව ද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර තිබේ. යම් අයුරකින් එවැනි තීරණයකට එළඹුණොත් ඉන් පීඩාවට පත්වන්නේ මේ රටේ අසරණ රෝගීන්ය. එම තත්ත්වය තුළ වෛද්‍ය ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අවුල ලිහා ගැනීම සඳහා දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණ විසඳුම් සෙවීම වඩා ප්‍රයෝගික පියවර වනු ඇත.

අප රට මේ මොහොත වනවිට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියි. එම ආර්ථික අර්බුදය දවසකින් දෙකකින් නිර්මාණය වූවක් නොවේ. එදා මෙදා තුර රට පාලනය කළ උදවිය මෙම ආර්ථික අර්බුදයේ නිමවුම්කරුවෝය. ඒ සඳහා අප රටේ ජනතාව කිසිසේත් වගකිවයුතු නැත. පවතින ආර්ථික අර්බුදය හමුවේ රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා රජය විවිධ බදු පනමින් තිබේ. වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් මත බදු පැනවෙන්නේද එනිසාය. මෙම කිසිදු වෘත්තිකයෙක් බදු පැනවීම ප්‍රතික්ෂේප කරන්නේ නැත. එහෙත් අසීමිත බදු බරක් තමන් මත පැනවීම ඔවුහු ප්‍රතික්ෂේප කරති. මෙම තත්ත්වය කළමනාකරණය කිරීමට බලධාරීන් කටයුතු කරන්නේ නම් වෛද්‍ය ක්‍ෂේත්‍රයේ පැනනැඟ්ී ඇති මෙම අර්බුදය විසඳා ගැනීමට පිළිතුරු සොයා ගැනීම අපහසු නොවනු ඇත. අනෙක් අතට වෛද්‍යවරුන්ද කල්පනා කළ යුතු කරුණක් තිබේ. එනම් නිදහස් අධ්‍යාපනය යටතේ වෛද්‍යවරයකු බිහිකිරීම සඳහා විශාල බරපැනක් රට විසින් දරා ඇති බවයි. ඒ ගැන සිතා පවතින අර්බුදය හමුවේ වෛද්‍යවරුන් රට හැර යෑම එකම විකල්පය නොකර ගත යුතුය. සිදුවිය යුත්තේ සෞඛ්‍ය බලධාරී සහ වෛද්‍යවරුන් පවතින අර්බුදය සාකච්ඡාවෙන් සම්මුතියෙන් බේරා ගැනීමය. බලධාරීන්ගේ හෝ වෛද්‍යවරුන්ගේ යම් අතපසුවීමක් සිදුවුවහොත් ඉන් පීඩාවට පත්වන්නේ මේ රටේ අසරණ රෝගීන් බව අමතක නොකළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment